Jun 21, 2012

ආසියානු කුසලානයට සහභාගි වන 19 පහළ කණ්ඩායම මැලේසියාවට

මැලේසියාවේ ක්‍රියාත්මක වන ආසියානු කුසලාන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.මෙම තරගාවලියේ මූලික වටයේ තරග සදහා බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම තරගයට ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැ‍ඹෙන 23 දා මුහුණ දීමට නියමිතයි.24 දා බංගලාදේශයට එරෙහිව තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම 26 දා සිය මූලික වටයේ අවසාන තරගය වන කටාර් කණ්ඩායමට එරෙහිව තරගයට මුහුණ දීමට නියමිතයි.
තරගාවලියට සහභාගි වීම සදහා පිටත්ව ගිය 15 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක සංචිත‍යේ නායකත්වය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සනිත ද මෙල් ට හිමි වී තිබෙනවා.උප නායකත්වය පැවරී තිබෙන්නේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ඇන්ජලෝ ජයසිංහට යි.කණ්ඩායම් කළමණාකරු ලෙස ලතිනන් කර්නල් ශිරාන් අබේසේකර කටයුතු කරන අතර පුහුණුකරු ලෙස  කටයුතු කරන්නේ නවීඩ් නවාස් ය.ප්‍රියන්ත ජයතිස්ස භෞත චිකිත්සක ලෙස ක්‍රියා කරන අතර තොස්වින් ජයතිස්ස පරගණක දත්ත සැළසුම් ශිල්පී ලෙස කටයුතු කරයි.ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් මංජුල වාස් තරගාවලියට එක් වී සිටියි.
මෙම තරගාවලිය නියෝජනය කරන්නට ශ්‍රී ලංකාවට අමතරව නේපාලය,ඉන්දියාව,බංගලාදේශය,ඇෆ්ගනිස්තානය,කටාරය,පකිස්තානය සහ මැලේසියාව එක් වෙති.

ලංකාවේ කබඩි ක්‍රීඩකයෝ පකිස්තානය විශ්මයට පත් කරමින් පරාජය වැළද ගනිති

තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම සිය කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම ලෙස හදුනා ගෙන සිටි පකිස්තානයට එරෙහිව දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් ලකුණු 35 – 21 ලෙස පරාජය ලැබීය.තරගයේ ප්‍රථම අර්ධයේ දී ප්‍රබල පකිස්තානුවන් තරගය සියතට ගෙන සිටි අතර ලකුණු තත්ත්වය 21 – 14 ක් ලෙස නිමාවට පත් විය.
නමුත් දෙවන අර්දයේදී තරගයට වඩා විශ්වාසයකින් පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පකිස්තානය විශ්මයට පත් කරමින් ප්‍රබල සටනක් ලබා දුන් අතර එම වටයේ ලකුණු තත්ත්වය අනුව (14 – 13) පකිස්තානයට ඉදිරියෙන් සිටීමට හැකි වූයේ එක ලකුණක් පමණි.දැනට සිය ඛාණ්ඩයේ පකිස්තානයට පමණක් පිටු පසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද ඇෆ්ගනිස්තානය හමුවේ තරග වැදීමට නියමිත අතර ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබූ තායිලන්තයට ලකුණු 32 – 60 ලෙස පරාජය වී සිටින නිසා ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගෙන කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වීම අපහසුවක් නොවනු ඇතැයි සිතිය හැකිය.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සිය දෙවන පරාජයට ද මුහුණ දුන් අතර තායිලන්තය හමුවේ ලකුණු 66 – 35 කින් පරාජය ලැබුවාය.අද ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ එම කාණ්ඩයේ සිටින ප්‍රබලතම කණ්ඩායම වන ඉන්දියාවය.

අවිය වෙනුවට සවියෙන් ජය ගැනීම හුරු කරයි


තුරේ පැවති යුද්ධය සදහා දායක වූ එල්ටීටීඒ සාමාජිකයන් පුනරුත්ථාපනයෙන් පසුව ක්‍රීඩාවන් සදහා යොදවා ගැනීම සදහා ඔවුන්ගේ හැකියාවන් නිරීක්ෂණය කිරීම සදහා සහ වැඩි දුර ක්‍රීඩා පිළිබද පුහුණුව සහ අවබෝධය ලබා දීම වෙනුවෙන් පැවති වැඩ මුළුවක් පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවත්විණි.ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුතුගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩ මුළුවට අදාළ ක්‍රීඩා සංගම් වල ප්‍රධානීන් සහ එම ක්‍රීඩාවන් සම්බන්ධ දැනුවත් ප්‍රවීනයන් විශාල පිරිසක් ද එක්ව සිටිය හ.ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම වැඩ මුළුවට සම්බන්ධ ඡායාරූපයකි.

Jun 20, 2012

ටීබී ජයා ගංතලාවට යයි.

ක්‍රීඩාව ගමට ගෙන යාමේ රජයේ ක්‍රීඩාව සම්බන්ධ මුඛ්‍ය පරමාර්ථය අනුව යමින් 43 වන ටීබී ජයා කුසලාන පාසල් බොක්සිං තරගාවලිය කන්තලේ ගංතලාව විදයාලයේදී ජුනි 21 වන දා සිට ආරම්භ කිරීමට නියමිත බව පාසල් බොක්සිං සම්මේලනය අවධාරණය කරයි.උතුර නැගෙනහිර ප්‍රදේශවල බොක්සිං සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කිරීමද මෙම තරගාවලිය ගංතලාවට රැගෙන යාමට හේතු වූ බව පාසල් බොක්සිං සංගමය අවධාරණය කරන අතර මෙවර දිවයිනේ පාසල් බොක්සිං කණ්ඩායම් 43 ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩකයන් 250 ක් පමණ තරගාවලියට සහභාගි වනු ඇතැයි ද පාසල් බොක්සිං සංගමය අවධාරණය කරයි.
www.supirikrida.com

රුවිනිට සහ චන්දිමාට ඉන්දියාවේදී රිදී පදක්කමක්

න්දියාවේ පැවති කණිෂ්ඨ දකුණු ආසියාතික මේස පන්දු සූරතාවලියේ සී අවුරුදු 18 න් පහළ බාලිකා යුගල ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට රුවිනි කන්නන්ගර සහ චන්දිමා මධුෂානි සමත් විය.ඔවුන් එම වයස් ඛාණ්ඩයේ අවසාන තරගයේදී ඉන්දියාවේ ටි රීත් රිෂ්යා සහ මල්ලිකා බන්දකාර් ඉදිරියේ 14/12,11/5 සහ 11/6 ක් ලෙස වට 3 – 0 ක පරාජයක් ලැබීය.ඊට අමතරව රුවිනි සහ චන්දිමා එම වයස් ඛාණ්ඩයේ කේවල තරග වල දී ලෝකඩ පදක්කම් දිනා ගනිමින්ද තරගාවලිය නියෝජනය කළ සංචිතයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වඩාත් කැපී පෙනෙන දස්කම් පෙන්වන්නට සමත් විය.
අවුරුදු 18 න් පහළ කේවල තරගයේදී නුවන් ජයසුන්දර ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර නුවන් සුපුන් සිරිසේන සමග එක් ව අවුරුදු 18 න් පහළ යුගල තරගයේදී ද ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට දායක විය.අවුරුදු 18 න් පහළ පිරිමි කේවල ඉසව් වල දී සුපුන් සිරිසේන තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නේය.අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා කේවල ඉසව් වලදී  ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 4 න් හිමි විය.බාලක තරග වලදී උදය රණසිංහ සහ ප්‍රසාද් ජේ ඩී ද සිල්වාත් බාලිකා තරග වල දී මුතුමාලි ප්‍රියදර්ශණී සහ පවිත්‍රා සිරිසේනත් ලෝකඩ පදක්කම් වලට උරුම කම් කීහ.  
ඡායාරූපයේ දැක්වෙන්නේ රුවිනි කන්නන්ගර ය.

