Nov 3, 2012

ඔනිනම් බලන්නත් පුළුවන් නොබලා සල්ලි ගන්නත් පුළුවන්

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන සහ තෙවන එක්දින තරග පැවත්වීමට නියමිතව තිබූ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය වෙනුවට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනය යොදා ගැනීමට තීරණය වීමෙන් එම තරග නැරඹීම සදහා ප්‍රවේශපත් මිළදී ගත් අයට මහනුවරට යාමට නොහැකිනම් එම ප්‍රවේශපත් මුදල් 4 දා ප.ව. 12.30 ට පෙර කොළම මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නැවත ලබා ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කරයි.එසේම මෙම තරග නැරඹිම සදහා අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් මිළ දී ගත් අයට මේ වන විටත් මේ බව දන්වා එම විද්‍යුත් ලිපින වලට තොරතුරු යවා ඇති බවත් අවශ්‍යනම් එම මිළදී ගැනීම් අන්තර්ජාලය හරහාම අවලංගු කර නැවත සිය ගිණුම් වලට බැර කර ගැනීමට හැකි බවත් ඒ පිළිබදව කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හී මාධ්‍ය සහ සංනිවේදන කළමණාකරු රජිත් ප්‍රනාන්දු සුපිරික්‍රීඩා වෙත පැවසීය.
දඹුල්ලට අයිසීසිය කැමති නෑ-හම්බන්තොට ඉක්මණින් ලෑස්ති කරන්න බෑ 
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග අවලංගු කිරීමට බල පෑ හේතුව පැහැදිළි කළ රජිත් පැවසුවේ ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසළ ඇති ඇල පිරී එම නිවෙස් වලට ද වතුර දමා ඇති බවත් ක්‍රීඩාංගණයේ වතුර බැසීම සිදුවන්නේ මෙම ඇල හරහා බැවින් එම කාර්යය නිවැරදිව සිදු නොවන බවත්ය.ඒ නිසා ක්‍රීඩාංගණයේ හතරේ සිමාව ආසන්න ප්‍රදේශය දැඩි තෙත් බවක් ගන්නා බවත් මේ හේතුව නිසා තරගය පල්ලෙකැලේට රැගෙන යාමට තීරණය කළ බවත්ය.
ශ්‍රී ලංකාවේ දිවා රාත්‍රි තරග පැවත්වීමට සුදුසු පරිදි ඉදි කළ ක්‍රීඩාංගණ හතරෙන් වර්සාවේ අවදානම වැඩිම ක්‍රීඩාංගණය පල්ලේකැලේ ක්‍රීඩාංගණය ව තිබියදී දඹුල්ල හෝ හම්බන්තොට ක්‍රීඩාංගන සූදානම් නොකර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තෝරා ගැනිම පිලිබදව අප විසින් කළ විමසීමේදී රජිත් පවසා සිටියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැහීමකට පත් නොවන බවයි.එම ආලෝක පද්ධතිය යටතේ තරග පැවත්වීමට අයිසීසී ය විරෝධය දක්වා ඇති බවද රජිත් වැඩි දුරටත් පැහැදිළි කළේය.
නමුත් 2010 ලෝක කුසලාන තරගාවලියටත් පෙර අයසීසී ය දන්වා තිබුණේ එම ආලෝක පද්ධතියේ ආලෝකය පිටිය මැද පැමිණිමේදී ප්‍රමාණාත්මක නොවන බැවින් එය නිවැරදි කර ගන්නා ලෙසය.නමුත්
 20 / 20 ලෝක කුසලානය වන විටවත් එය නිවැරදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් උත්සාහ නොකිරීම පැහැදිළි කරන්නේ සිය වගකීම පැහැර හැරීමය.නැතිනම් විශාල මුදලක් වැය කර තැනූ සහ වැඩිම දිවා රාත්‍රි එක්දින තරග ප්‍රමාණයක් පැවත් වූ දඹුල්ල ක්‍රීඩාංගණය පවතින පරිපාලනය හා විරුද්ධ මතයක් දරණ පිරිසක් විසින් ඉදි කිරීම නිසා එම ක්‍රීඩාංගණය නොසළකා හැර ඇති බවට සැක කිරිමද අසාධාරණ නැත.
හම්බන්තොට ක්‍රීඩාංගණයට තරග රැගෙන යාමට නොහැකි හේතුව පැහැදිළි කළ රජිත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ එම ක්‍රීඩාංගණයේ තණතීරුව සූදානම් කිරිමට කාලයක් නොමැති බවය.ඒ සියළු තත්ත්වයන් සළකා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට තරගය රැගෙන යාමට එහි ජලය බැස යා‍මේ පද්ධතිය ඉතා හොදින් ක්‍රියාත්මක වීම ද සැළකිල්ලට ගත් බව ඔහු පවසන්නේය.නමුත් වර්ෂාවේ වැඩිම අවදානම ඇති ප්‍රදේශය තෝරා ගැනීමට සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් හී වගකීමක් නොමැති හැසිරීම හේතුවෙන් දඹුල්ල වැනි වර්ෂාවේ බලපෑම අඩු ක්‍රීඩාංගණයක් නොතකා හැරීම බව ද පිළිගත යුතු බව අපේ විශ්වාසයයි.
කෙසේ හෝ මෙම සටහන තැබෙන විටත් පල්ලේකැලේ ක්‍රීඩාංගණය ඉහළින් කළු වළා මුදුන්ව තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්ත වන අතර කාලගුණ වාර්තාවලින් පැහැදිළි වන්නේ අන්තර් මෝසම සක්‍රීය වෙමින් පවතින බවය.
www.supirikrida.com

උදය සහ මුතු අති සූරයෝ වෙති

වයඹ පළාත් මේස පන්දු සංගමය මෙහෙය වූ ජාතික කණිෂ්ඨ ශ්‍රේණිගත කිරිමේ මේස පන්දු තරගාවලියේ දී අතිසූර ක්‍රීඩකයා ලෙස මහනුවර විදයාර්ථ විද්‍යාලයේ උදය රණසිංහත් අති සූර ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ මුතුමාලි ප්‍රියදර්ශනීත් ඇගයීමට ලක් වුණා.උදය අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 18 න් පහළ යන බාලක සූරතාවයන් ද්විත්වයටම හිමකම් කී අතර මුතුමාලි අවුරුදු 15 න් පහළ බාලිකා සූරතාවයට සහ අවුරුදු 18 න් පහළ බාලිකා අනු සූරතාවයට හිමිකම් කිවා.
අවුරුදු 10 න් පහළ බාලක තරග අංශයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන සූරතාවයට හිමිකම් කී අතර අනු සූරතාවයට හිමි වූවේ කෑගලු විද්‍යාලයේ හංස මෙත්මාල්ට යි.අවුරුදු 10 න් පහළ බාලිකා සූරතාවය අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ දිල්මි කොළඹගේට හිමි වූ අතර අනු සූරතාවය අම්බලන්ගොඩ ධර්මාශොක විද්‍යාලයේ අහිකා සත්සරණි දිනා ගත්තා.
අවුරුදු 12 න් පහළ බාලිකා සූරතාවය නුගේගොඩ අනුලා විද්‍යාලයේ හංසනී පියුමාලා ට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉමාසා ද සිල්වා ට යි.එම වයස් සීමාවේ බාලක සූරතාවය කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලිත්මිණ මහානාම දිනා ගත්තා.අනූ සූරයා බවට කෑගලු විදයාලයේ තේනුක ධිනුජය තේරී පත් වුණා.
අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා සූරතා උදය සහ මුතුමාලි විසින් දිනා ගනිද්දි පිළිවෙළින් එහි බාලක සහ බාලිකා අනු සූරතා විද්‍යාර්ථ විද්‍යාලයේ චින්තක ඒකනායකට සහ මහනුවර උසස් බාලිකාවේ චමත්කා ප්‍රනාන්දු ට හිමි වුණා.අවුරුදු 18 න් පහළ බාලක සූරතාවය උදය රණසිංහට හිමි වෙද්දී,එහි අනු සූරතාවය විද්‍යාර්ථ විද්‍යාලයේම තිළිණ විජේසිරි දිනා ගත්තා.අති සූර ක්‍රීඩිකාව වූ මුතුමාලි අවුරුදු 18 න් පහළ වයස් සීමාවේ අනු සූරිය බවට පත් කරමින් එම වයස් ඛාණ්ඩයේ සූරිය වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එරන්දි වරුසවිතාන යි.
මේ සමග වන ඡායාරූපයේ තරග සංවිධායකයන් සහ ජයග්‍රාහකයින් දැක්වෙන අතර ඉදිරිපෙළ වමේ සිට වයඹ පළාත් මේස පන්දු පුහුණුකරු ඩීඑම්ඩීඑස් කුමාර,වයඹ පළාත් මේස පන්දු සංගම් සභාපති තිසර පෙරේරා,ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ඉසුරු ජයවර්ධන,ජාතික මේස පන්දු සංගමයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරි චන්දන පෙරේරා සහ තරගාවලි ලේකම් තුසාර සම්පත් දැක්වෙනවා.පසුපෙළ තරගාවලියේ ඒ ඒ වයස් සීමා ජයගත් තරගකරුවන් දැක්වෙන අතර වමේ මුතුමාලි ප්‍රියදර්ශණී,එරන්දි වරුසවිතාන,හංසි පියුමාලා,ලිත්මිණ මහානාම,දෙව්මිත් වීරසේන,දිල්මි කොළඹගේ සහ උදය රණසිංහ දැක්වෙන්වා.
www.supirikrida.com

Rio 2016 රග්බි පිටිය පිළිබදව විචිකිච්චාවෙන්

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හී පැවත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ඇතුළත් කරන්නට යෙදී ඇති සත් සාමාජික රගර් තරගාවලිය පැවත්වීමට යෝජිත ක්‍රීඩාංගණය කුමක්ද යන්න පිළිබදව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙන්ම ජගත් රග්බි සම්මේලනය ද දෙගිඩියාවෙන් පසු වේ. 25,000 ක පමණ පිරිසකට තරග නැරඹිමේ පහසුකම් සැපයිය හැකි  Sao Januario Stadium පිළිබදව ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණ ද,මේ වන විට ඒ සදහා ඔලිම්පික් තරගාවලිය පැවත්වීමට යෝජිත João Havelange Stadium පිළිබදව ද අවධානය යොමු වී තිබේ.
එම ක්‍රීඩාංගණය 40,000 සීමාවේ සිට 60,000 සීමාව දක්වා වර්ධන කර ගැනීමේ හැකියාව මත පදනම් කර ගනිමින් එම ක්‍රීඩාංගණය යොදා ගැනී‍ම කෙරෙහිද මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජගත් රග්බි සම්මේලනය සාකච්ඡා කරමින් සිටියි.
කෙසේ හෝ ජගත් රග්බි සම්මේලනය මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද ප්‍රකාශ කර සිටින්නේ අදාළ ක්‍රීඩාංගණ බලධාරීන් හා ඇති කර ගන්නා ගිවිසුම් මත රගර් ක්‍රීඩකයන්ට මෙන්ම රගර් ලෝලීන්ට ද සදානුස්මරණිය වින්දනයක් සහිත තරගාවලියක් පැවත්වීමට තමන්ට හැකි වනු ඇති බවයි.
www.supirikrida.com

Nov 2, 2012

ඉරාන යෞවනයෝ සූරතාවය රැක ගනිති - මද පසු බැසීමක් සමග ලංකාව පියවර දෙකක් පෙරට

ඉරානයේ පැවති ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ දී එම සූරතාවය දිනා සිටි සත්කාරක ඉරානය සිය රටේදි තමන්ගෙන් කිරුල උදුරා ගන්නට චීනය දැරූ අති විශිෂ්ඨ උත්සාහය අවසාන මොහොතේදි ව්‍යර්ථ කර දමමින් තරග වට 3 - 2ක් ලෙස ජය ගෙන හයවන වරටත් ආසියාවේ යොවුන් බාලක සූරතාවය දිනා ගත්තේය.21 - 25, 25 - 21,23 - 25,28 - 26 සහ 15 - 8 ක් වූ තරග වට පහේ ප්‍රතිපලය අනුව ඉරානය සූරතාවය දිනා ගනිද්දි අක්බාර් වැලෙයි ඒ සදහා ඉරානය වෙනුවෙන් කළ කැපවීම සළකා ඔහුට තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය පුද කළේය.
ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් ආසියානු යොවුන් බාලකයන් අතර පෙරට පැමිණ හයවන ස්ථානය ලබමින් තරගාවලිය නිම කළ අතර පස්වන ස්ථානය සහ හයවන ස්ථානය නිර්නය කර ගැනීම සදහා ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලියේ මීට පෙර චීන තායිපේ කණ්ඩායම හමුවේ දැක් වූ දස්කම් ප්‍රදර්ශනය නොකිරීම මද පසු බැසීමක් ප්‍රදර්ශනය කිරීමකි.වර්ගීකරණය අනුව පැවති තරග වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරගය ජය ගැනීමට චීන තායිපේ කණ්ඩායමට වට පහම ක්‍රීඩා කිරීමට සිදු වුව ද,ඊයේ ශ්‍රී ලංකාව ලකුණු 25 - 14 ,25 - 22 සහ 25 - 23 ක් ලෙස වට 3 - 0 කින් පරාජය කරන්නට චීන තායිපේ ක්‍රීඩකයන්ට හැකි විය.
කෙසේ හෝ සිය කළාපීය දැවැන්තයා වූ ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දියාවට වඩා පියවරක් ඉදිරියට පැමිණ ඉන්දියාව හත් වන ස්ථානයේ රද වන්නට සමත් වූහ.1996 දී ශ්‍රී ලංකාව ආසියාතික පාසල් වොලිබෝල් තරගාවලියේදී සිව්වන තැනත්,2003 දී තෙවන තැනත් දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් ලද විශිෂ්ඨතම වොලිබෝල් ජය ලෙස හැදින්විය හැකි මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ක්‍රීඩක දක්ෂතා රටේ අනාගතය වෙනුවෙන් සුරැකෙන වැඩ පිළිවෙළකට යාම මේ මොහොතේදී ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ මෙන්ම වොලිබෝල් බලධාරීන්ගේද වගතීමයි.
www.supirikrida.com

නවසීලන්ත තරගාවලිය ආයෙත් වැස්සට සේදෙයි

Wet scenes in Pallekeleටෙස්ට් තරග දෙකකට,එක්දින තරග පහකට සහ 20/20 තරගයකට සහභාගි වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වීමට නියමිතව තිබූ එකම 20 / 20 තරගය වර්ෂාව නිසා අතරමග නවතා දැමීමට සිදුවිය.පළමු එක්දින තරග‍ය නවතා දැමුණේ එකදු පන්දුවක්වත් නො'යවමින්ය.මේ වන විට ශ්‍රී ලංකාව සතුව දිවා රාත්‍රි තරග පැවත්විය හැකි ක්‍රීඩාංගණ කිහිපයක් ඇතත් කාලගුණ තත්ත්වයන් සළකා තරග සදහා එම ක්‍රීඩාංගණ යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු නොවීම මේ තරගාවලියේදී ද ක්‍රීඩාංගණ නම් කිරීමේදී පැහැදිළි වන්නේය.
නිදහසට ලංකාවටම වැස්සා වැනි අං දෙකේ උත්තරයක් නොදී වස් පවාරණ වන මේ කාලයට වසින බව සාමාන්‍ය මතය නම් වඩාත් සුදුසු වන්නේ වර්ෂාව අඩු ප්‍රදේශයකට මෙම තරග තල්ලු කිරීමය.ඒ සදහා හම්බන්තොට සුදුසුය.වීසි කර දමා තිබෙන දඹුල්ල ද සුදුසු ය.නමුත් සර්ෂාව වැඩිම ප්‍රදේශයක් වන පල්ලෙකැලේට එම තරග ගෙන යාමේ ප්‍රතිපලය අනෙක් ස්ථාන වලට සාපේක්ෂව සාර්ථක වන්නට ඇති ඉඩ-කඩ වළකන්නේය.
එසේ නොවන තාර්කික නොවන තීරණ වලින් වන්නේ මේ ක්‍රීඩාංගණය පුරවා තිබෙන ජලයට මහජන මුදල් කිසිදු ලාභයකින් තොරව දියකර හැරීමය.
www.supirikrida.com

