Jan 31, 2012

දැයට කිරුළ වොලිබෝල් අද සහ හෙට

මෙවර දැයට කිරුළ වොලිබෝල් තරගාවලියේ පාසල් සහ කණ්ඩායම් තරගවලින් ජයගත් පළාත් සූරයන් අතරේ පැවත්වෙන තරග රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී අද සහ හෙට පැවත් වේ.එම තරගාවලියේ අවසාන තරග පෙබරවාරි 05 සහ 10 අතර අනුරාධපුර දැයට කිරුළ භූමියේ දී පැවත්වීමට නියමිතය.
තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ දැයට කිරුළ සංවිධාන කමිටුවේ සභාපති විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහභාගි වීමට නියමිතය.


ජාතික අයෝමය පුරුෂයා තේරීම පෙබරවාරි 11 දා


ජාතික අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලිය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේ දී පැවත්වීමට නියමිත ය.කිග්‍රෑ.55 සිට 90 දක්වාත් 90 ඉහළ බර පංතිය සදහාත් ඊට අමතරව අවුරුදු 45 ට වැඩි ප්‍රවීන ක්‍රීඩකයන්ටත් මෙම තරගාවලියේ දී තරග වැදීමට හැකියාව ලැබෙන අතර ජාතික අයෝමය පුරුෂයා ලෙස කිරුළු දරන ක්‍රීඩකයාට මුදලින් රුපියල් 50,000 ක් සමග ගුවන් ටිකට්පතක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
සියළුම බර පංති ජයග්‍රාහකයනට නේදර් සීක්‍රට් වෙතින් පිරිනමන ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර මෙම තරගාවලියට ප්‍රධාන ආරාධිතයන් ලෙස නැවත පදිංචි කිරීමේ අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්,කොළඹ නගරාධිපති ජේඑම් මුසම්මිල් සහ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග යන අය ද එක්වීමට නියමිතය.

වෙරළ වොලි‍බෝල් පුහුණුකරුවන් පුහුණු කෙරේ


ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් පුහුණුකරුවන්ගේ දැණුම වර්ධනය පිණිස කටාර් හී මොහොමඩ් බින් හමීඩියා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් පාඨමාලාවක් මීගමුව වෙරළ ආශ්‍රිතව මාර්තු 20 සිට 24 දක්වා යන දින කිහිපය තුළ පැවත්වීමට කටයුතු යොදා ඇත.ඒ සදහා ඉදිරිපත් වීමට කැමති වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ප්‍රධාන ලේකම්,ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,අමාත්‍ය කාර්යාලය,ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,නො.234,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත,බත්තරමුල්ල යන ලිපිනයට පෙබරවාරි 15 දා ට පෙර ලැබෙන සේ යොමු කළ යුතුය.

Jan 30, 2012

ජාතික රට හරහා දිවීමේ සූරතා ගයන්තිකාට සහ ලයනල් ට

ගයන්තිකා

ජාතික ක්‍රීඩා උළෙලෙ ප්‍රථම අංකය ලෙස ක්‍රියාත්මක වූ ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ කාන්තා සූරතාවය දකුණු පළාත  නියෝජනය කළ ගයන්තිකා තුෂාරිට සහ පිරිමි සූරතාවය මධයම පළාත නියෝජනය කළ ලයනල් සමරසිංහ ට හිමිවුණා.කළුතර දොඩන්ගොඩ දී පැවති මෙම තරගාවලියේ දී සුපුරුදු පරිදි දුර දිවීමේ ආධිපත්‍යය තව දුරටත් සනාත කර ගත් මධ්‍යම පළාත කාන්තා සහ පිරිමි සූරතා ද්විත්වයම දිනා ගත්තා.

කාන්තා තරගයේ දී ගයන්තිකා ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී දෙවන ස්ථානය ගීතානි රාජසේකර ට හිමි වූ අතර තෙවන ස්ථානය දකුණු පළාත නියෝජනය කළ ඩබ්කේඑල්ඒ නිමාලි ට හිමි වුණා.ඉකුත් වසරේ මෙම තරගයේ සූරිය වූ අනුරාධි බෝගහවත්තට සිව්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වූණා.මෑත කාලිණව දුර ධාවනයේ හපන්කම් පාමින් ඉදිරියට එන ලයනල් සමරසිංහ තරගයේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට ගෙන දුන් අතර දෙවන ස්ථානය ඌවට ගෙන යන්නට රට හරහා දිවීමේ තරග සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග නියෝජනය කර ඇති  සමන් කුමාර සමත් වුණා.එවැනිම අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන දකුණු පළාතේ උපුල් විජිත කුමාර තරගාය් තෙවන ස්ථානය දිනා ගත්තා.
www.supirikrida.com

කහවත්තේ වොලිබෝල් මරු - තේරිම් කමිටුව හිටියනම් ඊටත් වඩා මරු


මෙවර ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ දිස්ත්‍රික්ක ජයග්‍රාහකයන් ගේ දෙවන අවසාන පූර්ව තරග සහ අවසාන තරගය හැරෙන්නට සියලු තරග පැවත්වූයේ   කහවත්ත මහජන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගෙනයි.දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි මෙම තරගාවලියට කණ්ඩායම් 50 ක් (පිරිමි 25, කාන්තා 25) සහභාගි වීමට නියමිතව සිටි අතර එයින් වව්නියා කාන්තා කණ්ඩායම හැරෙන්නට අනෙකුත් සියළුම කණ්ඩායම් සහභාගි වී සිටි අතර ඒ අතර නමගිය කණ්ඩායම් වලට අභියෝගයක් විය හැකි කණ්ඩායම් මෙන්ම නමගිය ක්‍රීඩකයන්ට අභියෝගයක් විය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද දකින්නට ලැබුණත් මේවා දකින්නට මේ රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවරේද යන්න තීරණය කරන තේරීම් කමිටු සාමාජික සාමාජිකාවන් මෙම තරග බිමේ දකින්නට සිටියේ නැහැ.
තරගාවලිය සදහා කාන්තා අංශයෙන් ඉදිරිපත් වූ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාසල් ක්‍රීඩිකාවන් නියෝජනය කළ ශාන්ත මේරි කණ්ඩායම ප්‍රබල මාවතගම කැෂුවලයින් කණ්ඩායම පරාජය කරමින් ද,එවැනිම පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇහැලියගොඩ ධර්මපාල කණ්ඩායම කොළොන්නාව එකමුතු කණ්ඩායම පරාජය කරමින් ද පෑ දස්කම් ඉහළ මට්ටමක පැවතිණ.එම කණ්ඩායම් සිය ප්‍රථම අවසාන පූර්ව තරග පරාජය වුව ද අවසාන තරග සදහා පිවිසෙන කණ්ඩායම් හතර අතරේ රැදෙමින් තව දුරටත් මෙම තරගාවලියේ සූරතාවය සම්බන්ධයෙන් සටන් කරන්නට සුදුසුකම් ලැබීම අගය කළ යුතුය
එසේම ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ බෙන්තොට සාගර වැනි කණ්ඩායම් වල ඇතැම් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාවද ජාතික මට්ටමේ නියෝජනය දක්වා ගෙන එන්නට සුදුසු මට්ටමක පැවති අතර පරාජය වුව ද දක්ෂ කණ්ඩායමකට එක් කර කණ්ඩායම් ජයග්‍රහණයක් බවට පෙරළිය හැකි තවත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙම තරගාවලිය තුළ සිටියත් මේවා දකින්නට තේරීම් කමිටු වල සාමාජිකයන් නොසිටීම කණගාටුදායක තත්ත්වයකි.
අති විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව ජනවාරි 28 – 29 දෙදින තුළ ක්‍රියාවට නැගුණු මෙම ක්‍රීඩා උළෙල සංවිධාන මට්ටමෙන් ආදර්ශවත් තරගාවලියක් බවට පත් කරන්නට වොලිබෝල් ප‍ාළක මණ්ඩලයේ උප සභාපති සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න ලබා දුන් නායකත්වය අගය කළ යුතු වෙනවා.බොහෝ ජාතික මට්ටමේ තරග වල දී සංවිධානයට නායකත්වය දෙන පුද්ගලයන් සියල්ල දොඩම් ගොඩ බදා ගන්නා ආකාරයට බදා ගනිමින් කටයුතු කළ ද කාංචන සියල්ල එකිනෙකා අතර බෙදා හැර අධීක්ෂණය පමණක් තමා අතේ තබා ගනිමින් අවශ්‍යය අවස්ථාවේ දී පමණක් මැදිහත් වෙමින් කටයුතු කළ ආකාරය ඒ සාර්ථකත්වයට හේතු වූවා.
නමුත් මෙම තරගාවලිය අතිශයින් සාර්ථක වීමට කහවත්ත ප්‍රදේශයේ නරඹන්නන්ගේ උද්යෝගය සහ සහභාගීත්වය ද බල පෑ අතර ඒ අතර සිටි ප්‍රේක්ෂකයෙකු කිලිනොච්චි කණ්ඩායමට දකුණේ සුහදත්වය පිළිගැන්වීමක් ලෙස දිවා භෝජනය ඇතුළු සියළු සත්කාරයන් ලබා දෙමින් කළ කැපවීම ගැන ද අපා අසන්නට ලැබුණා.නමුත් තරගාවලියේ අවසාන පූර්ව තරගයකට පමණක් කහවත්තේ උද්යෝගය සීමා කළ වොලිබෝල් සම්මේලනය දෙවන අවසාන පූර්ව තරග සහ අවසාන තරග වෙනත් ප්‍රදේශයක පැවත්වීම කෙරෙහි කහවත්ත ජනතාව කණස්සල්ලෙන් පසු වුණා.
‘අපි කොට ඇදලා දුන්නම පෙරහැරේ වෙන අලි යනවා’ කණ්ඩායම් 49 ක තරග දින දෙකක් සංවිධානය කරමින් මෙම තරගාවලියේ වැඩිම වෙහෙස ඔවුන් දැරැවද රටේම අවධානය යොමු වන අවසාන තරග වෙනත් ප්‍රදේශයක පැවත්වීම කෙරෙහි අදහස් දැක් වූ එම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් සුපිරික්‍රීඩා වෙත පැවසුවේ දැඩි කළකිරීමකින්.

Jan 29, 2012

අපි බිකිනියේ අභියෝගය භාර ගන්න සූදානම් - මුලතිව් හී ශමන්දි



මන් ගේ සංස්කෘතික පරිසරය තුළ බිකිනියට ඉඩක් නැතත් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබෙනවානම් රට වෙනුවෙන් ඒ ඇදුමෙන් ක්‍රීඩා කරන්න තමන් මෙන්ම මුලතිව් හී තව විශාල පිරිසක් සූදානම් බව ඊයේ පැවති ජනාධිපති රන් කුසලාන තරගාවලියට දහභාගි වන්නට පැමිණි මුලතිව් හී මින්නෝලි කණ්ඩායමේ කනගරාජා ශමින්දි ප්‍රකාශ කළාය.තමා වෙරළට ආසන්නයෙන් ජීවත්වන බව කී ශමින්දි එය ඒ ප්‍රදේශයට අලුත් අත්දැකීමක් වෙනු ඇති බව පැවසුවා ය.
'අපි තවමත් වෙරළ වොලිබෝල් දැක ඇත්තේ ටී වී එකෙන්' යැයි පැවසූ ශමින්දි එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගවලට ඉදිරිපත් වීමේ දී බිකිනියෙන් පෙනී සිටින්නට අකමැති වීම ගැටළුවක් වී ඇති බව අප පෙන්වා දුන් අවස්ථාවේ දී ඉහත අදහස ප්‍රකාශ කළාය.සියල්ලට පෙර රට යන හැගීමෙන් අදහස් දැක් වූ ශමින්දි ඒ වෙනුවෙන් කරන කැපවීමට සංස්කෘතිය බාධාවක් කර නොගන්නා බව පැවසුවා ය.
ඇය මෙන්ම අප සමග අදහස් දැක්වීමට එක් වූ මුලතිව් තුනුක්කායි කණ්ඩායම නියෝජනය කළ දැනට සරසවි අපේක්ෂාවෙන් සිටින ජගදීස්වරන් ජනත්තගන් ද තමන් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩාවේ තාක්ෂණික කරුණු නොදැන බව ප්‍රකාශ කළහ.ඔවුන් පවසන්නේ තමන්ට ඇත්තේ හිතේ හයියත් ඇගේ හයියත් පමණක් බවය.නමුත් මෙවැනි තරගාවලි වලට සහභාගි වද්දී එය ජාතික මට්ටමට ප්‍රමාණවත් නොවන බව කී ඔව්හූ ජාතික වොලිබෝල් සම්මේලනයෙන් හොද පුහුණුකරුවන්ගේ උපදෙස් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

වොලිබෝලයෙන් දේශපාලනය නොකරන නිසා පක්ෂ විපක්ෂ හැමෝම සහය දුන්නා - කාංචන ජයරත්න

යේ ඇරඹි ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ නොමද සහයෝගය ලැබීමට හේතුව තමන් මෙම තරගාවලිය සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් කර නොගෙන ඒ සදහා නිසි ජාතික වටිනාකම ලබාදීම බව සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න පවසයි.වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් තරගාවලිය සංවිධානය කිරීමේ කාර්යය පවරා ගත් එහි උප සභාපතිවරයෙකු වන කාංචන පවසන්නේ තමා ක්‍රීඩකයෙකුව සිට වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයට ක්‍රීඩා කළ අවධියේ සිටම වොලිබෝල් ක්‍රීඩාවට ආදරය කළ අයෙකු බවත් මේ වන විට රත්නපුර ප්‍රදේශයේ වොලිබෝල් වෙනුවෙන් උප සංස්කෘතියක් නිර්මාණය කිරීමට තමා දරන වෑයම පිළිබදව පක්ෂ විපක්ෂ සියල්ලන්ගේ සහයෝගය ලැබී තිබෙන බවත් ය.
ක්‍රීඩාව තමාගේ දේශපාලන ප්‍රචාරන ව්‍යාපෘතියක් කර නොගෙන ක්‍රීඩාවේ අභිවෘද්ධියට දේශපාලන සහය ලබා ගැනීම පිණිස තමන් දරන කැපවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සියළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ගේ සහයෝගය ලැබී ඇති බව පෙන්වා දුන් කාංචන ජයරත්න මංත්‍රීවරයා ඒ සියල්ලන්ම මෙම තරගාවලියට සහභාගි වී හෝ සිය නියෝජිකයෙකු හෝ එවමින් තමා ධෛර්‍යයට පත් කිරීමෙන් ඒ බව සනාත වන බව ද කීවේය.රත්නපුර ප්‍රදේශයේ හදුනාගත් වොලිබෝල් දක්ෂතා ඇති පාසල්වල වොලිබෝල් සංවර්ධනය කරන අතරේම තමා හදුන්වා දුන් රාත්‍රී තරග සංකල්පය ද මේ වන විට ජනප්‍රිය වී ඇති බව පෙන්වා දුන් පළාත් සභා මංත්‍රීවරයා,කලෙකට පෙර කහවත්ත ක්‍රීඩා පිටියට රුසියානු කන්ඩායම් පැමිණ ක්‍රීඩා කරන්නට තරම් දක්ෂතා ඇති වොලිබෝල් ක්‍රීඩකයන් සිටි බව පැවසීය.යළිත් එවැනි දිනයක් උදා කිරීමට වොලිබෝල් වෙනුවෙන් ශක්තිමත් වටපිටාවක් නිර්මාණය කිරීමට තමා දරන වෑයමට සියල්ලන්ගෙන්ම විශාල සහයක් ලැබෙන බවත් වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයෙක් ලෙස එම සම්මේලනයේ සියල්ලන්ගෙන්ම විශාල උපකාරයක් ලැබෙන බවත් පෙන්වා දුන්නේය.