Dec 20, 2012

දකුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය 23 දා දියගම දී විවෘතවේ

Article photo
කුණු ආසියාතික රටක ඉදිවන පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය ,හෝමාගම - දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී දෙසැම්බර් 23 දා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් විවෘත වන බව ජාත්‍යන්තර බේස්බෝල් සම්මේලන වෙබ් අඩවිය අවධාරණය කරයි. මූලික සංස්කෘතික ව්‍යාපෘතියක් සදහා වන විශේෂ ප්‍රදානයන්ගේ ද (GCGP) ආධාර ඇතිව ජපන් රජයේ ආධාරයක් ලෙස ඉදිවන මෙම ක්‍රීඩාංගණය වත්මන් ජාතික පුහුණුකරු වටනබේ ගේ අදහසක් මුල කර ගෙන ඉදි වන්නකි.
ජපන් රජය විසින් JICA  ආධාර පදනමේ අධික්ෂනය යටතේ ක්‍රියාවට නැංවූ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සදහා ජපන් රජය විසින් ප්‍රදානය කරන්නට යෙදුණ රුපියල් මිලියන 12 ක් මෙන්ම,විශේෂ ප්‍රදාන යටතේ ලැබුණු මිලියන 14 ක් ද මෙම ක්‍රීඩාංගනයේ ඉදිතිරීම් සදහා වැය වී තිබෙන බව එම ප්‍රවෘත්තිය මගින් අනාවරණය කරන අතර මේ අතරින් මිලියන අටක පමණ මුදලක් සොයා දෙන්නට දැනට ජපනයේ රැකියාවේ නියුතු ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික තලයේ සිටින ප්‍රධානතම විනිසුරුවරයා ලෙස පිළිගැනෙන සුජීව විජේනායකගේ උත්සාහයෙන් ආධාර ලෙස ලබා දී තිබීම ද විශේෂත්වයකි.
2002 වසරේ සිට ජපන් රජයේ අනු දැණුම  මත ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය පිණිස විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් සිදු වන බව පෙන්වා දෙන එම ප්‍රවෘත්තිය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ස්වේච්ඡා සේවාව (JOCV) මගින් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග දියුණුව සදහා පුහුණුකරුවන් ලබා දී ඇති බව ප්‍රකාශ කරයි.මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට අද බේස්බෝල් ක්‍රීඩා කරන රටවල් 72 ක් අතරෙන් 32 ස්ථානය දක්වා ලෝක ශ්‍රේනිගත කිරීම්වල පෙරට පැමිණිමට අවස්ථාව ලැබි තිබෙන බව ද එම ප්‍රවෘත්තිය පෙන්වා දෙයි.
2009 ආසියානු කුසලාන සූරතාවලියේදී තෙවන ස්ථානයට පත්වීම,වර්ථමානයේ දකුණු ආසියාතික අනු සූරයන් වීම,ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම 2010 දි ලෝක සූරතාවලියට සුදුසුකම් ලැබීම,ජපානයේ කණ්ඩායම් 18 ක සහභාගිත්යෙන් පැවති තරුණ බේස්බෝල් සූරතාවලියේදී ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි වීම මේ දක්වා ශ්‍රී ලංකාවේ බේස්බෝල් ඉතිහාසයේ වැදගත් සංධිස්තාන ලෙස මතු කර පෙන්වා දෙන එම ප්‍රවෘත්තිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සබදතාවලට වසර 50 ක් පිරීම නිමිති කර 2002 දී ඇරඹි බේස්බොල් සහයෝගයට වසර 60 ක් ගෙවෙන තැන ක්‍රීඩාංගණයක් පරිත්‍යාග කරමින් සමරන්නට ලැබීම පිළිබදව ජපානය සතුටට පත්වන බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පණිවිඩයක් ලෙස එම ප්‍රවෘත්තිය පළ කරන ජාත්‍යන්තර බේස්බෝල් සම්මේලන වෙබ් අඩවිය පැහැදිළි කරන්නේ ක්‍රීඩාංගණය විවෘත කිරීම නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සහ කනගාවා උසස් පාසල් බේස්බෝල් කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක්ද මෙම ක්‍රීඩාංගණයේ පැවත්වෙන බව ය.
www.supirikrida.com

No comments: