Mar 10, 2013

මලල ක්‍රීඩාවේ සිගාලයන්ට රාජ යෝගයක් !

ලල ක්‍රීඩා නිලවරණය පැවත්වෙන ආකාරය සම්බන්ධයෙන් මලල ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රභූ චරිත විශාල වශයෙන් කළකිරීමක් දැක් වුව ද ඇතැම් හූ එම නිලවරණයේ ඇති වී තිබෙන කල්ලිවාදී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් සල්ලි ගස් සෙලවීමේ ව්‍යාපෘතියක් දියත් කරමින් සිටින බව වාර්තා වෙයි.මේ සල්ලි ක්‍රීඩාවේ දියුණුවේ නාමයෙන් අදාළ පුද්ගලයන්ගේ ගිණුම් වලට වැටේදැයි සියළු දෙනා තුළ සැක පහළ වී ඇති අතර මෙ ආකාරයට කිහිප දෙනෙකු ඡන්දයට ඉදිරිපත් වී ඇති අය ජයග්‍රහණය කරවනු පිණිස විවිධාකාරයේ සාද සංවිධානය කරමින් සිටින බවක් වාර්තා වේ.
මේ පුද්ගලයන් යුධ හමුදාවට සම්බන්ධ දෙදෙනෙකු සභාපති ධූරයට ගෙන එමින් හමුදාව තුළ ඇති කර තිබෙන ගැටළුකාරී තත්ත්වය පිලිබදව හමුදාවට සම්බන්ධ සහ ඊට සම්බන්ධව සිටි පිරිස් ද කළකිරීමට පත්ව සිටින අතර දේශපාලනමය වශයෙන්ද මෙවැනි අර්බූදකාරී තැනකට මලල ක්‍රීඩාව පමණක් නොව හමුදා විනයද තල්ලු කිරීම ජාතිකමය වශයෙන් අවාසනාවන්ත තත්ත්වයක් බව ඒ පිරිස් පෙන්වා දෙති.මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හිටපු මලල ක්‍රීඩා සභාපතිවරයා වන අතර ඔහුගේ පරිපාලනය සම්බන්ධයෙන් ඇති වූ ගැටළු ගණනාවක් මෙන්ම ක්‍රීඩා පණතට අනුව ඔහුට එක දිගට සභාපති ධූරයේ රැදී සිටීමට අවශ්‍යය අමාත්‍ය අනුමැතිය නොලැබීම යන කරුණු පදනම් කරගෙන ඉකුත් වර පාලිත ප්‍රනාන්දුට සභාපති ධුරයට තරග වැදීමට අවස්ථාව නොලැබිණ.
පාලිත ප්‍රනාන්දු ගේ හිස් තැනට පත් වූ මේජර් ජෙනරාල් දයා රත්නායක කෙරෙහි විශාල විශ්වාසයක් තැබුව ද ඔහු විසින් හමුදාවට සම්බන්ධ ඇතැම් පිරිස් කෙරෙහි  මලල ක්‍රීඩා පරිපාලනයට බලපෑම් කළ හැකි වට පිටාවක් සැකසීමට ඉඩ ලබා දීම නිසා ඔහුට සහය දුන් පිරිස් අතරම විශාල කළ කිරීමක් ඇති වී තිබෙන බව මලල ක්‍රීඩා ආරංචි මාර්ග පෙන්වා දෙයි.මේ තත්ත්වය මත මේ වන සිටින යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස එම තනතුරේ ගෞරවය ද සුරක්ෂිත වන පරිදි සභාපති ධුරය දිනා ගැනීම දයා රත්නායකයන්ට අත්‍යවශ්‍යයම කාරණයක් වන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග ඇතැම් විට ඡන්දයෙන් පරාජය වන්නට සිදු වුවහොත් එය හමුදාවේ කීර්තියට ද ගැටළුකාරී තත්ත්වයක් වනු ඇති බව ද එම ආරංචි වැඩි දුරටත් පෙන්වා දෙයි.
මේ අතර ඔවුන් දෙදෙනා මෙන්ම ඒ සමග ගැවසෙන අනෙකුත් අපේක්ෂකයන්ගේද ඡන්ද සටන මෙහෙය වීමේ වගකීම භාර ගත් පිරිසක් ද සිටින අතර එම පිරිස් එම අපේක්ෂකයන්ගේ මුදලින් විවිධ සාද - උත්සව අවස්ථා සංවිධානය කරමින් ඔවුන් බලයට රැගෙන විත් සිය න්‍යාය පත්‍ර මෙහෙයවීමට අවශ්‍යය පදනම සාක්ෂාත් කර ගන්නට සූදානම් වෙති.දැනටමත් මේ සංවිධායකයන් එකිනෙකා අතර ගැටළු මතු කරමින් සිය අවශ්‍යයතාවයන් ඉටු කර ගැනීමට හැකි පරිසරය සකසා ගෙන සිටින බව දැකිය හැකි බව පෙන්වා දෙන ආරංචි මාර්ග මේ තත්ත්වය නිසා ඇතැම් පිරිස් මෙම මලල ක්‍රීඩා නිලවරණ සමය සිගාලයන්ගේ රාජයෝගය ලෙස හැදින්වීමට සූදානම් වන බවක් පෙනෙන්නට ඇත.
www.supirikrida.com

No comments: