Sep 15, 2012

සහය දිවීමේ තරගාවලියේ පළමු දිනයේ නව වාර්තා තුනක්

පාසල් මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරන සහය දිවීමේ තරගාවලියේ ප්‍රථම දිනය නිමාවට පත් වූයේ නව වාර්තා තුනකට ඉඩ - කඩ විවෘත කරමින්ය.ඉන් වාර්තා දෙකකම හිමිකාරීත්වය වලල ඒ රත්නායක විද්‍යාලය විසින් හිමි කර ගැනීම කැපී පෙණින.ඉතිරි වාර්තාවට හිමි කම් කීවේ මෙම තරගාවලිය හරහා ලාංකේය මලල ක්‍රීඩාවේ අලුත්ම අභියෝගය බවට අනන්‍යතාවය ගොඩ නගා ගනිමින් සිටින කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය විසිනි.
වලල රත්නායකය බාලිකා අවුරුදු 18 න් පහළ මීටර් 4 x 800 ඉසව්වේදී සහ අවුරුදු 20 න් පහළ බාලක මීටර් 4 x  1500  ඉසව්වේදී නව වාර්තා පිහිටවීමට සමත් වූහ.බාලක අවුරුදු අවුරුදු 16 න් පහළ මීටර් 4 x  800 ඉසව්වේ නව උළෙල වාර්තාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට හිමිවිය.ප්‍රථම දිනයේ පැවති ඉසව් අටෙන් හයකම ජය වලල ඒ රත්නායකයට හිමි වීම කැපී පෙණුනු අතර රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය සහ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය ඉතිරි ඉසව් දෙක ජය ගැනිමට සමත් විය.
www.supirikrida.com

ඇෆ්ගනිස්තානය ඉන්දියාවේ ගෝල දුසි‍ම එකකින් මග හරවා ගනියි

තරගාවලියේ ඉහළම ප්‍රගතිය පෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම
ශ්‍රී ලංකාවේ පැවත්වෙන දකුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසි ඇෆ්ගනිස්තානයට එරෙහිව ගොල් 11 ක් ලබා ගත් ඉන්දියානු ක්‍රීඩිකාවෝ අපහසුවකින් තොරව අවසාන තරගය සදහා සුදුසුකම් ලබා ගත්හ.එම ගොල් 11 ලබන අතරේ ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක්වත් ලබා ගැනීමට ඉන්දියානු ක්‍රීඩිකාවන් අවසර ලබා නොදීමද කැපී පෙණින.මේ අතර පළමු වරට අවසන් පූර්ව තරගයට පිවිසි මෙම තරගාවලියේ ඉහළම ප්‍රගතිය පෙන් වූ කණ්ඩායම බවට පත්ව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රබල නේපාලය ඉදිරියේ සිය පරාජයේ වර්ගපලය ගෝල 3 - 0 දක්වා පාලනය කර ගන්නට සමත් වීම ද කැපී පෙණින.
ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දියාව ලබා ගත් ගෝල 11 න් ගොල් 3 බැගින් වාර්තා කිරීමට කමලා දේවී සහ බොම්බෙම් දේවි සමත් විය.සස්මිතා මලික් ගෝල දෙකක් රැස් කළ අතර ප්‍රමේෂ්වරී දේවී,රොමිදේවි අශේම් සහ පින්කි බොම්පාල් ගෝලය බැගින් රැස් කළහ.ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වූ නේපාල ගොල් තුනෙන් දෙකක්ම දීපා අදිකාරි විසින් වාර්තා කළ අතර ඉතිරි ගෝලය වාර්තා කරනු ලැබුවේ අනු ලාමා විසිනි.
www.supirikrida.com


කොදෙව් භීතිය දුරලමින් ලාංකේක ක්‍රීඩකයෝ ලකුණු අතරට

Mahela Jayawardene scored a half-century
මෙවර ලෝක කුසලානය දිනනු ඇතැයි ඇතැමෙකු විශ්වාස කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග වූ පුහුණු තරගයෙන් කඩුලු නවයක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.කොළඹ එන්සීසී ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේදී කොදෙව් බල ඇනිය වෙනුවෙන් නායක ඩැරන් සාමි,සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් යන ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළ ද,සැළකිය යුතු ප්‍රහාරක බලයක් පෙන්නුම් කරන සෙසු කොදෙව් පිතිකරුවන් මෙල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිය පන්දු ඕවර් 20 තුළ,කොදෙව් පිතිකරුවන් කඩුලු 6 ට ලකුණු 132 ට සීමා කිරීම කැපී පෙණින.එහිදී අබාධයෙන් පසුව පිටියට පිවිසි නුවන් කුලසේකර කඩුලු දෙකක් ලබා ගත් අතර කඩුලු ලබා නොගත්ත ද,අජන්ත මෙණ්ඩිස් සහ අකිල ධනංජය හොදින් පන්දු යවමින් කොදෙව් ඉණිමේ ලකුණු වේගය අඩාල කිරීමට සමත් විය.
පිළිතුරු ඉණිමට පිටියට බට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ඩිල්ෂාන් යුගලය පළමු කඩුල්ලට ලකුණු 32 ක් රැස් කළ අතර ඒ අතරින් ඩිල්ෂාන් මුණවීර පන්දු 22 ක් තුළ ලකුණු 24 ක් ලබමින් දැවී ගියේය.අනතුරුව පිටියේ එක් වූ තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන සිය සුපිරි ප්‍රහාරය පිළිබදව සෙසු කණ්ඩායම් වෙත අනතුරු අගවමින් අඛණ්ඩ ලකුණු 103 ක සබදතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියහ.එහිදී ඩිල්ෂාන් නොදැවී ලකුණු 50 ක් රැස් කළ අතර මහේල නොදැවී ලකුණු 57 ක් ලබා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සටහන් කරද්දී තමන්ට හිමි පන්දුවාර 20 න් තවත් පන්දු වාර 4.2 ක් ඉතිරිව තිබීම කැපී පෙණින.
මේ අතර අයර්ලන්ත පුහුණුකරු ක්‍රේග් මැක්ඩර්මට් ඕස්ට්‍රේලියාවට අභියෝගයක් වනු ඇති බවට ප්‍රකාශ නිකුත් කරන අයර්ලන්ත කණ්ඩායම සිය ප්‍රථම පුහුණු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 54 ක ජයක් ලබමින් තමන් අභියෝගයට සූදානමින් සිටින බව පෙන්නා දුන්නේය.
www.supirikrida.com

Sep 13, 2012

ජයග්‍රහණයේ කෝඩුකාරියෝ අවසන් පූර්ව වටයට

  











      
මෙවර දකුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලියේ දී සිය ප්‍රථම අන්තර්ජාතික ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව තරග සදහා මුහුණ දීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණින.ශ්‍රී ලංකාව සිය කාණ්ඩයේ තරගයක් පරාජය වී තරග දෙකක් ජය ගෙන අවසන් පූර්ව තරගයේදී නේපාලය හමුවීම සදහා සුදුසුකම් ලබා ගත් අතර,ඇෆ්ගනිස්තානය ඉන්දියාව හමුවේ පරාජය වෙමින් ද,මාල දිවයින සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කරමින් ද සහ පකිස්තානය පරාජය කරමින් ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව තරගයට මුහුණ දීම සදහා අවස්ථාව සළසා ගත්තේය.
විශේෂයෙන් පකිස්තානය ඊයේ දිනයේදී මාල දිවයින පරාජය කරමින් ගෝල 3 - 0 ක අනපේක්ෂිත ජයක් ලැබීම නිසා ඇෆ්ගනිස්තානයට එම අවස්ථාව හිමි විය.පකිස්තානය ඇෆ්ගනිස්තානයට වඩා වැඩි ගෝල සංඛ්‍යාවකින් පරාජය කිරීමේ වගකීම හිත ඇතිව පිටියට බට මාල දිවයින එම අවශ්‍යයතාවය විසින් ඇති කරන ලද පීඩනයේ ගොදුරක් බවට පත් වෙමින් සිය කණ්ඩායමේ ගෝල ප්‍රමාණය බින්දුවක්ව දැක්වෙද්දී ප්‍රතිවාදීන්ට ඔවුන්ගේ ගෝල සංඛ්‍යාව 3 දක්වා ඉහළ නංවා ගැනීමට අවස්ථාව සළසා දුන්නේය.
එසේම නේපාලය සිය අපරාජිත බව තව දුරටත් ආරක්ෂා කර ගනිමින් ක්‍රියා කළ අතර ඔවුන් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ජය ගත්තේ ගෝල 7 - 1 ක් ලෙසය.
www.supirikrida.com

