Mar 22, 2012

මලල ක්‍රීඩාවේ ජෙනරාල් යුගයට තිත?


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී නැවතත් සභාපති ධූරය සදහා තරග වැදීමට අවසර ඉල්ලා ඇති ජාපරාල් පාලිත ප්‍රනාන්දුට ඒ සදහා අවසර නොලැබෙනු ඇතැයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.ජෙනරාල් පාලිත ප්‍රනාන්දු,ලේකම් මෙන්ම සභාපති ලෙස ද එක දිගට මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව ගෙවෙන හත්වන වසර මෙය වන අතර නැවත පරිපාලනයට ඉදිරිපත් වීම සදහා ඔහු අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ අවසරය ලබා ගත යුතු වුව ද,එම කමිටුව ජෙනරාල්වරයාගේ සේවය පිළිබදව තෘප්තියට පත් වී නැති බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
මේ පිළිබදව අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමක දී කිසිදු පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුගෙන් තමාට බලපෑමක් එල්ල වී නැති බවත් යමෙක් විසින් යහපත් දෙයක් සහ නැවත පත් වීමට තරම් සුදුසු සේවයක් කර ඇත්නම් එම කමිටුව ඔහුව අනිවාර්යයෙන් නිර්දේශ කරනු ඇති බවත් ප්‍රකාශ කළේය.එහෙත් යමෙක් සෑහීමකට පත් විය නොහැකි අන්දමෙන් ක්‍රියා කර ඇත්නම් තමා ඔහුව නිර්දේශ කිරීමට කමිටුවට බලපෑම් නොකරන අයුරෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමාටද කිසිවෙකු බලපෑම් නොකරන බවත් අවධාරණය කළේය.
කෙසේ වුව ද ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පිළිබද තීරණය පත් කර ඇති කමිටුව විසින් ඔහු කර ඇති සේවය පිළිබදව සළකා බලා ගනු ඇති බවත් පුද්ගලයාගේ තරාතිරම අනුව නොව,ඔහු කර ඇති සේවයේ ප්‍රමාණය සළකා බලා එම කමිටුව තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.ජෙනරාල්වරයා පත් වීම හෝ පත් නොවීම නොව මලල ක්‍රීඩා සම්මේලනයට සම්බන්ධ සංගම් සහ ක්‍රීඩා සමාජ වෙත අතුරු කමිටුවකින් තොරව සිය කැමැත්ත පරිදි නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට ඉඩ ලබාදීම තම අපේක්ෂාව බවත් පැවසූ අමාත්‍යවරයා ඒ නිසා නිලවරණය සදහා නාමයෝජනා බාර ගන්නා දිනය කල් දැමීමට තීරණය කර ඇති බවත් පැවසීය.  

No comments: