Feb 14, 2012

පාසල් මලල ක්‍රීඩා සංගමයේ මුල් පුටුව උපාලිට

පාසල් මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය ඊයේ පැවති අතර එම සංගමයේ නව සභාපතිවරයා ලෙස උපාලි අමරතුංග තේරීපත් විය.වර්ථමානයේ පාසල් ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ද වන උපාලි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරය හොබවන්නේය.ලේකම් ධුරයට ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ප්‍රකට සුසන්ත ප්‍රනාන්දු තේරී පත් වූ අතර වර්ථමානයේ සිටින තවත් ප්‍රකට පාසල් පුහුණුකරුවෙකු වන ජයලාල් රත්නසූරිය එහි භාණ්ඩාගාරික වරයා ලෙස තේරී පත්විය.
වර්ථමානයේ පාසල් මලල ක්‍රීඩා පිටියේ පුහුණුකරුවන් ලෙස කැපී පෙනෙන පිරිසක් නිලතල වලට තේරී පත්වීම මෙහිදී කැපී පෙණින.ඒ අතරින් සංගමයේ නව සටහන්කරුවන් ලෙස ලක්ෂ්මන් හපුආරච්චි සහ උපාලි විජේසිංහ පත් වූ අතර හිටපු ජාතික ඇවිදීමේ සූරයෙකු වන බීඑම්එන් නයනානන්ද උප ලේකම් තනතුරකට තෝරා ගැණිනි.තරග ලේකම් ලෙස සුසන්ත කුලරත්න තේරී පත්විය.
පුහුණු අධ්‍යක්ෂ ලෙස සිසිල්ටන් හෙට්ටිආරච්චි සහ පුහුණු ලේකම් ලෙස ඩබ්ඩී නන්දාවතීත්  තේරී පත්විය.

අයෝමය සූරයා කිරුළ රුවන් සංජීවට


කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේ දී පැවති ජාතික අයෝමය සූරයා තේරීමේ තරගාවලියේ සූරයා ලෙස රුවන් සංජීව තේරී පත්විය.ඡායාරූපයේ දැක්වෙන්නේ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජාතික සූරයා ලෙස තේරී පත් වූ රුවන් සංජීවට ජය සංඛේත ප්‍රදානය කළ අයුරුයි.එම අවස්ථාවට එක් වූ බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර මෙන්ම ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ ලේකම් කපිල කුමාර ද අමාත්‍යවරයා පසෙකින් වේ.

Feb 13, 2012

ගාම්භීර් ගේ ගාම්භීර ඉණිම ඉන්දියාවට ජය ගෙන දෙයි

Gautam Gambhir made a fluent 92කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම පරාජය ඕස්ට්‍රේලියාවට අත්කර දුන් ඉන්දියාව කඩුලු හතරකින් ඕස්ට්‍රේලියාව පරාජය කළා.කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පලමුවරට ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි පීටර් ෆොරෙස්ට් (66) සහ ඩේවිඩ් හසී (72) අතර රොක්වුණු ඕස්ට්‍රේලියානු ලකුණු සටහන ඒවර් 50 නිමාවන විට කඩුලු 8 ට ලකුණු 269 ක් ව පැවතියා.තගාවලිය පුරාම කඩුලු අතර සිටින ඉන්දීය පන්දු යවන්නා වන විනේ කුමාර් මෙම තරගයේදී ද ලකුණු 58 ට කඩුලු 2 ක් දවා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වු උමේෂ යාදෙව් ලකුණු 49 ට කඩුලු 2 ක් දවාලීය.
පිලිතුරු ඉණිමට පිවිසි ඉන්දියාවේ පිතිකරුවන් එක් අන්තයකින් දැවි යද්දී සිය අන්තය සුරකමින් පීඩනයක් ගොඩ නැගෙන්නට නොදුන් ගෞතම් ගාම්බීර් පන්දු 111 කින් ලකුණු 92 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය ඉන්දියාව දෙසට හැරවීමට මුල් වෙමින් තරගයේ වීරයා විය.ඔහු විසින් ගොඩ නැගූ සාර්ථක අඩිතාලම බිද වැටෙන්නට නොදුන් නායක මහේන්ද්‍ර සිං දෝනි තරගයේ අවසාන භාගය සිය පාලනයට යටත් කර ගත් අතර ඔහු නොදැවී ලකුණු 44 ක් රැස් කරන්නට සමත් විය.
ක්ලින්ට් මැකී ලකුණු 53 ට කඩුලු 3 ක් දවාලමින් ඉන්දීය ජය ප්‍රමාද කළ ද තරගයේ අවසාන ඕවරය යැවීමට භාර වූ ඔහු ට සිය පන්දු ඕවරය නිමා කරන්නට තව පන්දු 2 ක් ඉතිරිව තිබිය දී ජයග්‍රහී ඉන්දීය ලකුණ වාර්තා වූ අතර ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 270 ක් බවට පත්විය.
තරගයේ නිල ලකුණු පූවරුවට පහත සදහන් සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518959.html

www.supirikrida.com

දුලිප් මෙණ්ඩිස් බොක්සි සූරතාවය දිනයි

  දුලිප් මෙණ්ඩිස්

විද්‍යාර්ථය
රොෂාන් සදරුවන්

දින හතරක් පුරා කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං කවයේ පැවති ආධුනික බොක්සිං තරගාවලිය ඊයේ නිමාවට පත් වූයේ මහනුවර විද්‍යාර්ථ බොක්සිං සමාජයට සූරතාවය හිමි කර දෙමින්.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් බොක්සිං සමාජය නියෝජනය කළ  කිග්‍රෑ 56 බර පංතිය ජය ගත් දුලිප් මෙණ්ඩිස් තේරී පත්විය.කිග්‍රෑ 49 ට අඩු බර පංතියෙන් තරග වැදි යුනිචෙලා බොක්සිං සමාජයේ රොෂාන් සදරුවන් දක්ෂතම පරාජිතයා ලෙස සම්මානනීය විය.
තරගාවලියේ අවසාන දිනය වූ ඊයේ තරග ඇල් මැරුණු ස්වභාවයක් ගත් අතර පැවති අවසාන තරග 10 න් අඩු බර පංතියේ තරග 3 හැරෙන්නට ඉතිරි තරග 7 ම ජයග්‍රාහකයා තීරණය වූයේ අතරමැද තරගය නවතා දැමීමෙන්ය.ඇති වී තිබෙන අවාසනාවන්ත තත්ත්වය පාදක කරගෙන විනිසුරුවන් තුළ ගොඩ නැගී තිබෙන පීඩනය එම තීරණවලට බලපෑමක් කළ බව යමෙකුට හැගී යා හැකි වුව ද සැබවින්ම එම තරගවල ප්‍රතිපලයට වඩාත්ම බලපෑම් කළ සිදුවීම වූයේ තරග සටහන යෙදී තිබුණ ආකාරයෙන් අවසාන තරගයට පිවිසි පාර්ශව අතරින් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට වඩා බෙහෙවින් ප්‍රබල වීමය. 
ඇතැම් පුහුණුකරුවන් විනිසුරු තීරණවලට එරෙහිව සිය විරෝධය දැණුම් දීමට අමතරව දෙමව්පියන් විරෝධය සදහා පෙළඹවීම දැක ගන්නට ලැබුණු අතර එය එම විද්‍යාලීය කීර්ති නාමයට මෙන්ම ක්‍රීඩාවේ ගුණාත්මකභාවයට ද හානි කර තත්ත්වයක් විය.ක්‍රීඩාවේ නෛතික පදනම නොදන්නා මව්වරුන් එම විරෝධතා සදහා කැදවා එමින් තමන්ට පුහුණුව සදහා අවස්ථාව හිමි වී තිබෙන නමගිය පාසල්වල කීර්තියට ද අවමන් කරන මෙවැනි පුහුණුකරුවන්ට ඇතිවන ගැටළුවකදී  එය තනිව කළමණාකරණය කර ගැනීමේ පෞරශයක් නැතිවීම එවැනි පුහුණුකරුවෙකු අතින් පෞරශවත් බොක්සිං ක්‍රීඩකයෙකු බිහිවේද යන්න ද සැකයට භාජනය කරන සුළුය.
තරගයේ දෙවන ස්ථානය ද කන්ද උඩරටට හිමි වූ අතර එහි ගෞරවය කිංස්වුඩ් බොක්සිං සමාජයට හිමි විය.විශේෂත්වය වූයේ ප්‍රබල බොක්සිං සමාජ සමග තරග වදිමින් නැගී එන බොක්සිං සමාජයක් ලෙස පිළි ගැනෙන පානදුර සුමංගලය තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමය.
ඡායාරූප - කමල් වන්නිආරච්චි

දෝහා ඔලිම්පික් ලෝගුව එළි දකියි


Doha 2020_logo 
2020 වර්ෂය සදහා ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් සටන දිනා ගැනීම වෙනුවෙන් සටන් වදින කටාර් රාජ්‍යය සිය සටන් ප්‍රවෙශය තව දුරටත් තහවුරු කරමින් පෙබරවාරි 10 දා සිය ඔලිම්පික් උළෙල වෙනුවෙන් යොදා ගන්නා නිල ලාංඡනය එළි දැක්වීය.ඒ සමගම www.doha2020.qa. වෙබ් අඩවිය සිය නිල වෙබ් අඩවිය ලෙස එළි දැක්වීමද සිදු වූ අතර මෙම අවස්ථාවට කටාර් රාජ්‍යයේ පළමු කාන්තා පුරවැසිනිය ලෙස පිළිගැනෙන ෂෙයික් මෝසා බින්ට් නසීර් අතින් සිදුවිය.
මේ වන විටත් 2022 ජගත් පාපන්දු කුසලාන තරගාවලිය සංවිදානය කිරීමේ වගකීම දිනා සිටින කටාරය,එම තරගාවලියට පෙරාතුව දෝහා නගරය 2019 ජගත් මලල ක්‍රීඩා සූරතාවලියෙන් සහ 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙල සංවිධානයේ සත්කාරකත්වය දිනා ගන්නට තරග වදිමින් සිටියි.
www.supirikrida.com

Feb 12, 2012

ඉන්දියාව ජය සුරැක ගන්නට සියළු වෙර දරන තරගයක්




ලෙකට පසුව ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ජය ගනිමින් ජයග්‍රහණයේ රස භුක්ති වදීමට භාග්‍යය ලද ඉන්දියාව අද එම ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට එරෙහිවද භුක්ති විදීමේ දැඩි උවමනාවකින් පසුවෙයි.විශේෂයෙන් විරාට් කෝලි ලකුණු අතරට පිවිස සිටීම මෙන්ම රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීම නිසා ඉන්දියාව වෙනදාට වඩා විශ්වාසයක් ඇතිව මෙම තරගයට පිවිසෙනු ඇත.
ප්‍රවීන නම්වලට වඩා කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ඉහළ දස්කම් දැක්වීම වැදගත් බව ප්‍රකාශ කරමින් නවක දක්ෂයන් සමග ගමණක් යාමේ අභියෝගය භාරගත් මයිකල් ක්ලාක් ද සිය ජයග්‍රාහී ගමන ආපසු හැරවීමට කිසිවෙකුට ඉඩ දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.ඒ නිසා අද තරගය වඩා විවෘත සහ තරගකාරී තත්ත්වයෙන් ඉහළ යනු ඇතැයි විශ්වාස කළ හැකිය.

බොක්සිං මරා දමමුද ? බේරා ගනිමුද?


බුද්ධික රන්දීර් මිය ගියේය.ඒ බොක්සිං පුහුණුවේදී සිදු වූ අනතුරකදී බව පැහැදිළිය.මේ සිදුවිම අරභයා ඇතැම් පිරිස් බොක්සිං තහනම් කිරීමට උත්සාහ දරමින් සිටින්නේය.මේ තත්ත්වය එතරම් හිතකර නැත.මේවා ගිජු ලෙස වළදන්නට ප්‍රවෘත්ති කර ගැනීම පසෙක ලා සෘජු ලෙස පෙනී සිට මරණයට පදනම් හේතු සාධක සෙවීම මෙන්ම මෙම මරණය සදහා බල පා තිබෙන හේතු කාරණා කවරේද යන්න අවබෝධ කර ගැනිම සහ ඒවා නිවැරදි කර ගැනීම වැදගත්ය.
බුද්ධික ගේ මරණය සිදු වී ඇත්තේ කෙසේද?ඒ සම්බන්ධයෙන් බුද්ධිකගේ ඥාතීන් සහ හිතවතුන් කරන ප්‍රකාශ වලට අමතරව ඇසින් දුටු එම සිදුවීම හා සම්බන්ධ පිරිස් කියන කතාවල සත්‍ය අසත්‍යභාවය සොයා බැලීම කළ යුතුය.මේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධ පිළිගත් නීතිමය තත්ත්වයන් පිළිබද අවබෝධයෙන් සිදුවීම ඉතා වැදගත්ය.
සටන් කළ පුද්ගලයා මියගිය බුද්ධික හා සමබර පංතියේ අයෙක් ද යන්න අවබෝධ කර ගැනීම මෙහි දී පළමුව සිදුවිය යුතුය.එසේම ඔහු ද බුද්ධික මෙන් ආධුනික මට්ටමේ ක්‍රීඩකයෙකු ද යන්න අවබෝධ කර ගැනීම ද වැදගත්ය.තරගයකදි ක්‍රීඩකයන් හමුදා පාසල් ලෙස වර්ගීකරණයක් සිදුවන්නේ නැති අතර බොක්සි ක්‍රීඩාවේ දී වර්ගීකරණයක් සිදුවන්නේ බර අනුවය.එසේම ප්‍රවීනත්වය අනුව වර්ග කරන ලද තරගාවලි දැකිය හැකි අතර උදාහරණයක් ලෙස පාසල් ක්‍රීඩකයන්ට පළමු වරට තරග වදින්නට සිදුවන එල්.වී. ජයවීර කුසලාන තරගාවලිය දැක්විය හැකිය.ඒ නිසා පුහුණුවේදී සමාන බර හා සමාන අත්දැකීම් ඇති අය යොදා ගැනීම කියන කාරණය සැළකිල්ලට ගෙන මෙම කාරණය පිළිබද විමසා බැලීමට පිවිසෙනු විනා බොක්සිං වලට අදාළ නැති ග්‍රෝත්‍රික තත්ත්වයන් හී පිහිටා කටයුතු කිරීම නුසුදුසු ය.
එසේම පුහුණුකරුවා එම වෘත්තීයට කෙතරම් නිපුණ පුද්ගලයෙක්ද යන්න තේරුම් ගැනීම වැදගත්ය.ඔහු එම නිපුනතාවය රැකෙන පරිදි ක්‍රියාත්මක වී තිබේද යන්න අවබෝධ කර ගැනීම ද මෙහිදී ඉතාමත් වැදගත්ය.පුහුණුව සදහා අදාළ ආරක්ෂිත උපකරණ පැළද තිබේද යන්න විමසා බැලීම මෙන්ම ඉහත දක්වා තිබෙන කරුණු වලට අනුව ක්‍රීඩකයා ඔහුට ගැලපෙන පරිදි සටන් වලට යොදවා ඇද්ද යන්න සොයා බැලිය යුතුය.
ඔහු ප්‍රතිමල්ලවයෙකු යොදා සටනට යොමු කිරීම සිදුවිය හැක්කේ සැළකිය යුතු කාලයක පුහුණුවකින් පසුව ය.මියගිය බුද්ධිකගේ ඥාතීන් පවසන ආකාරය ලෙස හුවා දක්වන ප්‍රවෘත්තිවලින් කියවෙන්නේ බුද්ධික එදා අතිරේක පංති යනවිට පුහුණුව සදහා ගෙන්වා ගෙන ඇති බවත් එය බොහෝ විට බුද්ධික බොක්සිං සදහා ගිය පළමු දිනය විය හැකි බවත් සිතෙන කතාවකි.එය සත්‍යයක් නම් පමණක් පුහුණුවට සහභාගි වූ පළමු දිනයේ දී  ඔහු ප්‍රතිමල්ලවයෙකු හා සටන් කිරීමට යොමු කිරීම සම්ප්‍රදාය නොවන බැවින් පුහුණුකරු අතින් වරදක් සිදු වී ඇත.