බස්නාහිර මේස පන්දු තරගාවලියේ අති සූර කිරුළ හංසනීට

ස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේ අති සූර ක්‍රීඩක සම්මානය කොළඹ අනුලා විද්‍යාලයේ හංසනී පියුමිලා කපුගීකියන විසින් හිමි කර ගත්තාය.අවුරුදු 12න් පහළ සහ 15 න් පහළ බාලිකා සූරතාවලට  අමතරව ඇය විසින් විවෘත කේවල සූරතාවයත්,කළුතර රතුතුරුස විද්‍යාලයේ එරෝනි කවිද්‍යා සමග එක්ව විවෘත කාන්තා යුගල සූරතාවයත් දිනා ගැනීමට සමත් වුණා.
අවුරුදු 12 න් පහළ සහ අවුරුදු 15 න් පහළ බාලක සූරතා දිනාගත් කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලිත්මිණ මහානාම තරගාවලියේ හොදම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර වයස් ඛාණ්ඩ 5ක් යටතේ මෙම තරගාවලි‍ය ක්‍රියාත්මක වුණා.අවුරුදු 8 න් පහළ බාලක සූරතාවය වරාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ කුමුදිත ලක්ෂාන් දිනා ගත් අතර එහි බාලිකා සූරිය වූයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සන්සදී රුවන්පුර යි.අවුරුදු 10 න් පහළ බාලක සූරයා ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන ඇගයීමට ලක් වූ අතර එම වයස් ඛාණ්ඩයේ සූරිය ලෙස ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ උරිෂි පෙරේරා සම්මානනීය වුණා.
අවුරුදු 12 න් පහළ සහ 15 න් පහළ සූරයා ලෙස ගෞරවයට පාතු වූයේ ලිත්මිණ මහානාම වන අතර එම වයස් ඛාණ්ඩ වල  සූරිය වූයේ හංසනී පියුමිලා කපුගීකියනගේ යි.අවුරුදු 18 න් පහළ ජයග්‍රාහකයා ලෙස කොලඹ රාජකීය විද්‍යාලයේ රසීඩ් අසීස් තේරී පත් වූ අතර ක්‍රීඩිකාව ලෙස හැකියාවන් ප්‍රදර්ශනය කළේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දු යි.විවෘත පිරිමි සූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදාවේ වයිඑස් ජයකොඩි දිනා ගත් අතර පිරිමි යුගල සූරතාවය යක්කල අනුර විද්‍යාලයේ සුරේෂ් පුෂ්පකුමාර සහ චැම්පියන් මේස පන්දු ක්‍රීඩා සමාජයේ තිවංක තික්ෂණ එක් ව දිනා ගත්හ.
www.supirikrida.com

Sep 12, 2012

ලාකේය පාපන්දු ක්‍රීඩිකාවෝ ලොකු පිම්මක් පනිති

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩාව අන්තර් ජාතික පාපන්දු ක්‍රීඩා පිටියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළ මෙවර දකුණු ආසියානු කාන්තා තරගාවලියේදීම සිය දෙවන අන්තර් ජාතික ජය ද වාර්තා කරමින් තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසෙන්නට මාවත උදා කර ගත්තේය.තරගාවලියේ දක්වා තිබූ දක්ෂතා අනුව දෙපිළම යම් සම මට්ටමක සිටින බව දකින්නට තිබුණු අතර දෙපිළේම ආරක්ෂක පෙළ පළමු අර්ධයේදී සිය ගෝල සීමාව රැක ගනිමින් පළමු අර්ධයේ ලකුණු තත්ත්වය 0 - 0 ලෙස අවසන් කළේය.
13
අචලා 
8
හසාරා
දෙවන අර්ධයේ 75 වන විනාඩියේදී තරගයේ පළමු ගෝලය බංගලාදේශයේ චින් මර්මා විසින් ලබා ගැනීමත් සමග බංගලාදේශය අවසාන පූර්ව වටයට පිවිසීමට අවශ්‍යය මාවත සකස් කර ගත් බව තහවුරු කරන ක්‍රීඩා රටාවක නියැලිනි.ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩිකාවන් නමුත් තරගයේ අවසානය පෙනී පෙනී බංගලාදේශය සිටින ජයග්‍රාහී තත්ත්වයෙන් නොසැලුණු අතර ඔවුන් සිය ප්‍රථම ගෝලය වාර්තා කළේ 83 වන මිනිත්තුවේදී ය.ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයෙන්පැමිණි වර්ථමානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන 21 හැවිරිදි හසාරා දිල්රංගි එම ගෝලය වාර්තා කළේය.එම ගෝලය ලබා විනාඩි තුනක් ගතවෙන තැන ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයේ ද්වාරය විවර කර දෙන ගෝලය හිමි වූ අතර එය වාර්තා වූයේ 21 හැවිරිදි අචලා චිත්‍රානි වෙතින් ය.බූස්ස මේධංකර විද්‍යාලයෙන් පිවිසි ඇය වර්ථමානයේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන්නීය.
ජගත් ශ්‍රේණිගත කිරීම් හා සංසන්දනය කරද්දී ශ්‍රී ලංකාව වෙතින් පරාජය ලැබූ බංගලාදේශය දකුණු ආසියාවේ දෙවන තැන සිටින අතර ඔවුන්ට ජගත් ශ්‍රේණිගත කිරීම් වල හිමි වන්නේ 115 වන ස්ථානය ය.දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාව 52 වන තැන රැදෙන අතර මාල දිවයින සිටින්නේ 116 වන ස්ථානයේය.දකුණු ආසියාව කාන්තා පාපන්දුවට දක්වන අඩු සැළකිල්ල පැහැදිළි කරමින් අන් සියළු කණ්ඩායම් 128 වන ස්ථානයේ රදවා ඇත.මේ තත්ත්වය ශ්‍රී ලංකාව තේරුම් ගත යුතු අතර බෝඩ් කෑල්ලකට සීමා නොවිය යුතු තත්ත්වයකට ශ්‍රි ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩාව රැගෙන යාමේ අවස්ථාව මේ තරුණ ක්‍රීඩිකාවන් වෙතින් උදා කර ගැනීමට සැළසුම් සහගත ආරම්භයක් ලබා ගත යුතුය.
ලෝකයේ පාපන්දු ක්‍රීඩාව ගත් විට ජපානය ලෝක සූරියෝ මෙන්ම ඔලිම්පික් අනු සූරීයෝද වන අතර ජගත් ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් 30 විමසද්දී උතුරු කොරියාව (11),දකුණු කොරියාව (15),චිනය (19),තායිලන්තය (30) සිටින අතර 31 වන ස්ථානයේ පසු වන්නේද වියට්නාමය යි.
මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ ආසියාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව යම් පෝෂණීය තත්ත්වයක තිබෙන බව වන අතර ආසියානු පාපන්දුවේ ප්‍රබලයෙකු වන මනිලාල් ප්‍රනාන්දු වැනි චරිතයකට මේ තත්ත්වය ලාකේය කාන්තා පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් භාවිතා කිරීමේ හැකියාව ඇත.
නමුත් හෙට අවසාන පූර්ව තරගයේදි හමුවන නේපාල කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් වන අතර නේපාලයේ කාන්තා පාපන්දු ක්‍රීඩාව තරමක් ඉහළින් ක්‍රියාත්මක වන අතර මේ වන විටත් තරගාවලියේ තරග දෙකකදී ගෝල 7 ක් ලබා සිටින නේපාල නායිකා ජමුනා ගුරාන්ග් එරට වසරේ ක්‍රීඩිකාව වීම උදාහරණයකට ගත හැකි අතර ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගය පරාජය වුව ද ජයග්‍රාහී අනාගතයකට පදනමක් කර ගනිමින් ‍නේපාලයට හොද තරගයක් දීම වැදගත් වනු ඇත.
බොහෝ දුරට අලුත් වූ ක්‍රීඩිකා සංයුතියක් සමග තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම අනාගතය වෙනුවෙන් සැකසි කණ්ඩායමක් ලෙස මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව ගැන විශාල බලාපොරොත්තු ඇති කළේය.භූතානයට එරෙහිව ගෝල 4 - 0 ක් ලෙස සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා  කළ ශ්‍රී ලංකාව,ඉන්දියාව වෙතින් 5 - 0 ක පරාජයක් ලැබුව ද,එම පරාජය ඉතිහාසයට සාපේක්ෂව පරාජයේ වර්ගපලය කුඩා කර ගැනීමක් විය.ඒ අනුව බලන විට මහින්ද ගලගෙදර ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ වන විටත් ඉතිහාසයට සාපේක්ෂව ගත් කළ විශාල ජයක් ලබා සිටින අතර මෙම කණ්ඩායමේ කළමණාකාරිය ලෙස කටයුතු කරන්නේ කොළඹ 9 අනුරුද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණිය සුධර්මා ජයවර්ධනයි.සහය පුහුණුකාරිනියන් ලෙස ශානිකා රාජපක්ෂ සහ මේනකා දිසානායක කටයුතු කරන අතර එම්ඒ බාසිත් කණ්ඩායමේ භෞත චිකිත්සක ලෙස ක්‍රියා කරයි.
තරගාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අතදීම මත ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන ක්‍රීඩා පරිපාලිකාවක ලෙස ප්‍රකට ඔලිවියා ගමගේ විසින් දැරූ වෙහෙස ද හැදින්විය හැක්කේ ශ්‍රී ලංකාව ලැබූ ජයක් හැටියට ය.
www.supirikrida.com


