Sep 15, 2012

කොදෙව් භීතිය දුරලමින් ලාංකේක ක්‍රීඩකයෝ ලකුණු අතරට

Mahela Jayawardene scored a half-century
මෙවර ලෝක කුසලානය දිනනු ඇතැයි ඇතැමෙකු විශ්වාස කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග වූ පුහුණු තරගයෙන් කඩුලු නවයක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.කොළඹ එන්සීසී ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේදී කොදෙව් බල ඇනිය වෙනුවෙන් නායක ඩැරන් සාමි,සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් යන ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළ ද,සැළකිය යුතු ප්‍රහාරක බලයක් පෙන්නුම් කරන සෙසු කොදෙව් පිතිකරුවන් මෙල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිය පන්දු ඕවර් 20 තුළ,කොදෙව් පිතිකරුවන් කඩුලු 6 ට ලකුණු 132 ට සීමා කිරීම කැපී පෙණින.එහිදී අබාධයෙන් පසුව පිටියට පිවිසි නුවන් කුලසේකර කඩුලු දෙකක් ලබා ගත් අතර කඩුලු ලබා නොගත්ත ද,අජන්ත මෙණ්ඩිස් සහ අකිල ධනංජය හොදින් පන්දු යවමින් කොදෙව් ඉණිමේ ලකුණු වේගය අඩාල කිරීමට සමත් විය.
පිළිතුරු ඉණිමට පිටියට බට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ඩිල්ෂාන් යුගලය පළමු කඩුල්ලට ලකුණු 32 ක් රැස් කළ අතර ඒ අතරින් ඩිල්ෂාන් මුණවීර පන්දු 22 ක් තුළ ලකුණු 24 ක් ලබමින් දැවී ගියේය.අනතුරුව පිටියේ එක් වූ තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන සිය සුපිරි ප්‍රහාරය පිළිබදව සෙසු කණ්ඩායම් වෙත අනතුරු අගවමින් අඛණ්ඩ ලකුණු 103 ක සබදතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියහ.එහිදී ඩිල්ෂාන් නොදැවී ලකුණු 50 ක් රැස් කළ අතර මහේල නොදැවී ලකුණු 57 ක් ලබා ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සටහන් කරද්දී තමන්ට හිමි පන්දුවාර 20 න් තවත් පන්දු වාර 4.2 ක් ඉතිරිව තිබීම කැපී පෙණින.
මේ අතර අයර්ලන්ත පුහුණුකරු ක්‍රේග් මැක්ඩර්මට් ඕස්ට්‍රේලියාවට අභියෝගයක් වනු ඇති බවට ප්‍රකාශ නිකුත් කරන අයර්ලන්ත කණ්ඩායම සිය ප්‍රථම පුහුණු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 54 ක ජයක් ලබමින් තමන් අභියෝගයට සූදානමින් සිටින බව පෙන්නා දුන්නේය.
www.supirikrida.com

No comments: