Feb 1, 2012

එංගලන්ත සිංහයන්ට එරෙහිව සැබෑ සිංහයෝ සටන අරඹති


එංගලන්ත සිංහ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරගාවලියේ තෙවැන්න ඊයේ කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවට තරගාවලිය පිළිබද යහපත් බලාපොරොත්තු ඇති කරමින්ය.දඹුල්ල රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති පළමු තරග දෙකම ලකුණු 68 ක් සහ 67 ක් ලෙස පිටිපසින් සිට පරාජය වී සිටි ශ්‍රී ලංකාව මෙම තරගයේ දී කඩුලු 6 ක ජයක් ලබා නැවත තරගාවලියට අවතීර්ණ විය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත සිංහ කණ්ඩායම සිය නියමිත පන්දු වාර 50 නිමාවට පත් කළේ කඩුලු 9 ට ලකුණු 258 ක් ලබා ගනිමින් ය.එංගලන්ත ඉණිම ලකුණු 119 ක් රැස් කළ ජොස් බට්ලර් වටා ගොඩ නැගුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 36 ට කඩුලු 3 ක් දවා ගනිමින් එංගලන්ත සිංහයන් අඩපණ කිරීමට මුල් තැන ගත්තේය.
ශ්‍රී ලංකා ඉණිමේ මුල් කඩුලු 2 ක ලකුණු 22 ක් වෙද්දී අහිමි වුව ද අනතුරුව පිටියේ එක් වූ භානුක රාජපක්ෂ සහ දිමුත් කරුණාරත්න තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සබදතාවයක් ද සිව්වන කඩුල්ල වෙනුවෙන් කරුණාරත්න සහ නායක තිළිණ කණ්ඩම්බි ලකුණු 82 ක සබදතාවයක් ද පිහිටුවමින් තරගය ශ්‍රී ලංක‍ව දෙසට නැඹුරු කළහ.කරුණාරත්න ශතකය පෙනි පෙනී ලකුණු 94 ට දැවී ගිය අතර භානුක ලකුණු 72 ක් සහ කණ්ඩම්බි නොදැවී ලකුණු 55 ක් එක් කළහ.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය හරහා පිවිසිය හැකිය.


ස්පාඤ්ඤය, 2020 ඔලිම්පික් සටනේ නිල ප්‍රවේශය අරඹයි


ස්පාඤ්ඤය නිල වශයෙන් 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙල මැඩ්රිඩ් නුවරට දිනා ගැනීම පිණිස වන ක්‍රියාදාමය අරඹමින් ජනවාරි 30 දා එහි නිල ලෝගුව ප්‍රකාශයට පත් කරන්නට යෙදිණ. 2013 වසරේ සැප්තැම්බර් 07 දා 2020 වසරේ ඔලිම්පික් උළෙල පැවත්වෙන රට කවරේද යන්න තීරණය කෙරෙන නිලවරණය ඔලිම්පික් සාමාජික රටවල් අතර පැවත්වීමට නියමිත අතර 2011 මැයි 16 දා සිට මෙම තරගාවලියේ සත්කාරකත්වයට පිවිසීම සදහා කරන ලද ඇරයුමෙන් ඉනික්බිති තරගාවලිය සදහා ඉල්ලුම් කළ ඇති රටවල් ගණන 6 දක්වා ඉහළ නැග ඇත.
ඒ අනුව ඉතාලියේ රෝමය,කටාර් හී දෝහා,අසර්බයිජානයේ බාකු,තූර්කියේ ඉස්තාන්බුල්,ජපානයේ ටෝකියෝ සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් යන නගර 2020 ඔලිම්පික් සත්කාරකත්වය දිනා ගැනීමේ සටනේ පොර වැදී  සිටිති.ඡායාරූපයේ දැක්වෙන්නේ සපාඤ්ඤය ඔලිම්පික් තරගාවලිය දිනා ගැනීමේ සටන අරඹමින් නිකුත් කළ එහි නිල ලෝගුව එළි දැක්වීමෙන් පසු සපාඤ්ඤ නියෝජිතයන් කැමරාවට මුහුණ දුන් අයුරුයි.

Jan 31, 2012

යළි හයසින්ත් පුහුනුකාරිය වෙයි?


