Dec 12, 2012

යසාට යස වැඩේලු



දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සිංගප්පූරු සංචාරයට එක් වූ යසා රාමචන්ද්‍ර සිය වයස හෝ සෞඛ්‍ය තත්ත්වය හෝ නොසළකා එම වගකීම භාර ගත්තද කණ්ඩායමේ පුහුණුකාරියගේ තීරණ විශාල ප්‍රමාණයක් කණ්ඩායම් නායිකාව විසින් ගත් බවද ඒ සදහා සහය පුහුණුකාරියගේ උපකාර ලැබුණු බවද සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.සහය පුහුණුකාරිය මෙන්ම නායිකාවද තරගයට පෙරාතුවම ඇතැම් ක්‍රීඩිකාවන්ට තරගයේදී පීඩනයක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශ කිරීම තරගාවලිය තුළ තදින් සිදු වී ඇති අතර නමුත් කිසිදු ක්‍රීඩිකාවක් නායිකාව පත්වීම සහ ඇයට අවශ්‍යය ආකාරයට කණ්ඩායම මෙහෙයවීම ක්‍රීඩා අමාත්‍යංශයෙන්ම ලැබුණු වරප්‍රසාදයක් බැවින් නිහඩව සිටීම හැර ඊට එරෙහිව ක්‍රියා කිරීමට යාම පලක් නොවන නිසා නිහඩව සිට ඇත.
කණ්ඩායම අවසාන වරට හමු වූ විට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියම ප්‍රකාශ කර ඇත්තේ නිහඩව නොසිට තමන්ට අවශ්‍යය පරිදි කණ්ඩායමේ වෙනස්කම් කිරීමට නායිකාව ලෙස මෙම සංචාරයේදි පසුබට නොවන ලෙසය.එසැනින්ම හදිසියේ හිස මත පාත් වූ පිනෙන් අන්ද මන්දව ඉහළ නිලධාරින් වෙනුවෙන් දණ්ඩනමස්කාර කිරීමට වුව සූදානමෙන් සිටි සහය පුහුණුකාරිය නිලධාරීන්ගේ තීරණය නිවැරදි බව පෙන්වීමට පවසා ඇත්තේ නායිකාවට මේ වන විට පුහුණුකාරිය ලෙස කටයුතු කිරීමට ද දැණුමක් ඇති බවය.එහිදී එතැන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන තරගාවලියේ කළමණාකාරවරිය පවසා ඇත්තේ හැකි නමුත් එය ඉදිරියේදී මිස මේ මොහොතේ සිදු නොවිය යුතු බවය.
තරගාවලියේ සෑම කණ්ඩායමකටම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සළකා ඇගයීමක් කෙරෙන අතර එම වගකීම පැවරෙන්නේ පුහුණුකාරියට වුව ඇයගේ තීරණය අභිබවා ගොස් මෙම සංචාරයෙන් පසුව තරග බිමෙන් සමුගන්නා නායිකාවටම එය පිරිනැමීමට යෝජනා කිරීමට යසා ට සිදු වී ඇත.පුහුණුකාරිය ලෙස සංචරයට එක් වුව ද විකට ඇදුම් තරගයකට ඇදි පොලිස් නිලධාරිවරයෙකු  මෙන් මෙම සංචාරය තුළ කටයුතු කිරීම හැරෙන්නට දෙයක් කිරීමට යසාට සිදු වී නැත.දැල් පන්දු කේෂ්ත්‍රයේ බොහෝ දෙනා මේ පිළිබදව පවසන්නේ තමන්ට නුසුදුසු වගකීමක් භාර ගත් යසාට යස වැඩක් සිදු වී ඇති බවය.
