Jun 8, 2012

20/20 තානාපතිකම මාලිංග ට

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට නියමිත 20 / 20 ක්‍රිකට් තරගාවලියේ නිල තානාපති ලෙස ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ලසිත් මාලිංග ව නම් කර ඇත.
මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීමේ දී අර්බූදයක් ඇති කර ගෙන සිටින ලසිත් මාලිංග ගේ දක්ෂතාවය මෙන්ම භාහිර පෙනීම ද ජගත් ක්‍රිකට් කවුන්සිලයේ සැළකිල්ලට යොමු වී ඇත.
ලසිත් ඔහුටම ආවේනික වූ පන්දු යැවීම නිසා මෙන්ම සුවිශේෂි විලාසිතා නිසා ද ශ්‍රී ලංකාවේ පමණක් නොව ජගත් ක්‍රිකට් ලෝලීන් අතර ද විශාල ජනප්‍රියත්වයක් ලබා සිටියි.
www.supirikrida.com


ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය මංචි වොලිබෝලයේ රසකිරුළු පළදියි


මෙවර මංචි වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරතාවය ශ්‍රී ලංකා වරාය අධිකාරියත් කාන්තා සූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් විසින් දිනා ගන්නට සමත් විය.වරාය සිය ඉකුත් වසරේ සූරතාවය රැක ගන්නට සමත් වූ අතර  ගියවර සූරතාවය රැක ගන්නට ගිය විදේශ සේවා නියුක්ති කාර්යාංශ  පිළට සිදු වූයේ ආබාධයකට ලක්ව සිටින සිය කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකාව වන ලීනා  සදමාලි ගේ දායකත්වයේ අඩුව සමගින් අනු සූරතාවයේ රැදෙන්නටය.

කෙසේ නමුත් අවසන් තරග ද්විත්වයම තරග වට පහක් දක්වා දිගු විය.කාන්තා සූරතාවය සදහා පැවති අවසන් තරගයේදී ප්‍රථම සහ සිව්වන වටය 25 / 20 සහ 25 /18 ලෙස ජයගත් විදේශ සේවා කණ්ඩායම තරග වට 2 ක් ජයගත්ත ද ලකුණු 25/22 සහ 25/15 ක් ලෙස දෙවන සහ තෙවන වටය ජයගත් ගුවන් හමුදාව තීරාණාත්මක අවසන් වටයේදී ලකුණු 15 /7 ලෙස ජයග්‍රහණය ලබමින් තරගාවලියේ කාන්තා සූරියෝ වූහ.
පිරිමි අවසන් තරගය ද වට පහක් දක්වා දිගු වූයේ මෙවර මංචි කුසලාන තරගාවලියට සැබෑම උනුසුම් රසයක් එකතු කරමින්ය.එහිදී ප්‍රථම වටයම ජය ගනිමින් (25/22) ලෙස තරගයේ පෙරමුණ ගන්නට වරාය සමත් වුව ද,දෙවන වටයේදී සහ තෙවන වටයේදී 25/12 ක් සහ 25/18 ලෙස තරග වට දෙකක් ජයගත් ගුවන් හමුදාව තරගයේ පෙරමුණට පැමිණියේය.නමුත් තීරාණාත්මක සිව්වන වටය සහ පස්වන වටය 25/20 සහ 15 /13 ක් ලෙස ජයගත් වරාය සමස්ත සූරතාවය ජය ගත්තේය.
මෙම තරගාවලියට සමගාමීව පැවති දෙවන කොටසේ සූරතාවය ද ගුවන් හමුදා කාන්තා කණ්ඩායමටම හිමි විය.ඔවුන් වට 3 – 1ක් ලෙස ටොරිංටන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජය ගත්තේය.යුධ හමුදාවේ ඇහැලියගොඩ සහ නුවර කන්ඩායම් දෙකක් අතර පැවති දෙවන කොටසේ අවසාන තරගය ද ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර වට පහක් දක්වා දිගු වූ එම අවසන් තරගයේ ජය නුවර කණ්ඩායමට හිමි විය.
පහත දැක්වෙන්නේ තරගයේ නිල ප්‍රතිපල  සටහන සහ ඡායාරූප කිහිපයකි.

                                                                                                                   

Jun 7, 2012

ආසියානු තරගාවලියට රටවල් 34 ක් ලංකාවට


ජූනි 9 දා සිට 12 දා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන රටවල් ප්‍රමාණය ඊයේ වන විට 34 ක් දක්වා ඉහළ ගියේය.අවසාන වරට ශ්‍රීලංකාවේ පැවත්වෙන තරගාවලියට සහභාගි වීම සදහා අවස්ථාව ලද උස්බෙකිස්තානය ඊයේ හවස සිය රට වෙනුවෙන් 11 දෙනෙකු ගේ ක්‍රීඩා කණ්ඩායමක් එවන බව සහතික කළේය.
තරගාවලිය වරක් අවලංගු වීම මත තරගාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් රටවල් දෙගිඩියාවෙන් පසු වූ අතර නැවත තරගාවලිය ලබා දීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය එකග වීම මෙන්ම තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකලස් කරන ලද යහපත් ප්‍රකාශත් සමග ආසියාතික රටවල අවධානය වැඩි වශයෙන් මේ තරගාවලියට සහභාගී වීම සම්බන්ධයෙන් යොමු විය.
ඒ නිසා තරග උළෙල සදහා සහභාගීත්වය සනාථ කිරීමට දී ඇති කාලයෙන් අනතුරුව ද තරග සංවිධාන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් වූ අතර ඇති වූ තත්ත්වයන් සැළකිල්ලට ගෙන ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ආශිර්වාදයද ඇතිව ඒ රටවලට ඉදිරිපත් වීමට ඊයේ දක්වා කාලය ලබා දීමට එකග විය.ඒ අනුව පැමිණි රටවල් සළකා බලද්දී හ්‍රී ලංකාවට පසුව මෙම තරගාවලිය නියෝජනය කරන වැඩිම පිරිස ජපානයෙන් ඉදිරිපත් වී ඇති අතර ජපානයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 42 ක් ඇතුළුව මේ තරග උළෙට සහභාගි  වන ජපාන කණ්ඩායම 61 කි.
www.supirikrida.com 

ඇමතිතුමනි! ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ සිට අනාගතයට එබී බලන්න


ආසියාවේ මලල ක්‍රීඩා ඉතිහාසයේ පිපෙන කැකුළු වල සුවද විද ගන්නට අලුතින් එලුණු සුගතදාස ධාවන පථය මග බලමින් සිටියි.එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යථාර්තය නම් මේ උළෙලෙන් මතු වුණු කැකුළු මල් බවට පත් වී සුවද හැමුවේ කලාතුරකින් බවය.
එසේ ඉතිහාසයෙන් හමුවන සුවද මල් වූ සුවද කැකුළු අතර ඉදිරියෙන්ම සිටින්නී සුසන්තිකා ජයසිංහ ය.ඇය ආසියාතික කණිෂ්ට මලල ක්‍රීඩා උළෙලෙන් නොනැවති ඔලිම්පික් උළෙලකදී ද ශ්‍රී ලංකාව රිදියෙන් නැහැ වීම දක්වා සිය හැකියාවන් ඉදිරියට රැගෙන යාමට තරම් භාග්‍යවන්ත වූවාය.දමයන්ති දර්ශා දෙවැන්නිය විය. එසේම  මේ ආසියානු කණිෂ්ඨ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දී ඇත්තේද සුසන්තිකා සහ දර්ශාම පමණි.ඔවුන් දෙදෙනාට පසුව වඩාත් ජාත්‍යන්තර මට්ටමෙන් කතා බහට ලක් වූ ක්‍රීඩකයා වන්නේ ෂෙහාන් අඹේපිටිය ය.ඔහු ද ශ්‍රී ලංකාවට මේ තරග ඉතිහාසයේ රිදී පදක්කමක් ලබා දීමෙන් නොනැවතී තවත් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා දී ඇත්තේය.
වර්ථමානයේ මීටර් 3000 බාධක දිවීමේ ජාතික වාර්තාලාභිණිය වන එරංගා දුලක්ෂි 2010 වසරේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් අතර ඇයද තවමත් නිසි අවස්තාවක් නොලදමින් මේ ක්ෂ්ත්‍රයේ රැදී සිටින්නීය.නිසි අවස්ථාව සහ අවධානය මේ කණිස්ඨ ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි නොවීම නිසාම ඒවා කැකුළු සුවද ට සීමා වී සුවද හමන මල් බවට පත් නොවී අකාලයේ පර විණි.
බෙනිල්ඩස් ප්‍රනානන්දු මේ තරග ඉතිහාසයේ පළමු පදක්කම්ලාභියා වූ අතර ඔහු ලෝකඩ පදක්කමක් ලබා දුන්නේය.ඔහුට ඇමෙරිකානු ශිෂ්‍යත්වයක් හිමි වූ අතර එහෙත් ඔහු නිසි අධීක්ෂණයකට ලක් නොවිණී.මෙම තරග ඉතිහාසයේ කණිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස දැක් වූ දක්ෂතා සළකද්දී හමුවන සුවිශේෂීම ක්‍රීඩකයා මනෝජ් පුෂ්පකුමාර ය.ඔහු උළෙල දෙකක්   නියෝජනයට අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා දක්ෂතා දැක්වීමේ හැකියාව ලැබා ඇති අතර ඒ අවස්ථා දෙකේදීම ඔහු  ශ්‍රී ලංකාවට රිදී පදක්කම බැගින් ගෙන එන්නට සමත් විය.නමුත් ඔහු ද නිසි අවධානයෙන් ඇගයීමෙන් තොරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට අහිමි වූ සම්පත් බවට පරිවර්ථනය විය.මෙම පදක්කම්ලාබීන් අතර ශ්‍රී ලංකාවට සහය දිවිමේ එක් රන් පදක්කමක් පමණක් හිමි ව ඇති අතර ඒ සදහා දායක වූ කණ්ඩායමේ සිටි ජෝයි ධනුෂ්ක ඒ ජයග්‍රහණයෙන් ඉක්බිතිව සුළු කාලයකදී එම කාල වකවානුවේ සිටි ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසා ලෙස ඉදිරියට පැමිණිය ද එය දීර්ඝ කාලයකට නොවිණි.අද ජෝයි මලල ක්‍රීඩා පිටියේ රැදී සිටින්නේ යගුලිය වීසි කිරීමේ සූරයෙකු ලෙසිණි.
ජානක වීරසිංහ මෙම තරග ඉතිහාසයේ මැදි දුර දිවීමේ ඉසව්වවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන දීමට සමත් වූ එකම ක්‍රීඩකයා ලෙස දැකිය හැකි අතර ඔහු 2008 දී මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩකයා විය.නමුත් අද ඔහු එම ඉසව්වද අත හැර සිටින අතර කාලයත් සමග ජාතික තලයට පිවීසීමේ හැකියාවක් ඔහුගෙන් ද දිසි නොවිණි.
ක්‍රීඩකයා ගේ නොසැළකිල්ල ද නිසි අධික්ෂණය සහ සහයෝගය ද නොලැබීම නිසා මේ තරග ඉතිහාසයේ ආසියාව ජය ගත් පිරිස් ඉන් අනතුරුව ලංකාවේ දී ඔහු අංක එකට පත් නොවී ක්‍රීඩා පිටියෙන් වීසි වී ගිය බවක් පෙනෙන්නට තිබෙන බව පැහැදිළිව දැක ගත හැකිය.මේ තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.මේ තරග උළෙලේ ජයග්‍රාහකයන් මෙන්ම තරග උළෙල හරහා මෙන්ම මේ වන විටත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සදහා තේරී ඇති අයද රැක ගැනීමට අනුග්‍රාහක වැඩ පිළිවෙලක් සමග ඔවුන්ව රැකෙන විනය නීති මාලාවක් ද ඉදිරිපත් කළ යුතුය.
මේ තරග උළෙලේ ජයග්‍රාහකයන්ට අමාත්‍යංශයෙන් ලැබන මුදල් ත්‍යාග පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔවුන්ට මාසික අනුග්‍රාහකත්වයක් හිමි විය යුතුය.එය දෙවසරකට හිමි වීම වුව ප්‍රමාණවත්ය.ඒ දෙවසර තුළ ඔහු හෝ ඇය ලැබිය යුතු ප්‍රගතිය මෙපමණක් විය යුතුය යන නිගමණයට එළැඹ ඒ තත්ත්වයට ළගා වීම මත හෝ ළගා නොවීම මත ඒ අනුග්‍රාහකත්වය පිළිබදව තීරණය කරන කඩ ඉමක් යෙදීම ද අගනේය.
තිබෙන තත්ත්වය අනුව අලුත් පරපුරක් ගැන සිතීම වඩා වැදගත් වන අතර ඒ නිසා ඒ පිළිබදව වන ආරම්භය මේ තරග උළෙ හරහා ලබා ගත හැකිනම් ක්‍රීඩා අමාත්‍යවරයාට සිය අමාත්‍ය ධූරය පිළිබදව අනාගතයේ දවසක සතුටු විය හැකි බොහෝ දේ ලැබෙනු ඇත. 