ජාතික දැල් පන්දු පුහුණුකාරිය ලෙස යළි හයසින්ත් විජේසිංහම පත් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ සැළ වෙයි.ඇය මෙවර පුහුණුකාරිය ලෙස පත්වන විට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියාතික සූරියන්ව සිටි අතර පුහුණුකාරිය ලෙස ඇය ගත් ස්කොට්ලන්ත සංචාරය පිළිබද තීරණයෙන් පසුව දිගින් දිගටම පරාජය ද,ශ්‍රේණිගත කිරිම් වල පහතට ද වැටි ශ්‍රී ලංකාව මේ වන විට ජගත් හ්‍රේනිගත කිරීම් වල 20 වන ස්ථානය දක්වා පහත බැස ඇත.
එවකට සිටි දැල් පන්දු පරිපාලනය කඩා විටී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික සූරියන් කරවීම සදහා දැඩි කැප වීමෙන් පුහුණු අපදෙස් ලබා දුන් තිලකා ජිනදාස පුහුණුකාරියගෙ භූමිකාවෙන් ඉවත් කිරීමට හැකිවන පරිදි පුහුණුකාරිය ලෙස හයසින්ත් විජේසිංහ ගෙන ඒමට අවශ්‍යය පසුබිම සකස් කළ අතර ඒ අනුව තිලකා බෘනායි වලින් ලැබුණු ඇරයුමක් මත එහි දැල්පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වගකීම ගෙන බෘනායි වෙත පිටත්ව ගියාය.
ඇති වී තිබෙන තත්ත්වය මත යළි තිලකා කැදවීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෞද්ගලිකව පවා මැදිහත් වෙමින් උත්සාහ කර ඇතත් ඇය එම රට සමග අත්සන් කළ ගිවිසුම අවසන් විමට තවත් කාලයක් ඇති බැවින් තිලකාට එම ඉල්ලීම පිළි ගන්නට හැකි වී නැත.මේ තත්ත්වය තුළ අසාර්ථක වුව ද අත්දැකීම් සළකා පුහුණුකාරියක ලෙස ඇති ජ්‍යෙෂ්ඨත්වය ප්‍රමුඛත්වයේ සළකන විට හයසින්ත් විජේසිංහ ට පුහුණුකාර ධූරය හිමිවීමට ඉඩ ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරන අතර මේ වන විට එම තින්දුව රැදි ලිපි ගොනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්  වරිය අතට පත් වී ඇති බව ද  සනාත කරයි.
ජ්‍යෙෂ්ඨ ක්‍රිඩිකාවන් වැඩි දෙනෙකු හයසින්ත් යටතේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති නිසා නවක කණ්ඩායමක් සමග සිංගප්පූරු ආරාධිත රටවල් හයේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව අත්දැකීම් නැති ක්‍රීඩිකාවන් ගෙ අඩුව නිසා දැවැන්ත පරාජයක් ලැබීය.ඒ තත්ත්වය මත දැනට හයසින්ත්ට ප්‍රවින ක්‍රීඩිකාවන් එක් කර ගෙන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම යළි ඔසවා තැබීමට හැකියාවක් තිබේද යන්න ගැන ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි අවධානයෙන් සිටිනු ඇති බව ද එම අමාත්‍යංශ ආරංචි මාර්ග පැහැදිළි කරයි.
www.supirikrida.com