කෙසේ හෝ සංචාරයට එක් වූ ක්‍රීඩිකාවන් කිසිවෙක් තමන්ට එල්ල වූ පීඩාවන් අසාධාරණයන් ගැන කතා නොකිරීමට සිංගප්පූරුවේදීම තීරණය කර තිබෙන අතර ඊට හේතුව වී ඇත්තේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අයම තමන්ට ගැටළු විදින්නට සිදු වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පිළිබදව ප්‍රශස්ති ගායනා කරන්නට මාධ්‍ය භාවිතා කරන තත්ත්වයක් තුළ ඊට එරෙහිව කතා කිරීම පලක් නොවන බවට ඔවුන් තීරණය කිරීමය.නමුත් ක්‍රීඩිකාවන් ක්‍රීඩාව වෙනුවට තමන්ගේ පැවත්මට ආදරය කිරීමට තීරණය කර තිබෙන බව පැහැදිළි අතර කිසිම විටෙක කණ්ඩායමක් විදිහට තමන්ට දැනෙන අසාධාරණකම් වලට එරෙහි වීමට වඩා  උත්සාහ කරන්නේ කෙසේ හෝ කණ්ඩායමේ එල්ලී සංචාරවල නියැලෙන්නටය.ජය පරාජය කුමක් වුව රටකින් රටකට යාමට ලැබෙන අවස්ථාව සහ ඒ සමග ලැබෙන වරප්‍රසාද වලින් ඔබ්බට කතා කිරීමට තරම් ශක්තියක් හෝ ක්‍රීඩකත්වයක් නැති පිරිසක් වන දැල් පන්දු ක්‍රීඩිකාවන්ගේ මේ ආත්මාර්ථකාමීකම ද දැල් පන්දුවේ කඩා වැටීමට බලපාන එක් හේතුවකි. 
කෙසේ හෝ තරගාවලියේ සිදු වූ පසුබැසීම වළක්වා ගන්නට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ඉවත් කර කණිෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමග ක්‍රීඩා කර සිංගප්පූරුව පරාජය කිරීම හුවා දැක්වීමට කටයුතු කරනු ඇතැයි සුපිරික්‍රීඩා කී අනාවැකිය සනාත කළ කණ්ඩායම් නායිකාව මාධ්‍යයට කර තිබු ප්‍රකාශ වලින් පැහැදිළි වන්නේ මෙම තරග සංචාරයේ එකම අරමුණ සිංගප්පූරුව පරාජය කිරීම පමණක් බවය.කවුරුන් ක්‍රීඩා කළ ද පරාජයට පත් කළේ ආසියානු සූරියන් වීම පිළිබදව ලාංකිකයන් වන කා තුළත් සතුටක් ඇති වීම නොවැළක්විය හැකි නමුත්,මැලේසියාවට පරාජය වීම සහ නැමීබියාවට එරෙහිව මුල් තරගය ජය ගෙන පසු තරගය පරාය වීම නැතිනම් ජගත් ශ්‍රේණිගත කිරීම්වල දී  ශ්‍රී ලංකාවට පිටු පසින් සිටින කණ්ඩායම් දෙකකට පරාජය වීම ද මෙහිදී කණගාටුවට කරුණක් හෝ වී නොමැත.එසේ විමට හේතුව කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු නොසිටීම යන්න සාධාරණ තර්කයක් වුව එම තර්කය සිංගප්පූරුවට අදාළ නොකර ගෙන තරගාවලිය තුළ ශ්‍රී ලංකාව ලද පසුබැසීම සිංගප්පූරුවේ පරාජයෙන් වසා ගැනීමට යාම වීදුරු කුටියක සිට ඇදුම් මාරු කිරිමක් වැනිය.

අතිරේක ආහාර පරක්ෂණයකින් තොරව ලංකාවට ගෙන්වීම තහනම් කරන උත්සාහයක්

තහනම් උත්තේජන චෝදනා එල්ල වූ තරගයට සහභාගි වෙමින්
මීටර් 100 ඉසව්වේ කැපී පෙණුන හිමාෂ ඒෂාන් ට තහනම් උත්තේජන චෝදනා සම්බන්ධයෙන් වසරක දඩුවමක් ලබා දීමට අවශ්‍යය පියවර ගත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් අර්ජුන ද සිල්වා සුපිරි ක්‍රීඩා කළ විමසිමකදී පැහැදිළි කළේ විලේපන වර්ග,වෛද්‍ය උපකරණ සහ ‍ඖෂධ පාලනය පිළිබද තින්දු තීරණ ගැනීමට  සොඛ්‍ය අමාත්‍යංශයේ වෙනම ආයතනයක් ඇති බවත්  (CDDA) තමන් එම ආයතනය දැනුවත් කරමින් මෙවැනි අතිරේක ආහාර වර්ග ගෙන්වීමේ දී එහි අවසරය සහ සුපරීක්ෂණය අනිවාර්ය කිරීමට අවශ්‍යය පියවර ගනිමින් සිටින බවත් ය.
හිමාෂ ගෙන ඇත්තේ අතිරේක පෝෂණ ආහාරයක් වුව එහි මිතයිල්හෙක්සිමයින් (methylhexamine) නම් ‍ඖෂධය අඩංගු වී .තිබීමෙන්ම පැහැදිළි වන්නේ එවැනි පරීක්ෂණයකින් සහ අනුමැතියකින් තොරව මෙවැනි ආහාර ලංකාවට ගෙන්විම නැවත්විය යුතු බව යැයි පෙන්වා දුන් මහාචාර්යවරයා,හිමාෂ ගෙන ඇති අතිරේක ආහාරය මේ වන විට ඇමෙරිකාවේ සාමාන්‍ය භාවිතයෙන්ද ඉවත් කර ඇති බව පෙන්වා දුන්නේය.එසේම එය මාරාන්තික ප්‍රතිපල අත්කර දිය හැකි දෙයක් හැටියට ඔප්පු කළ හැකි සාධක ද තමා සතු බව මහාචාර්යවරයා පැහැදිළි කළේය.
ඔහු හැකියාවක් ඇති අයෙකු ලෙස මීට පෙර ද ඔප්පු කර ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා ඒ අනුව වයස ද සැළකිල්ලට ගෙන වසර දෙකක් දිය හැකි දඩුවම් කාලය වසරකට සීමා කළ බව පෙන්වා දුන්නේය.එසේම මෙවැනි චෝදනා එල්ල වූ විට කිසිම විටෙක එම ඖෂධය ශරීරගත වීම සිදු වූ ආකාරය හෙළිදරව් නොවන අවස්ථා මෑත කාලයේදි දැක තිබෙන බව පෙන්වා දුන් මහාචාර්යවරයා නමුත් මෙහිදි ක්‍රීඩකයා මෙන්ම පුහුණුකරුද පළමු අවස්ථාවේදී ම තමන් භාවිතා කළ අතිරේක ආහාරය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමද මෙම දඩුවම් කාලය වසරකට සීමා වීමට බල පෑ බව පැහැදිළි කළේය.
එහි අතිරේක ආහාරයේ තරග වැදීමට ආසන්නයේ නොගත යුතු බවට ඇති සදහන ගැන සුපිරික්‍රීඩා කළ විමසිමේදී මහාචාර්යවරයා පැහැදිළි කළේ ඉදිරියේදී එසේ තරග වැදීමට ‍බොහෝ පෙර භාවිතා කළ ද උත්තේජන පරීක්ෂණවලින් ගැලවී සිටිය නොහැකි බව ය.නිතරග සමයේ හෝ වෙනත් තරග නොවදින අවස්ථා වලදී ද අහඹු ලෙස ඕනෑම අයෙකු පරීක්ෂණයකට භාජනය වීමට ඉඩ ඇති බව පැහැදිළි කළ මහාචාර්යවරයා එය ප්‍රතික්ෂේප කිරීමද දඩුවම් ලැබීමට හේතුවක් විය හැකි බව අනාවරනය කළේය.(2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ග්‍රීක ක්‍රීඩිකාවකට සහ ක්‍රීඩකයෙකුට ද අවස්ථාව අහිමි වූයේ එසේ තහනම් උත්තේජන පරීක්ෂණයට පෙනී සිටීම මග හැරීම නිසාය)  
පුහුණුකරුට දඩුවම් දිය හැකි ප්‍රතිපාදන වෛද්‍ය ඒකකය සතුව නැති බව පැහැදිළි කළ මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් වන නීති මේ වන විට සකස්වෙමින් පවතින බවත් පැහැදිළි කළ අතර නමුත් මලල ක්‍රීඩා සංගමයට සහ ඔහු රැකියාවේ යෙදෙන ආයතනවලට මෙම ක්‍රීඩකයාගේ වයසද සැළකිල්ලට ගෙන දඩුවමක් ලබා දීමට ප්‍රතිපාදන තිබෙන බව අනාවරනය කළේය.
ක්‍රීඩා කේෂ්ත්‍රයේ පරිපාලනයේ දුෂ්කරතාවය පිළිබදව වක්‍රාකාරයෙන් පැහැදිළි කළ මහාචාර්යවරයා තමන් මෙම වගකීම භාර ගත් තාවකාලික කාලය එළැඹෙන දකුණු ආසියාතික තරගාවලියෙන් අවසන් කරන බව පැහැදිළි කරමින් තමන්ගේ ඉතිරි කෙස්ගස් ප්‍රමාණය සුදු වීමට පෙර මෙය හැර යන බව කීවේය.
www.supirikrida.com