අනතුරක් සිදු වූ විට එහි බරපතල තත්ත්වය තේරුම් ගැනීමට පුහුණුකරුවෙකුට අසීරු නැත.ඒ අනුව අවශ්‍යය වෛද්‍ය උපදෙස් සදහා ක්ෂණයකින් යොමු වී ඇද්ද යන්න ද මෙහි දී අවධානයට යොමු කළ යුතුය.මේ තත්ත්වයන් හී දී වරදක් සිදු වී ඇත්නම් මෙම මරණය බොක්සිං නිසි ප්‍රමිතියෙන් පවත්වා ගෙන නොයෑම කියන පදනමේ පිහිටා මෙම මරණය සිදු වී ඇති බව නිගමණය කළ හැකිය.නමුත් එහිදී බොක්සිං පවත්වාගෙන යාම නිසා මෙම මරණය සිදු වී ඇතැයි නිගමණයකට එළැඹීම නොකළ යුතුය.බොක්සිං පවත්වා ගෙන යාම සහ නිසි පරිදි පවත්වා ගෙන නොයෑම යනු කාරණාවන් දෙකක් බව අවබෝධ කර ගැනීම මෙහිදී ඉතාමත් වැදගත් කොට සිතිය හැකිය.
එසේ නිසි ප්‍රමිතියෙන් සියල්ල සිදු වී ඇත්නම් බුද්ධික ගේ මරණය සිදු වී ඇත්තේ බොක්සිං ප්‍රහාරයක් නිසා කියන තීරණයට එළැඹිය හැකි නමුත් එයද පාසල් වල බොක්සිං නැවත්වීම සදහා වන තීරණයක් නොවිය යුතුය.බොක්සිං අඩුබර පංති ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ‍ජයග්‍රහණ ගෙන හැකි ඉසව් බව ප්‍රකාශ කර ඇත්තේ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දර ය.වර්ථමානයේ රජයේ විශාලතම ක්‍රීඩා වැඩ සටහන වන ක්‍රීඩා ශක්ති වැඩ සටහන අධීක්ෂණය කිරීම මෙන්ම මෙහෙයවීමද පැවරී ඇත්තතේ  යෝගාට ය.ඔහු මීට කළෙකට පෙර කී එම කතාව මේ වන විට අවස්ථා කිහිපයක දී සැබෑ වී ඇති අතර අද බොක්සිං යනු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය ජය ගත හැකි ඉසව්වක් බවට පත්වෙමින් ඇත.
ඒ නිසා මේ තත්ත්වය පාදක කරගෙන පාසල් වල ‍බොක්සිං ක්‍රීඩාව පවත්වාගෙන යෑම නැවතිය යුතුය යන මුග්ධ තීරණයට එළැඹීම සදහා යම් සමාජ පෙළඹීමක් සිදු කරන්නේනම් එය අහම්බයෙන් බොක්සිං වලට පැමිණ අහම්බයක් සේ ජීවිතයෙන් සමුගෙන ගිය බුද්ධිකට කරන අගෞරවයක් බව තේරුම් ගැනීම වැදගත්ය.මේ මරණය සිදුවීමට යම් මුග්ධ ක්‍රියාවලියක් හේතු වී දැයි සොයා බලා ඒ සම්බන්ධයෙන් තීරණයකට එලැඹීම හැර ඊටත් එහා ගිය මුග්ධ තීරණයකට එ’ළැඹ පාසල් බොක්සිං ක්‍රීඩාව ඝාතනය කිරීමට යැමෙන් වැළකිය යුතුය.
මෙහිදී ඉතාමත් වැදගත් කොට සිතිය යුතු කාරණයක් ද ඇත.ලංකාවට පසුගිය කාලයේ ජාත්‍යන්තර මට්ටමෙන් කීර්තියක් ගෙනා සියළු බොක්සිං ක්‍රීඩකයෝ පාසල් මට්ටමෙන් බොක්සිං ඇරඹූ ක්‍රීඩකයෝය.මංජු වන්නිආරච්චි,අනුරුද්ධ රත්නායක,හර්ෂ කුමාර,නයනජිත් ඇලෙකසැන්ඩර්,කමල් සමීර,පීඩී සුරේෂ්.අමිල නුවන් අධිකාරී වැනි චරිත සියල්ල නිර්මාණය වන්නේ පාසල් බොක්සිං පිටියෙන් ලද ආභාෂය සමග බව මෙහි දී සිහිපත් කිරීම වටිනේය.ඒ නිසා පාසල් බොක්සි ක්‍රීඩාව අවිවාදිතවම ලාංකේය බොක්සිං ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ පදනම බව මෙහිදී අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්ය.
ඒ නිසා බුද්ධිකගේ මරණය යනු ජාතික වැදගත්කමක් ඇති තවත් දෙයක් ඝාතනය කරීමට අවියක් කර ගැනීම වෙනුවට ජාතියට ඉමහත් සේවයක් කිරීමට සිටි ඒ ජීවිතය වෙනුවෙන් වඩා උසස් ප්‍රමිතියකින් බොක්සිං පවත්වා ගෙන යාමට අවශ්‍යය පදනම සකස් කිරීමේ ප්‍රවේශ මාර්ගයක් තැනීමට අවශ්‍යය පසුබිම සකසා ගැනීමට යොදා ගන්නේනම් එය බුද්ධිකට ද ගෞරවයකි.
දැනටමත් ආධුනික බොක්සිං සම්මේලනය මෙම ක්‍රීඩකයාට පුහුණුවීම් කළ පුහුණුකරුට පුහුණුවීම් කිරීමට අවසර නොදීමට තීරණය කර ඇත.ඒ තාවකාලිකව මේ පිළිබදව නීත්‍යානුකූලව විසදුමක් ලැබෙනතුරුය.නිතියෙන් ඔහුට නිදහසක් නොලැබෙන්නේ නම් හෝ ඔහු ප්‍රමිතියට පුහුණු කටයුතු කර නැතැයි ඔප්පු ‍වන්නේ නම් හෝ ඔහුට යළි බොක්සිං සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවසර නොදෙනු ඇත.ඒ වෙනුවෙන් වෙනම පරික්ෂණයක් කිරීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ තංගවේලු ගේ මූගිකත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත.
එම කමිටුවට වෛද්‍ය රාජා කුලේන්ද්‍රන්,ජීකේ පෝල් යන අය ඇතුළත් කර ඇති අතර පාසල් සංගමය වෙනුවෙන් ලක්ෂ්මන් තිලකරත්නත් පුහුණුකරුවන්ගේ සංගමය වෙනුවෙන් බන්දුල ගමගේත් එම කමිටුවට ඇතුළත් කර ඇත.
එසේම මෙම මරණයට පත් වූ ක්‍රීඩකයා මීට පෙර මරණ දෙකක්ම සිදු වූ වුෂූ ක්‍රීඩාවට ද සම්බන්ධව සිටි ක්‍රීඩකයෙකි.එහි දී මියගිය පසිදු ජයවික්‍රම මෙන්ම මධුර වීරසිංහ යන දෙදෙනාම ජාතික තරගාවලි අතරතුර මියගිය අතර ඒ අවස්ථාවලදී එම මරණ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන් අතර ප්‍රධාන තැනක් ගත්තේ සුදුසු විනිසුරුවන් නොසිටීම සහ වෛද්‍යවරුන් නොසිටීමය.