හොකී හෙළු වෙයි

ක්‍රීඩාව සංස්කාතියක් හැටියට පවතින රටක දියුණු මානසික මට්ටමකින් කටයුතු කරන්නට ද මිනිසුන්ට හැකියාව ඇත.ඒ නිසා කලවා අජක් නිරාවරණය වූ ඇදුමක් ඇදන් යන තරුනියක් දෙස විවිධ උපක්‍රම භාවිතා කරමින් බෙල්ල කැඩී යන තුරු හැරී බලන මිනිසුන් හෝ එවැනි ඇදුම් ඇද නිරාවරණය වූ කොටස වසා ගන්නට අනවශ්‍යය වෑයමක් දරන කාන්තාවන් ද එවැනි සංස්කෘතීන් තුළ හිගය.
‍සුන්දරත්වයට ආකර්ශණය වීම කොතැනත් පොදුය.ඒ නිසා කාටවත් හානියක් නොවන ආකාරයෙන් සංස්කෘතික පොලිසිවල බලපෑම් වලින් තොරව බිකිනිය ඇද ප්‍රසිද්දියේ සිටිය පමනින් ගැහැණුන් වෛශ්‍යාවන් වන්නේ හෝ පිරිමින් එවැනි දෘෂ්ටියකින් ඔවුන් දෙස බලන්නේද නැත.ඒ නිසා විවධ වූ වානිජමය ආකර්ශණයන් සදහා බිකිනිය භාවිතයට ගැනීම සාමාන්‍ය සිදුවීමකි.හොකී ක්‍රීඩාව ද වඩාත් ජනප්‍රිය කිරීම සදහා සහ අනුග්‍රාහක ආකර්ශණය දිනා ගනිමින් ක්‍රීඩාවේ පෝෂණය පිණිස වන වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස බිකිනි හොකී තරගාවලියක් පැවත්වීමට කැනඩාව ඉදිරිපත් වී සිටියි.දැනටමත් කණ්ඩායම් සියයක් පමණ සහභාගිවීම සදහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවට තොරතුරු ලැබෙන මෙම තරගාවලට ප්‍රසිද්ධ ක්‍රීඩිකාවන් මෙන්ම වෙනත් වෘත්තීන් හී ප්‍රසිද්ධ තරු ද කැමැත්ත පළ කර තිබෙන බවද වාර්තා වේ.
ආකර්ශණීය කාන්තා සිරුර කාමුක අවශ්‍යයතාවය ඉක්මවා ගිය සෞන්දර්‍යයකින් විදිය හැකි සමාජ වට පිටාවක එවැනි දේ කළ හැකි නමුත් ශ්‍රී ලංකාවේ බීච් වොලිබොල් ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි බොහෝ ක්‍රීඩිකාවන් බිකිණිය නිසාම ක්‍රීඩාවෙන් ඈත් වී සිටියි.සභ්‍යයත්වය,ශීලාචාරකම බටහිරට ආදර්ශ ගන්න යැයි තන්හා රතී රගා ඉදිරියේ දමනය නොවුණු සිත් ඇතිව උන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අදහන රටක බිකිනියක් දැක රාගය අවුස්සා ගන්නා සහ ඊට එරෙහිව ගල් අතට ගන්නට සූදානම් ඊනියා සදාචාරවාදීන්ගේ බල පරාක්‍රමය තුළ ගැහැනිය අසරණය.ඇයට සීමා මායිම් ගසා ඇගේ සිරුරේ අනාවරණය  ඉවසා වදාළිය නොහැකි පිරිමි විසින් දැමූ වාරණ සහ තහංචි වලට යට වී ජීවත්වන්නට සිදුවීම තුළ වාන් වැටෙන්නේ සමාජ ප්‍රගමනයට ය.
සිල් බිදුණු බොරු සිල් රකින අයට බිකිනිය ඉවසන්නට බැරි නිසා සිය අවයව පාලනය පිළිබදව අවිශ්වාසයෙන් බිකිනිය අප්‍රකටව තබන්නට පිඹුරුපත් සකසන මොහොතක,අපි bikinihockeyleague.com වෙත පිවිස  එහි සුන්දරත්වය විදින්නට අපි ඔබට ආරාධනා කරමු.

මේ සමග  දැක්වෙන්නේ බිකිනි ලීගය වෙනුවෙන් පැවති මාධ්‍ය දිනය පිලිබදව යූ ටියුබ් හරහා බා ගන්නා ලද වීඩියෝ රූප පෙළකි
www.supirikrida.com

ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලිය අද ඇරඹේ

Yordenis Ugas Daouda Sow of France competes against Yordenis Ugas of Cuba during the men's 60kg semifinal boxing event at the Workers' Indoor Arena on Day 14 of the Beijing 2008 Olympic Games on August 22, 2008 in Beijing, China.ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලිය අද (02) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඇරඹෙන අතර තරගාවලිය 04 දා නිමා වීමට නියමිතය.රටේ අනාගත බොක්සිං දකුෂයන් නිර්මාණය කරන පැල තවානක් බදු මෙම තරගාවලිය සදහා අවුරුදු 17 - 19 වයස් සීමාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් අවස්ථාව ලැබෙන නිසා විශාල වශයෙන් පාසල් බොක්සිං ක්‍රීඩකයන්ගේ නියෝජනයක් දකින්නට ලැබෙයි.
කාන්තා සහ පිරිමි ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියට එක් අංශයකින් බර පංති 10 ක ඉසව් ඇතුළත් වේ.ඉකුත් වසරේ කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං කවයේ පැවති ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියේදි සූරතාවය දිනා ගන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය කණ්ඩායම සමත් වූ අතර දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍ර වූයේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ දුලිප් මෙණ්ඩිස් ය.දක්ෂතම පරාජිතයා වූයේ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එම්ආර් සදරුවන් ය.
එක් බර පංතියකින් කීඩා සමාජයකට හෝ පාසලකට ක්‍රීඩකයන් අට දෙනෙකු ඇතුළත් කිරීමට අවස්තාව හිමි වන අතර ජයග්‍රහණ සදහා ලබා දෙන ලකුණු අනුව වැඩිම ලකුණු එකතුවක් ලබන කණ්ඩායමට සමස්ත සූරතාවය හිමි වේ
www.supirikrida.com