Dec 11, 2012

බැඩ්මින්ටන් සහතිකය නිවැරදි විය යුතුයි - පාලිත හෙට්ටිආරච්චි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙන් ලැබුණු බැඩ්මින්ටන් පුහුණුකරු පාඨමාලාව නිමා කර අයට ලබා දුන් සහතිකයේ බැඩ්මින්ටන් යන්න කොතැනකවත් සදහන් නොවීම පිළිබදව අප තැබූ සටහන පිළිබද විමසීමක් කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පාලිත හෙට්ටිආරච්චි එහි නිවැරදි විය යුතු වරදක් තිබෙන බව පිළි ගත්තේය.ඊට හේතු පැහැදිළි කළ පාලිත ප්‍රකාශ කළේ,ගම්පහ දිස්ත්‍රක්කයෙන් මීට පෙර මෙම පාඨමාලාව සම්පූර්ණ කළ ලියනගේ නම් අයෙකුගේ සහතිකයට අනුව මෙම සහතිකය පිර වූ බවය.එම සහතිකයේ වරද දිගින් දගටම සිදුවී තිබෙන බව පාලිත පිළිගත් අතර එය ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කර නිවැරදි කිරීමට උත්සාහ ගන්නා බව ද පැවසීය.
තව දුරටත් අදහස් දැක් වූ පාලිත ප්‍රකාශ කළේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනයේ වගකිව යුතු අධීක්ෂනයකින් පසුව මෙම පාඨමාලාලාභින්ගේ ප්‍රතිපල ලැබෙන බවත් ඒ අනුව තවත් ලිපියකින් මෙම පාඨමාලාව නිමා කළ බවට සහතික කිරීමට ද අවස්ථාවක් ඇති බව ය.නමුත් සුපිරි ක්‍රීඩා පෙන්වා දුන්නේ මෙම පාඨමාලාවට බැඩ්මින්ටන් ප්‍රධාන පුහුණු විෂය නොවන අය ද සහභාගි වී තිබෙන බැවින් නිකුත් කළ සහතිකයේ කිසිදු තැනෙක බැඩ්මින්ටන් ලෙස සදහන් නොවීම මොවුන්ට වෙනත් ක්‍රීඩා සදහා මෙම සහතිකය භාවිතා කර නොමනා වරප්‍රසාදයක් දිනා ගැනීමට ලැබුණු අවස්ථාවක් විය හැකි බවය.පාලිත ඒ තත්ත්වයද පිළිගත් අතර ඔහු ප්‍රකාශ කළේ, අදාළ සහතිකය ගෙන්වා එම වරද නිවැරදි කළ හැකි ආකාරයක් ජාතික ඔලිම්පික් කමිටුවත් සමග සාකච්ඡා කරන බවය.
මේ පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රකාශ කළේ,එම සහතිකය පිරවීමේ වගකීම පැවරී තිබුණේ බැඩ්මින්ටන් සංගමයට බවය.නමුත් නොදන්නේ නම් තම සංගමයෙන් විමසීමක් කිරීමට තිබුණු බව පෙන්වා දුන් මැක්ස්වෙල් පැවසුවේ එසේ වූවේ නම් සිය සංගමය එය නිවැරදිව පිරවීමට අවශ්‍යය පහසුකම් සපයන බවය.
www.supirikrida.com

වෙළද සේවා වොලිබෝල් පිටියේ MAS සහ Brandix ගැටුමක්

වෙළද සේවා වොලිබෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි අවසාන තරග සදහා  MAS සහ Brandix ආයතන නියෝජනය කරන කණ්ඩායම් තේරී පත් වී සිටිති.පිරිමි අවසාන තරගයට  MAS Active Contourline-Kandy කණ්ඩායම සමග Brandix Intimate Apparel Ltd-Welisara තේරී පත් වී සිටින අතර මෙම අවසාන තරගය දෙසැම්බර් 16 දා ප.ව. 2.00 ට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වේ.එම කාන්තා තරගයට MAS Casualline-Mawathagama සහ Brandix Casual ware - Redigama යන කණ්ඩායම් තේරී පත් වී සිටින අතර එම අවසාන තරගයට ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වෙන්නේ මධ්‍යහන 12 .00 ට ය.
තරගාවලියේ තෙවන ස්ථාන තීරණය කරන තරග සදහා පිරිමි අංශයෙන් Sumithra hasalaka Sports Club සහ Textured Jersey Lanka PLC කණ්ඩායම් 16 දා පෙ.ව. 10 .00 ට තරග බිමට පිවිසෙන අතර කාන්තා අංශයෙන් තරග වදින්නේ MAS Linea Aqua-Kapugoda සහ  Brandix Intimate Apparel Ltd-Welisara කණ්ඩායම් ය.කාන්තා තෙවන ස්ථානය සදහා වන තරගය එදින පෙ.ව. 8.00 ට පැවත්වේ.
www'supirikrida.com

කෝට්ටේ දැල් පන්දු තරගාවලියේ දී කෝට්ටෙන් විශේෂ දස්කම්

කෝට්ටේ දැල් පන්දු ඇකඩමියට සත් විය සපිරීම හේතු කොට පැවති ආරාධිත දැල් පන්දු තරගාවලියේදී කෝට්ටේ දැල් පන්දු ඇකඩමියට සම්බන්ධ ක්‍රීඩිකාවන් විශේෂ දක්ෂතා දැක්වීමට සමත් විය.එහිදී ඔව්හූ අවුරුදු 15 න් පහළ අනු සූරතාවය අවුරුදු 15 න් ඉහළ සූරතාවය ද දිනා ගත් අතර ස්පීඩ් මැක්ස් කණ්ඩායම විවෘත තරග අංශයේ සූරතාවය ද දිනා ගත්හ.
අවුරුදු 15 න පහළ කාණ්ඩයේ සූරියන් වූයේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වූ අතර 15 න් ඉහළ කාණ්ඩයේ අනු සූරියන් ලෙස මෙතෝදිස්ත විද්‍යාලය තේරී පත් විය.ප්‍රධාන කණ්ඩායම් සහභාගි වූ තරගාවලියේ දී අවසාන තරගයේදී ස්පිඩ්මැක්ස් කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වුණේ සංවර්ධන ලොතැරයි මණ්ඩල කණ්ඩායමය.
අවුරුදු 15 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස භාෂිණි උපේකා රත්නායක ගෞරවයට පාත්‍ර වූ අතර අවුරුදු 15 න් ඉහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගෞරවයට පාත්‍ර වූයේ කණිෂ්කා පෙරේරා ය.ප්‍රධාන තරග කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වීමට යසුන්තරා ප්‍රනාන්දු ය.
කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය හිටපු ජාතික පුහුණුකාරිණි තිලකා ජිනදාස විසින් අරඹන ලද අතර වර්ථමානයේ ඇය බෘනායි දැල් පන්දු ජාතික පුහුණුකාරිය ලෙස කටයුතු කරන්නීය.වර්ථමානයේ එම ඇකඩමියේ සියළු කටයුතු අධීක්ෂණයන් සිදු වන්නේ ශ්‍යාමා කුරේ වෙතින් ය.ඒ සදහා ලක්මාල් දේශප්‍රිය ගේ සහය ද හිමිවෙයි.
www.supirikrida.com