 මේ සටහන අගට ඔහු වූෂූ ක්‍රීඩකයෙකු බව සටහන් කළේ සියළු කුණු වුෂු මත අලවා බොක්සි ගැලවීමට නොවේය.ඔහු තවත් සටන් කලාවක නිරත වූ අයෙකු බව මතක් කර දීමට ය.එසේම බුද්ධික යනු බොක්සිං ආශ්‍රිත කෙටි ඉතිහාසයට වඩා බොහෝ දිගු සහ කීර්තිමත් වුෂූ ඉතිහාසයක් ඇති ක්‍රීඩකයෙකි.එය කිසිවෙක් ප්‍රතික්ෂේප නොකරනු ඇත.මෙය ද අවධානයට ලක්කළ යුතු තත්ත්වයක් වන්නේය.ඒ නිසා මරණයට බලපාන හේතුව දීර්ඝ වශයෙන් ජීව විද්‍යාත්මකව සාකච්ඡා කළ යුතුය. සොයා බැලිය යුතුය.නිගමනය විද්‍යානුකූලව එලැඹීමක් වන්නේ නම් පසුතැවීමට හේතුවක් නොවනු ඇත.මේ මොහොතේ බුද්ධික ගේ මරණය සම්බන්ධයෙන් හේතු කාරණා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගත යුතු වන්නේ ඒ ආකාරයෙන් විද්‍යාත්මකව සිදුවන පරීක්ෂණ පදනම් කර ගෙනය.
කෙසේ වුවත් බොක්සිං ක්‍රීඩාව ආශ්‍රිතව සිදු වූ පළමු මරණය මෙය බව අමතක නොකිරීම වැදගත්ය.වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට වඩා ලංකාවේ ක්‍රියාත්මක ආධුනික බොක්සිං ක්‍රීඩාව ක්‍රියාත්මක වන්නේ සිරුරේ මර්මස්ථාන ආරක්ෂා වන පරිදිය.ඒ නිසා නිසි ප්‍රමිතියෙන් ක්‍රීඩාව සිදු වන්නේ නම් බොක්සිං මාරාන්තික ප්‍රතිපල අත් කර දෙනු ඇතැයි සිතීම උගහටය.ඉතිහාසය විසින් එකතු කර තිබෙන ආරක්ෂාව පිළිබද සහතිකය ද ඊට ප්‍රමාණවත්ය.
ඒ නිසා මෙම මරණය ඓතිහාසිකය.එය බොක්සිං නිසා වූවක් නොවන බව කුමන හෝ විද්‍යානුකූල පරීක්ෂණයක නිරීක්ෂණවල ප්‍රතිපල පදනම් කරගෙන නිගමනය කළ ද,එහෙත් එය ලාංකේය බොක්සිං ක්‍රීඩාවට මරණාසන්න තුවාල සිදුකළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයේ රැදෙනු ඇත.නමුත් ඉතිහාසයේ සිදු නොවූ යමක් වර්ථමානයේ සිදුවීමට හෝ අනාගතයේ සිදුවීමට ඇති ඉඩ අපි ප්‍රතික්ෂේප නොකරන්නෙමු.ඒ නිසාම මෙම මරණය පිළිබද තීරණය කිරීමට විද්‍යාත්මකව සිදුවන පරීක්ෂණම පදනම් කරගැනීම බව අපි විශ්වාස කරන්නෙමු.එසේම බොක්සි නිසා සිදු වූවක ද නොවූවක් ද කියන ගැටළුව පසෙකලා බොක්සිං පරිපාලනය නව පුහුණුකරුවන්  පත් කර ගැනීමේදී පාසල් හෝ ක්‍රීඩා සමාජ අනුගමනය කළ යුතු සහ පිළිපැදිය යුතු කරුණු හදුන්වා දීමටත් ඒ පිළිබදව සැළකිල්ල යොමුකිරීම අනිවාර්ය කිරීමත් වැදගත්ය.
එසේ අනිවාර්ය කිරිමට නව බොක්සිං පුහුනුකරුවන් නිර්මාණය කිරීමට අවශ්‍යය පුහුණු දැණුම ලබාදීම වැනි වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම විනිසුරුවන් සහ බොක්සි ක්‍රීඩාවේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීමට අවශ්‍යය වෘත්තීමය චරිතවල තත්ත්වය වැඩි දියුණු කිරීමටත් බොක්සිං පරිපාලනයේ අවධානය යොමු විය යුතුය.