Sep 11, 2012

අපි එකට හිතන්නෙ රට ගැන -ඩයන් ගෝමස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇගළුම් අනුග්‍රාහකයන් ලෙස තෙවසරක කාලයක් සදහා එක් වීම ප්‍රකාශ කරමින් තබන්නට යෙදුන මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ MAS ආයතනයේ සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ප්‍රකාශ කළේ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩා කණ්ඩායම් බොහොමයකට තම ආයතන සමූහය ක්‍රීඩා ඇදුම් කට්ටල ප්‍රදානය කළ ද,අඩුම තරමින් එම ඇදුම්වල නමවත් සදහන් නොකර ප්‍රචාරනයෙන් ඈත් වී සිටින්නේ තම ආයතනය අංක එක ලෙස රට තෝරා ගෙන ඇති නිසා බව පවසයි.
සිය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල මෙන්ම 55,000 ක් වන සියළුම සේවක සේවිකාවන්ගේ ආශිර්වාදයත් සමග ක්‍රිකට් කණ්ඩායමට පිරිනැමෙන මෙම ඇදුම ජගත් ඇගළුම් කේෂත්‍රයේ නවීන ශිල්පීය ක්‍රම වලට අනුව සියළු දේ සිදු වී නිෂ්පාදනය කළ ඇදුමක් බව හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේය.
ප්‍රංශය බ්‍රිතාන්‍ය රගර් කණ්ඩායම් ද තවත් ලෝකයේ විවිධ ක්‍රීඩාවන් හී යෙදෙන සුපිරිතමයන් ද,විශේෂයෙන් ජාත්‍යන්තර පිහිණුම් ක්‍රීඩකයන් සැරසෙන ස්පීඩෝ එෆ් 1ඇදුම ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා ඇදුම් විශාල ලෙස ලෝකයට නිර්මාණය වන්නේ ලංකාවේ MAS ඇගළුම් කර්මානත්ශාලා තුළ දී බව ද හෙ‍තෙම පැහැදිළි කළේය.
එසේම ඩයන් ගෝමස් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමට යද්දී ඒ මට්ටමේ සිටින ක්‍රීඩකයන් හා සම විය හැකි මට්ටමෙන් භාහිර පහසුකම් සම්පාදනය කර දිය හැකිනම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ලෝකය ජය ගත හැකි මට්ටමේ සිටින බවය.තම ආයතනය ඒ බව තේරුම් ගෙන සිටින අතර ක්‍රිකට්,බොක්සිං පමණක් නොව ක්‍රීඩා 21 ක මේ රට නියෝජනය කළ සහ කරන ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 ට අධික පිරිසකට සිය ආයතනය රැකියා අවස්ථා ලබා දෙමින් මේ රටේ ක්‍රීඩා අනාගතය සුරකින්නට කටයුතු කර තිබෙන බව පැහැදිළි කළේය
මෙම අවස්ථාවට එක්වෙමින් MAS සමූහයේ සභාපති මහේෂ් අමලියන්,MAS ඇක්ටිව් කළමණාකාර අධ්‍යක්ෂ ෂිරෙන්ද්‍ර ලෝරන්ස්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස,ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු පිරිසක් මෙම ඇදුම් අනුග්‍රහයේ ඇති වටිනාකම සහ අවශ්‍යයතාවය පැහැදිළි කරමින් කරුණු දක්වන්නට යෙදුන අතර ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල 20 - 20 ලෝක කුසලානයට තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව නිල ඇදුමෙන් සැරසී මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියහ.
www.supirikrida.com