ශ්‍රී ලංකා පිරිමි කබඩි ක්‍රීඩකයන් තායිලන්තය පරදවයි


චීනයේ හායියැන්ග් හී පැවත්වෙන තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දී කබඩි මූලික වටයේ තරගයක ද තායිලන්තය පරදවා 52 – 38 ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම සමත් විය.තරගයේ පළමු අර්දයේදී ලකුණු 22 -18 ක් ලෙස සුළු වශයෙන් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවන වටයේදී ලකුණු  30 – 20 ලෙස පරතරයක් තබා ගනිමින් ජය ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග කරන කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව පකිස්තානය,ඇෆ්ගනිස්තානය සහ තායිලන්තය අයත් වෙති.වෙරළ ක්‍රීඩා කාල සටහනට අනුව අද හ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වීමට නියමිතව ඇත්තේ පකිස්තානය වන අතර හෙට ඇෆ්ගනිස්තානය හමු වීමට නියමිතය.මේ අතර ඉන්දියාව බංගලාදේශය තායිලන්තය සහ ඉන්දියාව අයත් වන කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංගලාදේශය හමුවේ අවාසනාවන්ත පරාජයක් ලැබීමත් සමග දෙවන වටයට පිවිසීම අවිනිශ්චිත තත්ත්වයකට පත් ව ඇත.බංගලාදේශය සමග පැවති තරගය ලකුණු 49 – 56 ක් ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ සටහන තැබෙන විට තායිලන්තය සමග පැවත්වෙන තරගයට මුහුණ දෙමින් සිටි අතර ප්‍රථම අර්ධය නිමවන විට ශ්‍රී ලංකාව ලකුණු 35 – 16 ක් ලෙස පසුපසින් සිටියේය.  

ටෙස්ට් පිලේ උප නායකත්වය යළිත් මැතිව්ස් ට


ශ්‍රී ලංකාව පකිස්තානය අතර පැවත්වෙන ටෙස්ට් තරගමාලාවේ පළමු වැනි තරගය සදහා කැදවන ලද සංචිතයේ උප නායකත්වය යළිත් ඇන්ජලෝ මැතිව්ස් ට පිරිනැමීමට කටයුතු කර ඇත.මීට පෙර අවසාන වරට පැවති තරගාවලියේදි අසනීප තත්ත්වයේ සිට යළි පැමිණි මැතිව්ස්ට උප නායකත්වය පිරිනැමුණේ නැත.එය තිලාන් සමරවීරට පිරිනමා තිබුණු අතර මෙවර යලිත් එය මැතිව්ස් වෙත පිරිනමා ඇත.නමුත් පසුගිය කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලද අවස්ථාවන් හී සාධාරණය ඉටු කළ ලහිරු තිරිමාන්න මෙම සංචිතයෙන් ඉවත් කිරීම ගැටළුකාරී ය.දග පන්දු යවන්නන් තිදෙනෙකු නම් කර ඇති අතර මෙම සංචිතයට ලහිරුට අවස්ථාවක් ලබා නොදීම අලුත් පරපුරක් ගැන සිතන බව කියන තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති නැවත ප්‍රශ්න කිරීමකට බදුන් වීමකි.
පහත දැක්වෙන්නේ පළමු තරගය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය ය.නායක මහේල ජයවර්ධන,උප නායක ඇන්ජලෝ මැතිව්ස්,තිලකරත්න ඩිල්ෂාන්,තරංග පරණවිතාන,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,තිලාන් සමරවීර,චානක වෙළගෙදර,ප්‍රසන්න ජයවර්ධන,නුවන් ප්‍රදීප්,රංගන හේරත්,නුවන් කුලසේකර,සුරාජ් රන්දිව්,තිසර පෙරේරා,ජීවන් මෙණ්ඩිස්