බොක්සිං සූරතාවලිය මහනුවර දී

ජාතික බොක්සිං සූරතාවලියේ 86 වැන්න මෙම මස 14 දා සිට 18 දා දක්වා මහනුවර පල්ලෙකැලේ මාස් ලීනියා කර්මාන්තායතනයේ බොක්සිං කවය තුළ පැවත්වීමට නියමිතය.මාස් හෝල්ඩින්ග්ස් සත්කාරකත්වය දරන මෙම තරගාවලියේ දී හිටපු බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි නැවත බොක්සිං කවයට පිවිසීම විශේෂ කොට දැක්විය හැකිය.
බොක්සිං කව දෙකක මේ තරගාවලියේ මූලික තරග මුල් දින තුන තුළ පැවත්වීමට නියමිත අතර සාග් අවසාන තේරීම් තරග බැවින් මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රබලතම බොක්සිං ක්‍රීඩකයන් සියල්ලම පාහේ සහභාගි වනු ඇති බව ද ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනය වෙනුවෙන් අදහස් දැක් වූ එහි ලේකම් මහේෂ් දහනායක පැවසීය.
www.supirikrida.com

ෆෝර්ඩ්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබදව නරක අනාවැකියක්



මෙම ඕස්ට්‍රේලියා සංචාරයෙන් පසුව මහේල ජයවර්ධන සිය ක්‍රිකට් ජීවිතය පිළිබදව තීරණයක් ගැනීමට නියමිත බව දැනටමත් ප්‍රකාශ වී අවසන් අතර මේ අතරට බොහෝවිට තිලකරත්න ඩිල්ෂාන් ද,ඇතැම් විට කුමාර සංගක්කාර සහ තිලාන් සමරවිර ද එක් වීමට ඉඩ ඇත.ඒ අනුව ජ්‍යෙෂ්ඨයන් සහ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ විශාල කඩා වැටීමකට ලක් වීමට ඉඩ ඇති බව ප්‍රකාශ කරන්නේ දකුණු අප්‍රිකානු ජාතික ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු ගෙහැම් ෆෝර්ඩ් ය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රිඩකයන් සිව් දෙනාම අවුරුදු 35 ඉක්ම වූ අය බවය.
එවැනි තත්ත්වයක මේ පිරිස ගේ ක්‍රිකට් ජීව්තය තව නොබෝ කලකින් නිම වූ පසුව ඒ තැන ගැනීමට පිරිසක් සූදානම් ව නැති බව ෆෝර්ඩ් ගේ ප්‍රකාශනයෙන් ගම්‍ය වන්නේය.තව දුරටත් ෆෝර්ඩ් ගේ ප්‍රකාශය තුළින් ක්‍රිකට් පරිපාලන පසුගිය වසර ගණනක අනාගතය වෙනුවෙන් කළ බව කියන ක්‍රිකට් සංවර්ධනය සිදු වී නැති බව නොකියා ප්‍රකාශ වෙන අතර ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් තේරීමේදී දක්වන වැරදි ප්‍රතිපත්ති පිළිබදව විවේචනය කරමින් පළමු පෙළ ක්‍රිකට් ජීවිතයට සමුදෙමින් චින්තක ජයසිංහ ද මේ බව ප්‍රකාශ කළේය.නමුත් චින්තක මෙන්ම මේ රටේ ක්‍රීඩා මාධ්‍යයද ෆෝර්ඩ් ගේ අදහස ප්‍රකාශ කරමින් මීට බොහෝ කාලයකට පෙර සිට අදහස් දක්වා ඇතත් සුදු හම තියෙන අයෙකු ප්‍රකාශ කරනා තෙක් මෙවැනි කරුණු පිළිබදව වගකීමක් වගකිව යුතු අයට දැනෙන්නේ නැත.එයද හරූන් ලොගාඩ් කෝට් එක හමාරක මුදලක් ගෙන මේ රටේ ජනමාධ්‍ය විසින් පෙන්වා දෙන ලද කරුණු ඇතුළත් කර වාර්තාවක් ඉදිරිපත් කළ පසු එය පිළිගැනීමට සමානය.
www.supirikrida.com