පාපැදියට හුළං ගැසීමේ වගකීම ගගන් ට

ලෙක පටන් අර්බූද වලට ලක් වී තිබූ ජාතික පාපැදි සම්මේලනය නැවත පණ ගැන්වීමේ කාර්යය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිෂ් මාෂල් ගගන් බුලත්සිංහල ගේ නායකත්වයෙන් යුත් අතුරු කමිටුවකට පැවරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පියවර ගෙන ඇත.එහි ලේකම්වරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නම් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස බ්‍රිගේඩියර් රවී මායාදුන්න,නිශාන්ත පියසේන සහ එන් කරුණාරත්න නම් කර ඇත.
දිගින් දිගටම පැවති අර්බූද නිසා පාපැදි පරිපාලනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබූ අතර එම කාලය තුළ පාපැදි නීතිය සම්බන්ධයෙන් ක්‍රීඩා නිලධාරීන්ට විශේෂ දැණුමක් ලබා දෙමින් පාපැදි ක්‍රීඩාව විනිශ්චය සම්බන්ධයෙන් පැවති ඒකාධිකාරය බිද දැමීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.ඒ නිසා කල්ලි ලෙස ක්‍රියාවට නැගුණු විනිශ්චය ක්‍රියාවලිය සියලු දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාවට නැගෙන අයුරු ගෙවුණු යොවුන් පාපැදි සවාරියේ දී දකින්නට ලැබුණු අතර එම දැණුම බෙදා දෙන්නට මූලිකව ක්‍රියා කළ ජාත්‍යන්තර විනිසුරු එන් කරුණාරත්න ද මෙම අතුරු කමිටුවට ඇතුළත් කර තිබේ.එසේම අවසාන වරට පැවති පාපැදි පරිපාලනයේ උප සභාපතිවරයෙකු වූ ද දිගු කාලයක් එහි ලේකම් ධූරය දැරුවා වූ ද නිශාන්ත පියසේන ද මෙම අතුරු කමිටුවට ඇතුළත් කර ඇත
www,supirikrida.com

කපුකොටුවගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

මෙරිකාවේ මේ දිනවල ක්‍රියාත්මක ගෘහස්ථ මලල ක්‍රීඩා තරග සදහා සහභාගි වන චරිත් කපුකොටුව 28 දා පැවති ඩේව් ලිට්ල් විවෘත ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ දී බර වීසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරිමට සමත්විය.ඉකුත් සතියේ ශ්‍රී ලංකාවට ආගන්තුක එම ඉසව්වෙන් මීටර් 17.08 ක නව ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ කපුකොටුව මෙම තරගයේ දී එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගනිමින් මීටර් 17.23 ක දුරක් වීසි කර නව වාර්තාව තබන්නට සමත් විය.
ඉකුත් සතියේදී ගෘහස්ථ යගුලිය වීසිකිරීමේ නව ශ්‍රී ලංකා වාර්තාවද සිය නමට ලියා ගත් කපුකොටුව (මීටර්15.83) මෙම තරගයේ දී එම ඉසව්වෙන් අත් කර ගත්තේ තෙවන ස්ථානය ය.ඒ සදහා ඔහු මීටර 15.10 ක දුරක් යගුලිය වීසි කළේය.
www.supirikrida.com

ක්‍රීඩා නොකළ අය සංගම්වලට නිර්දේශ කිරීමට කමිටුවක්


ක්‍රීඩා නොකළ අය ක්‍රීඩා සංගම් සහ සම්මේලනවලට පත් කිරීමේ දී ඒ අය‍ විසින් ක්‍රීඩාවට කරන ලද සේවය සළකා බලා,පත් කිරීමට සුදුසුද නැද්ද යන්න නිර්දේශ කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්නයන් විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න,නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එන්කේ අබේසිංහ යන අය පත් කර ඇත.

සීවලි නිවාසාන්තර බොක්සි තරග අද සහ හෙට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බොක්සිං පාසලක් වන රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලීය නිවාසාන්තර බොක්සිං තරග අද සහ හෙට එම විද්‍යාලීය බොක්සිං කවයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.අද පෙ.ව.10.00 සිට මුලීක තරග ක්‍රියාත්මක වන අතර හෙට අවසන් වටයේ තරග ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ප.ව. 3.00 සිට ය.
ගැමුණු,පරාක්‍රම,විජය සහ ආටිගල යන නිවාස නියෝජනය කරමින් ක්‍රීඩකයන් 100 ක් පමණ මෙම ක්‍රීඩා උළෙලේ දී තරග බිමට පිවිසීමට නියමිත අතර එම ක්‍රීඩකයන් අතරින් මෙවර එල්වී ජයවීර තරගාවලිය නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයන් කවරේද යන්න තීරණය කරන බොක්සිං සංචිතය තෝරා ගැනීමට නියමිතය.මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස මාස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය කළමණාකාර අධ්‍යක්ෂ රුවන් කෑරගල සහභාගි වීමට නියමිතය.තරගාවලිය විද්‍යාලීය විදුහල්පති කමල් ආරියසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවත් වේ.