Jan 8, 2013

දැයට කිරුළට වෙරළ දැල් පන්දු

Ilka Semmler - Olympics Day 3 - Beach Volleyball


දැයට කිරුළ 2013 වර්ෂය සදහා වෙරළ කාන්තා සහ පිරිමි වොලිබෝල් තරගාවලියක් පැවත්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව වොලිබෝල් සම්මේලනය සහ දැයට කිරුළ සංවිධාන කමිටුව තීරණය කර ඇත.ජාතික සහ ආධුනික ලෙස වර්ග කර අංශ දෙකක් යටතේ තරගාවලි දෙකම පැවත්වෙන අතර ජනවාරි 26 සහ 27 යන දෙදින තුළ දිවයිනේ ස්ථාන හතරකදී මෙම තරග පැවත්වීමට තීරණය වී ඇත.ඒ අනුව එම දෙදින තුළ මීගමුව සහ හම්බන්තොට වෙරළ තීර ආශ්‍රිතවත් කිලිනොච්චියේ සහ අම්පාර සයිදමරිදු තරුණ ක්‍රිස්තියානි සංගම් වෙරළ ක්‍රීඩාංගණයේත් මෙම තරග පැවත්වීමට කටයුතු යොදා ඇත.
ජාතික තරගාවලිය සදහා එක් ආයතනයකින් හෝ ක්‍රීඩා සමාජයකින් කණ්ඩායම් තුනක් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලැබෙන අතර 1992 ජනවාරි පළමු දිනට පසු උපන් අයට සහභාගි විය හැකි කණිෂ්ඨ තරගාවලියට ද එක් ආයතනයකින් හෝ ක්‍රීඩ සමාජයකින් ඉදිරිපත් කළ හැකි අපරිම කණ්ඩායම් ප්‍රමාණය තුනකි.
ජනවාරි 17 වන දිනට ප්‍රථම සියලුම ඉල්ලුම් පත් ඒඒ ජයතිස්ස,ව්‍යාපෘති නිලධාරි,ජාතික වොලිබෝල් පුහුණුකරු,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,ටොරිංටන් පෙදෙස කොළඹ 07 යන ලිපිනයට එවිය යුතු අතර  එම ඉල්ලුම්පත් වල ක්‍රීඩා සමාජයේ නම,අයත් දිස්ත්‍රික්කය මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් සහ හැදුණුම්පත් අංකත් ඇතුළත් විය යුතුය.

නෙට්බෝල් තනතුරු අපේක්ෂකයින් ඉල්ලා අස්වෙන ලකුණු

නෙට්බෝල් නිලවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්ෂිකාවන් එම තනතුරු වලට ඉදිරිපත් වී සිටින ඇතැම් පිරිස් වෙත සහය පළ කරමින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව එම කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.කෙසේ හෝ නෙට්බෝල් කේෂ්ත්‍රයේ සිටි වයෝවෘද්ධ නිලධාරිණියන්ට අභියෝග කරමින් ජාතික දැල් පන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මේ අතර තරග වැදී සිටින බව පෙනෙන්නට තිබේ.


ඒ අතරින් හිටපු දැල් පන්දු නායිකාවක,තේරිම් කමිටු සභාපතිවරියක ලෙස කටයුතු කළ දැළ විදින්නියක ලෙස සුපිරි ශිල්පීය ක්‍රමයන් භාවිතයට ගත් ක්‍රීඩිකාවක ද ලෙස ප්‍රකට ජයන්ති සෝමසේකරන් වැනි චරිත කැපී පෙනෙයි.ඇය ලේකම් තනතුරට තරග වදින අතර ඇය සමග තරග වදින්නේ ජාතික මට්ටමේ දැල් පන්දු තරග සංවිධානයේදී විශේෂ කාර්ය භාරයක් ඉටු කරන්නියක ලෙස කටයුතු කරන පාසල් දැල් පන්දු සංගමයේ හිටපු ලේකම්වරිය වන ශිරෝමි කුරුප්පු ය.එම දෙදෙනාට අමතරව කෝට්ටටේ දැල් පන්දු ඇකඩමිය හරහා ක්‍රීඩිකාවන් නිර්මාණය කිරිමට සහ එහි සාර්ථක පරිපාලන මෙහෙයුමට ද සම්බන්ධ ශ්‍යාමා කුරේ ද ලෙක්ම්වරියගේ භූමිකාව භාර ගැනීම සදහා තරගබිමට පිවිස සිටිති.
සභාපති තනතරට දෙදෙනෙක්,භාණ්ඩාගාරික තනතුරට දෙදෙනෙක් ලෙස තරග වදින අතර වැඩිම තරගකාරීත්වයක් දකින්නට ලැබෙන්නේ උප සභාපති තනතුර වෙනුවෙන්ය.එම තනතුරු පහ සදහා දොලොස් දෙනෙක් තරග බිමට පිවිසී සිටිති.
ආසියානු දැල් පන්දු තරගාවලිය මෙහෙයවීමේදී විශාල කාර්ය - භාරයක් ඉටු කළ තමාරා ධර්මකීර්ති මෙමවර නිලවරණයට ඉදිරිපත් නොවන අතර,එම තරගාවලියේ අක්‍රමිකතා සම්බන්ධ කරමින් පතුරවන ලද කතා ද එයට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.නමුත් ඒ සම්බන්ධයෙන් චෝදනා ලද කමිටුවේ සිටි යසා රාමචන්ද්‍ර පසුව දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරියටත්,චන්ද්‍රානි පතිරාජ තේරීම් කමිටු සභාපති තනතුරටත් පත් කළ අතර එම පරිපාලනයේ ලේකම්වරියව සිටි යස්මින් ධර්මරත්න ද තරග බිමට පිවිස සිටින අතර මේ ආකාරයෙන් බලන කළ පෙනී යන්නේ එම චෝදනා සියල්ල කරමින් කළ විනය පරික්ෂණ වල  අපේක්ෂාව වී ඇත්තේ තමාරා ධර්මකීර්ති ව ඉවත් කිරීමද යන්නය.
ශ්‍රී ලංකාවේ ආසියානු දැල් පන්දු තරගාවලි දෙකක්ම පැවත්වීමට නායකත්වය දුන් තැනත්තියක වන තමාරා ඈත් කර දැමීම හැර එම තරගාවලිය සම්බන්ධයෙන් එය නිමාවේ කතා කළ උණුසුම් කතා - බස් අතර සිදු වූ කිසිවක් ප්‍රායෝගිකව සිදු වී නොමැති අතර,‍විශේෂයෙන්ම දැඩි ලෙස චෝදනා එල්ල වූ පුහුණුකාරිණි හයසින්ත් විජේසිංහට ඇය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට පමා වන මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම දැඩි විවේචනයට ලක් කර ජාතික පහුණුකරු තනතුරෙන් සමු ගැනීමට හැකි වූ අතර ඇය අද හමුදා කණ්ඩායමක පුහුණුකාරිය ලෙස ද කටයුතු කරන්නීය.
කිසිදු යහපත් ප්‍රතිපලයක් නොදුටු විනය කමිටුවේ සභාපතිවරිය වූ ලක්ෂ්මි වික්ටෝරියා  ඇය විසින් මූලිකත්වය දැරූ විනය කමිටුවේ චෝදනාලාභින් ද නියෝජනය වන කණ්ඩායමක් සමග සභාපති තනතුරට තරග වැදිම මේ මොහොතේ දැල් පන්දු කේෂ්ත්‍රයේ දැඩි ලෙස කතා - බහට ලක් වෙමින් ඇත.එසේම ඇය සිය සැළසුම් සම්බනධයෙන් කතා කරන්නට ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රකට රුපවාහිනියක් සමග අනෙක් සභාපති අපේක්ෂිකාව සමග සාකච්ඡාවකට පැමිණිමට කරන ලද ආරාධනයක් ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය එසේ මාධය හමුවේ පෙනී සිටීමට අකමැති බවට කර ඇති ප්‍රකාශය අනුව ඇය සභාපති වුව ද තොරතොරු දැන ගැනීමට මාධ්‍යයට ඇති අයිතිය නොසළකා හරීද යන්න පිළිබදව සැක උපදවන්නේය.
කෙසේ හෝ දැල් පන්දුවේ අභිවෘද්ධිය පිණිස අනුග්‍රාහකත්වය ලබා දෙන සමාගමේ නිලධාරිණියක ලෙස ඇය මෙම තනතුරට ඉදිරිපත් වන්නේ නම් සෘජුව සිය අදහස් ප්‍රකාශ කරමින් සිය ආයතනය වැය කරන මුදලේ ප්‍රතිපලය ලංකාවේ දැල් පන්දුවට ලබා දෙන්නේ කෙසේද යන සැළසුම් ද ප්‍රකාශ කිරිමට අයිතියක් තිබෙන බව සුපිරික්‍රීඩා විශ්වාස කරන අතර එහිදි ඇය සිය ප්‍රතිවාදීන් සමග තර්ක කර වඩාත් සාර්ථක සැළසුම් තමන් ළග තිබෙන බව පෙන්වීමට මාධ්‍යයෙන් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීම තම ආයතනය වෙනුවෙන් ද කරන යුතුකමක් බව සිහිතබා ගත යුතුය.එසේ නොවන විට අනුග්‍රාහක ආයතනයේ සම්බන්ධතාවයෙන් තමන් බැබලීමට දරණ උත්සාහයකින් ඔබ්බට දෙයක් නොපෙනෙන බවත් සිය වගකීම තම ආයතනයේ කාර්යභාරය සහ දැල් පන්දුව බැබලීම බව පසක් කිරිම බවත් තේරුම් ගෙන නිලවරණයේ ඉදිරි කාලයට හෝමුහුණ දීම වැදගත්ය.
ඇයගේ ප්‍රතිවාදිණිය දැල් පන්දු පරිපාලනයේ මුල් පුටුව අවස්ථා කිහිපයකදිම උසුලා ඇති සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට නායකත්වය ද දී ඇති ක්‍රීඩිකාවක වන ට්‍රික්සි නානායක්කාරය.ඇය ක්‍රීඩා පණත ආදිය පිළිබදව දැඩි අවබෝධයකින් කටයුතු කරන තැනත්තියක් බව ප්‍රකට නමුත් තනතුරට පත් වීමෙන් පසුව ගනු ලබන මුරන්ඩු තීරණ නිසා අවස්ථා ගණනවකදීම ඇයගේ පරිපාලනයන් චෝදනා වලට ලක් වී ඇත.මේ තත්ත්වය පිලිබද ස්වයං විවේචනයක් සහිතව ඇය මෙවර නිලවරණයට පැමිණිය යුතු අතර ඉදිරි සැළසුම් පිළිබදව ලිඛිතව ප්‍රකාශයට පත් කළ යුතුය.
දැල් පන්දුව මේ වන විට වැටී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ගොඩ ගැනීමට වඩාත්ම හිතකර සැළසුම් කා සතු වන්නේ දැයි සිතීම මිස,කණ්ඩායමක් ලෙස සළකා ඡන්දය දීමට යාම මේ මොහොතේ ඡන්දදායකයන්ගේ කාර්ය නොවිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවද මේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රීඩා නිලවරණය පැවත්වීමේදී තමන්ට එය පැවත්වන්නේ කෙසේද යන්න පිළිබදව තීරණය කිරීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගනිමින් රහස් ඡන්දයක් පැවත්වීම කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ඡන්දදායකයන්ට සිය මනාපය දැල් පන්දුවේ හිත සුව පිණිස වඩාත් සුදුසු අය පත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කිරීමට ඉඩ-කඩ ලැබෙනු ඇති බව තේරුම් ගත යුතුය.
එසේ නොකර පැවති ඇතැම් නිලවරණ වල ප්‍රතිපල මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව ද භුක්ති විදිමින් සිටින බැවින් මෙම පරිපාලන නිලවරණයේදී රහස් චන්දයකට යාසේ වැදගත් කම ක්‍රීඩා බලධාරීන් විසින් නිර්නය කරනු ඇතැයි සුපිරික්‍රීඩා අපේක්ෂා කරයි.

www.supirikrida.com

ඔලිම්පික් මාධ්‍ය ප්‍රධානියා රග්බි පිටියට

Debbie Jevans
න්ඩන් ඔලිම්පික් උළෙලේ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය ප්‍රධානි ලෙස කටයුතු කළ , ජොනා මැනින්ග් -කූපර් 2015 වසරේ එංගලන්තයේ පැවත්වීමට නියමිත රග්බි ලෝක කුසලාන තරගාවලියේදි එම ක්‍රීඩා උළෙලේ සංනිවේදන සහ අලෙවි කටයුතු පිළිබද අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා.
මෙම වගකීමට අනුව ජොනාගේ අලුත් රාජකාරි අතරට ප්‍රවේශපත්‍ර කටයුතු මෙන්ම ස්වේච්ඡා සේවකයන්ට නායකත්වය දීම මෙන්ම ක්‍රීඩා උළෙලේ ප්‍රචාරන සැළසුම් ද වෙනවා.ක්‍රීඩා උළෙලේ නිල සන්නාම කටයුතු මෙන්ම මාධය අංශයේ මාධ්‍ය සම්බන්ධතාවයන් වර්ධනය මෙන්ම එම කටයුතු මෙහෙයවීමද පැවරී ඇත්තේ ජොනා මැනින්ග් - කූපර්ට යි.
සංනිවේදන කාර්යයේ සහ මාධ්‍ය භාවිතාවේ විසි වසරක අත්දැකීම් සමග කරළියට පිවිසෙන ජොනා මැනින්ග් - කූපර් ලන්ඩන් උලෙලේ සිය වගකිම ඉටුකළ ආකාරය සම්බන්ධයෙන් ලද පැසසුම් මෙම තනතුර ඇයට පැවරිමට හේතු වී තිබෙනවා.
www.supirikrida.com 

Jan 6, 2013

උඩ පන්දු සමග ජයග්‍රහණය අත හැරිය තරගයක්

Michael Hussey walks in for his final Test inningsසීරු උඩ පන්දු ජයග්‍රහණය පිළිබද සාධකයක් බවට ඇති ප්‍රකට කතාව සනාත කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් ගිලිහි ගිය අසීරු උඩ පන්දු රැක ගත්තේ නම් ජයග්‍රාහීව නිමා කිරීමට තිබූ තරගයක් ලෙස ඕස්ට්‍රේලියාවට කඩුලු පහක ජයක් හිමිකර දෙමින් ශ්‍රී ලංකාව සහ ඕසට්‍රේලියාව අතර පැවති තෙවන තරගය නිමාවට පත් විය.ඒ අනුව තරගාවලිය 3 - 0 ක් ලෙස ඕස්ට්‍රේලියාව ජය ගත්තේ මහේල ජයවර්ධනගේ සුපිරි නායකත්වයේ අවසාන ටෙස්ට් තරගාවලිය මෙන්ම අවසාන ටෙස්ට් තරගයද පරාජිත තරගයක් බවට පෙරළෙමින්ය.
දෙවන ‍ඉණිමේ දි ඕස්ට්‍රේලියාවට ලැබුණු ලකුණු 141 ට එරෙහිව හොද තරගයක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව එම ඉලක්කය වෙත ළගා වීමේදි ඔවුන්ගේ කඩුලු 5 ක් ම අහිමි කරන්නට සමත් වුණා.රංගන හේරත් සිව්වන දිනයේ දී දග පන්දු යවන්නන්ට වාසිදායක ලෙස හැසිරෙන්නට පටන් ගත් සිඩ්නි තණනිල්ලෙන් කඩුලු 3 ක් ම දවා ගන්නට සමත් වුණා.ඩිල්ෂාන් කලෙකට පසුව දීර්ඝ වශයෙන් පන්දු යැවීමට යොදා ගත් අතර ඔහු තමන්ට පන්දු යවන්නෙකු ලෙස ඇති හැකියාව සනාත කරමින් මැනවින් පන්දු යැවීමේ යෙදුණා.
තේරිම් කමිටුවේ අපූරු තේරීම් වල යම් වෙනසක් සිදු වි තිබුණා නම් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව තිබූ තිසර පෙරේරා ගේ අඩුව මෙම තරගයේදී ද මැනවින් කැපී පෙණුන අතර ශ්‍රී ලංකා පසුපෙළ තරගාවලිය පුරාම දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.ටෙස්ට් වලට පමණක් සීමා කරමින් තිබෙන දිමුත් කරුණාරත්න මෙම ටෙස්ට් තරගයේ දෙවන ඉණි‍මේ දී සිය ආක්‍රමණික පිතිහරඹය දියත් කරමින් අගනා ලකුණු 85 ක් ලබා ගත්තේ හොද එක්දින පිතිකරුවෙකු සතු ගුණාංග ප්‍රගුණ කරමින් වුව ද ඔහු එක්දින කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
ලහිරු තිරිමාන්න ප්‍රථම ඉණිමේ ක්‍රීඩා කළ ලකුණු 91 ක වූ අපූරු ඉණිම මෙන්ම,මහේල ජයවර්ධන ඉණිම දෙකේම අර්ධ ශතක ලබමින් සිය නායකත්වය යටතේ ක්‍රීඩා කළ අවසාන ඉණිම දෙක තුළ ලකුණු අතරට පැමිණිමත් සතුටු විය හැකියි.එසේම දිනේෂ් චන්දිමාල් දෙවන ඉණිමේ දී දියත් කළ අපූරු සටන්කාමී ඉණිමට කඩුල්ල රැක ගනිමින් සහයෝගය දැක්වීමට පසුපෙළ අසමත් නොවුණේ නම් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ඉලක්කය තවත් වැඩි වන්නට තිබුණා.අඩුම තරමේ එය ලකුණු 200 සීමාවට හෝ රැගෙන යන්නට චන්දිමාල් ගේ ඉණිමට සහයෝගයක් ලැබිණි නම් මෙම තරගයේ ප්‍රතිපලය ලෙස ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබදව ලියන්නට ද විශාල ඉඩක් තිබුණා.
නමුත් අවසාන කඩුල්ලට නුවන් ප්‍රදීප් පන්දු 24 ක් පුරා ලකුණු 9 ක්  ලබා ගනිමින් සිය වගකීම තේරුම් ගනිමින් චන්දිමාල් ට දැක් වූ සහයෝගය අගය කළ යුතුයි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගාවලිය තුළ දි හදුන්වා දුන් ඔවුන්ගේ නව වේග පන්දු යවන්නා වූ ජැක්සන් බර්ඩ් මෙම තරගයේදි  ශ්‍රී ලංකාවට එරෙහිව කැපී පෙණුනම පන්දු යවන්නා වූ අතර ඔහු විසින් ලබා ගත් කඩුලු 7 මෙන්ම ඕස්ට්‍රේලියා පළමු ඉණිමේදී අවසාන පිතිකරුවා ලෙස මැතිව් වේඩ් ට ශතකය කරා යන්නට අවශ්‍යය දිරිය ලබා දෙමින් ක්‍රීඩා කළ ආකාරය නිසා ඔහු තරගයේ වීරයා වුණා.තරගය පුරාම ලකුණු අතර සිටි සහ සිය නායකත්වයේ තීරණ මගින් ඕස්ට්‍රේලියාව ජය මාවතට තල්ලු කළ මයිකල් ක්ලාක් තරගාවලියේ වීරයා වුණා.
ඔස්ට්‍රේලියාව බිහිකළ සුපිරිතම සටන්කාමී ක්‍රීඩකයෙකු ලෙස අවිවාදිත මයික් හසීගේ ටෙස්ට් දිවියේ සමුගැනීම මෙම තරගයේදී සිදු වූ අතර ඔහු සිය සමුගැනීම සිය උපරිම දක්ෂතා අතර රැදී සිටියදී සිදු කළ ක්‍රීඩකයෙකු ලෙසත් සිය සමුගැනීමේ තරගයේ දී කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහි ලකුණ රැස් කිරිමේ දුර්ලභ වාසනාව ලද ක්‍රීඩකයෙකු ලෙසත් ඉතිහාසයට එකතු වෙනවා.
තෙවන ටෙස්ට් තරගයේ ලකුණු පූවරුවට පහත සබදතාවය ඔස්සේ පිවිසිමට හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html
www.supirikrida.com

උදය රණසිංහ ගේ රණකාමීත්වයෙන් කණිටු මේස පන්දු පිටිය බැබලෙයි

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ ගේ සුපිරි මේස පන්දු හරඹය මෙවර කණිෂ්ඨ ජාතික මේස පන්දු සූරතාවලියේදි ඔහුට තරගාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයා වන්නට මාවත උදා කර දුන්නා.වර්ථමානයේ ජාතික මට්ටමේ ද අංක එක යුගල සූරතාවයේ සහකරුවෙකු ලෙස වැජඹෙන ලාබාල උදය ස්වීය විශිෂ්ඨ තරග රටාව මොනවට විදහා පාමින් අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 18 න් පහළ කේවල සූරතාවයන් මෙන්ම ඔහුගේ විද්‍යාල‍යේම ක්‍රිෂාන් වික්‍රමරත්න සමග එක්ව අවුරුදු 18 න් පහළ බාලක යුගල සූරතාවය ද දිනා ගත්තා.
මෙවර තරගාවලියේ පෙරළි ගණනාවක්ම සිදු වූ අවුරුදු 15 න් පහළ බාලිකා අංශයේ සූරිය වූ මහනුවර මහමායා විද්‍යාලයේ රිද්මි කරදනආරච්චි මෙවර හොදම නැගී එන ක්‍රීඩක සම්මානයේ උරුමක්කාරිය වූ අතර ඇය අවුරුදු 18 න් පහළ මිශ්‍ර තරගයේදී එම අනු සූරතාවයට උරුමකම් කීමට උදය රණසිංහ සමග එක් වී සමත් වුණා.
කලෙකට පසුව මේසපන්දු පිටියේ කැපී පෙණුන අම්බලන්ගොඩ ධර්මාශෝකයේ නුවනි නවෝද්‍යා ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මේ වසරේ අවුරුදු 18 න් පහළ බාලිකා අංහයේ අංක එකට ශ්‍රේණිගතව සිටි ධර්මාශෝකයේම  එරන්දි වරුසවිතාන පරාජය කරමින් අවුරුදු 18 න පහළ සූරිය බවට පත් වුණා.එතෙකින් නොනැවතුණු නුවනි සිය විද්‍යාලයේ උමායා තාරුකී සමග එක්ව අවුරුදු 18 න් පහළ බාලිකා යුගල සූරතාවය ද දිනා ගත්තා.
අවුරුදු 12 න් පහළ සූරිය වන්නට නුගේගොඩ අනුලා විද්‍යාලයේ හසිනි පියුමාලා සමත් වූ අතර එම වයස් කාණ්ඩයේ සූරයා වන්නට සෙලින්කෝ සසෙක්ස් පාසලේ චතුර ගුණසේකර සමත් වුණා.අවුරුදු 18 න් පහළ මිශ්‍ර යුගල සූරතාවය දිනා ගත්තේ මහනුවර විද්‍යාර්ථයේ ප්‍රසාද් ජේ ද සිල්වා සම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය නියෝජනය කළ බුද්ධීපනි රාජගුරු යි.
මහනුවර ජගත් රාජපක්ෂ ජාත්‍යන්තර ගෘහස්ථ මේස පන්දු පිටියේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියට සමගාමීව අද ජ්‍යෙෂ්ඨ සූරතාවලියද එහිදී ඇරඹෙන අතර කණිෂ්ඨ තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අද සහ හෙට පැවත්වෙන ජ්‍යෙෂ්ඨ සූරතාවලියේදී ද අභියෝගාත්මක ක්‍රීඩා රටාවක නියැලෙමින් එම තරගාවලියේ පෙරලිකාර ජයග්‍රහණ ලබා ගැනීමට ඉඩ තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩක බරී ජීවිතයෙන් සමු ගනියි!

File:XC MTB 17 Stevage.jpgලොව සුපිරිතම ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගතරුවෙකු ලෙස ප්‍රකට බරී ස්ටෑන්ඩර් ට රිය අනතුරකින් ජීවිතය අහිමි විය.මිය යන විට වයස අවුරුදු 25 ක් වූ බරී 2008 දී බීජිං ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් ස්ටෑන්ඩර්ඩ් පාපැදි ඉසව්වේ 15 වන ස්ථානය දිනා ගත්තා.මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී තත්පර 5 කින් ලෝකඩ පදක්කම අහිමි කර ගන්නා බරී ට පස්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.
පාපැදි සූරියක වන ක්‍රිස් සමග විවාහ වී සිටින බරී,අවුරුදු 19 න් පහළ මෙන්ම 23 න් පහළ වයස් ඛාණ්ඩ වලදී එම වයස් සීමා වලට අදාළ ලෝක මවුන්ටන් පාපැදි සූරයා වන්නට ද සමත් වී තිබෙනවා.
ජනවාරි 3 දා ෂෙලී බීච් ප්‍රදේශයේදී ටැක්සි රථ රියදුරෙකුගේ නොසැළකිලිමත් රිය ධාවනයේ ගොදුරක් වූ බරී,ජීවිතයෙන් සමු ගන්නා විට දකුණු අප්‍රිකානු පාපැදි කරුවෙකු ලෙස ඓතිහාසික ජයග්‍රහණ ගණනක උරුමකරුවෙකු වී සිටි අතර බරී ගේ අහිමි වූ ජීවිතයත් සමගම දකුණු අප්‍රිකාවෙන් ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි කේෂ්ත්‍රයේ ජයග්‍රහණ පිලිබද බලාපොරොත්තු ද විශාල දුරස් වීමකට ලක් වෙනවා.
www.supirikrida.com
බරී සහ ක්‍රිස්


විජේකෝන් ට විජයග්‍රාහී ගමණකට සුභ පැතුම්!

ශ්‍රී ලංකාව නිර්මාණය කළ සුපිරිතම මැදි දුර ධාවකයා ලෙස පිළිගැනෙන චමින්ද ඉන්දික විජේකෝන් ජනවාරි 3 වන දා යුග දිවියට පිවිසුණා.ඒ දිලේකා බණ්ඩාර සමගයි.ලාංකේය ක්‍රීඩා පිටියේ මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් ලැබුණු සුවිශේෂීම ජාත්‍යන්තර ජයග්‍රහණයන්හී හිමිකරු ලෙස සැළකෙන විජේකෝන්,තරගයකට සූදානම් වීමේදී ඒ සම්බන්ධයෙන් දක්වන පෙර කායික සහ මානසික සූදානම පරමාදර්ශි එකක් ලෙස සැළකිය හැකියි.
සිය විවාහය වෙනුවෙන් ද එවැනි සූදානමකින් කටයුතු කළ විජේකොන්ට එම දිවි ගමණෙන්ද පරමාදර්ශි ජයග්‍රහණයක් ලබන්නට ශක්තිය හා දිරිය ලැබේවා යන්න සුපිරි ක්‍රීඩා පැතුමයි.
කෙන්යාවේ වැඩිදුර පුහුණුව ලැබීමට සිය හැකියාව භාග්‍යයක් බවට පෙරළා ගත් චමින්ද,මනා හැදෑරීමකින් යුතුව ලද අවස්තාව ජයග්‍රාහී,ඓතිහාසික මතක සටහන් වලින් පුරවා ගන්නට  සමත් වුණා.එසේම අධ්‍යාපනික වශයෙන් මෙන්ම ක්‍රීඩාවේ ශිල්පීය සහ තාක්ෂණික ගුණාංග පිළිබදවත් පරිචයක් ඇත්තෙකු ලෙස හැදින්විය හැකි චමින්ද,අධයාත්මික වශයෙන් විශාල සංවර්ධනයක් ලත් සහ ඒ වර්ධනය ක්‍රීඩාවේ ජයග්‍රහණ පිණිස මෙන්ම ජීවිතයේ පැවැත්ම කෙරෙහි භාවිතාවට ගත් පුද්ගලයෙකු ලෙස හැදින්විය හැකියි.
ඒ සියළු ගුනාංග වල එකතුවෙන් ‍දිරිමත්,නොපසුබස්නා වීරියෙන් යුත් ජයග්‍රහණ වලින් සිය ක්‍රීඩා ජීවිතයේ සාර්ථකත්වයට ළගා වූ චමින්ද ගේ විවාහ ජිවිතය ද සාර්ථක එකක් වේවා යන්න සුපිරික්‍රීඩා පැතුමයි!
www.supirikrida.com