Jun 6, 2012

ආසියානු බලවතුන් අද මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ලංකාවට


අගෝස්තු 9 වන දා සිට 12 වන දා දක්වා ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක වන 15 වන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන චීනය සහ  ජපානය නියෝජනය කරන මලල ක්‍රීඩා කණ්ඩායම් අද දිවයිනට පැමිණීමට නියමිතය.ඒ අනුව චීනය නියෝජනය කරමින් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද,ජපානය නියෝජනය කරමින් 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද අද දිවයිනට ළගා වන අතර එම කණ්ඩායම් දෙකට අමතරව චීන තායිපේ කණ්ඩායම ද අද දිවයිනට ළගා වීමට නියමිතය.
චීන තායිපේ නියෝජනය කරමින් අද 44 දෙනෙකු ශ්‍රී ලංකාවට ළගා වන අතර මෙවර තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු විට වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් තරගාවලිය ආවරණය සදහා සහභාගි වන්නේද චීන තායිපේ වෙතින් වන අතර චීන තායිපේ මාධ්‍යවේදීන් හත් දෙනෙකු ද අද දිවයිනට ළගා වීමට නියමිතය.අද දිවයිනට ළගා වීමට නියමිත සවුදි අ‍රාබියානු කණ්ඩායම ට 28 දෙනෙක් අයත් වන අතර ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ තාක්ෂන කටයුතු වලට සම්බන්ධ නිළධාරීන් කිහිප දෙනෙකු ද අද ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිතය.

යාපනෙන් තිදෙනෙක්


ජූනි 9 වන දා සිට 12 වන දා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වීමට ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට   උතුරු පළාත නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක ඇතුළත් වන බව ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.ඒ අනුව යාපනය අලවෙඩ්ඩි හී අරුනෝදය විද්‍යාලය නියෝජනය කරමින් රිටි පැනීමේ ඉසව්ව සදහා ඒ පවිත්‍රා සහ බී ලවනන් ඇතුළත් වෙයි.කාන්තා රිටී පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් තරග වදින පවිත්‍රාගේ හොදම දක්ෂතාවය ලෙස මීටර් 2ග90 ක් වන අතර පිරිමි උස පැනීමේ ඉසව්ව නියෝජනය කරන ලවනන් ගේ දක්ෂතාවය මීටර් 3.50 කි.මෙම දෙදෙනාම තර්මකුලසිංහම් පාකිස්වරන් යටතේ පුහුණුව ලබයි.
යාපනය උඩුප්පිඩ් ඇමෙරිකන් මිෂන් විද්‍යාලය නියෝජනය කරන ආර් නිමලේන්ද්‍ර යගුලිය වීසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර ඔහු දක්වා තිබෙන හොදම දක්ෂතාවය මීටර් 14.09 කි.කේ විජිතරන් නිමලේන්ද්‍ර ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේය.වසර තිහක යුද්ධයක නිමාවෙන් පසුව මේ රටේ පැවත්වෙන වැඩිම රටවල් ගණනක් සහභාගි වන ඉසව්ව වන මෙම ක්‍රීඩා උළෙලට යාපනය නියෝජනය කරමින් තිදෙනෙකු සහභාගි වීම තුළින් පැහැදිළි වන්නේ තිස් වසරක කාලයක් උතරේ සම්පත් වලින් පල ප්‍රයෝජන ලැබීමේ අවස්ථාව රටට අහිමි වී තිබූ බව යන්න සුපිරික්‍රීඩා විශ්වාසය වන්නේය.

Jun 5, 2012

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ ප්‍රවේශපත්‍ර 80% ක් අවසන්

ජූනි 9 දා සිට ශ්‍රී ලංකාවේ පැවත්වෙන 15 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් මුද්‍රණය කරන ලද ප්‍රවේශපත්‍ර වලින් සියයට අසූවක් මේ වන විට විකිණී අවසන් බව එම උළෙල සංවිධායක මණ්ඩලය පවසයි.මෙම ක්‍රීඩා උළෙල නැරඹීමට ප්‍රවේශපත්‍ර අවශ්‍යය වන අතර එම ප්‍රවේශපත්‍ර නිකුත් වීම ටොරිංටන් හී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ  ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් පිහිටුවා තිබෙන ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
මේ වන විටත් තරගාවලිය වෙනුවෙන් රටවල් 31 ක් සහභාගි වන අතර ඒ අතරින් කටාර්,කුවේට් සහ යේමනය ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා පුහුණුවීම්වල යෙදෙමින් ඇත.