Dec 28, 2013

චන්දිමාල් සහ මෙණ්ඩිස් පරජයේ අවමානය කෙටි කර දෙති

Kusal Perera and Tillakaratne Dilshan put on 75 for the first wicket
ජයග්‍රහණය සදහා හේතු වූ ශක්තිමත් ඇරඹුම
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති එක්දින තරග 5 ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නොසැළකිල්ල හේතුවෙන් 4 - 1 ක් ලෙස ජය ගැනීමට පකිස්තානයට උදා වූ අවස්ථාව වැළක් වූ දිනේෂ් චන්දිමාල් ගේ ඉවසිලිවන්ත පිතිහරඹය සහ අජන්ත මෙණ්ඩිස් ගේ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරාජය 3 - 2 ක් ලෙස අවම කර ගන්නට හැකි විය.කාසියේ වාසිය ලැබූ පකිස්තානු නායක මිස්බා උල් හක් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මීට ප්‍රථම තරග වලට වඩා විශ්වාසයෙන් යුතුව පන්දු යැවූ සහ පන්දු රැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පකිස්තානු ප්‍රහාරය පන්දු ඕවර් 49.3 දී ලකුණු 232 ට සීමා කරන්නට හැකි වූ අතර එම ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 49.4 දී කඩුලු 8 ක් පමණක් දැවී ඉක්මවා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු දෙකක ජයක් ලැබූහ.
පකිස්තානය වෙනුවෙන් යළිත් ලකුණු අතරට පැමිණි මොහොමඩ් හෆීස් ලකුණු 41 ක් ලැබූ අතර ප්‍රහාරාත්මක ඉණිමක් ක්‍රීඩා කළ අන්වර් අලී නොදැවී ලකුණු 41 ක් රැස් කළේ පන්දු 38 ක් පමණක් වැය කරමින්ය.වැඩිම ලකුණු ලාභියා වූ නායක මිස්බා උල්හක් ලකුණු 51 ක් රැස් කළ අතර පන්දු යැවීමෙන් ලකුණු 57 ට ලසිත් මාලිංග කඩුලු 4 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් කඩුලු 3 ක් ලබා ගැනීම සදහා ලබා දුන් ලකුණු සංඛ්‍යාව 42 කි.නායක ඇන්ජලෝ මැතිව්ස් සිය පන්දු ඕවර් 10 පකිස්තානු පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම අතිශයින් දුෂ්කර කාර්යයක් කරමින් අවසන් කළේ ලකුණු 26 ක් ලබා දෙමින් එක් කඩුල්ලක්ද කබා ගනිමින්ය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉතා හොද ආරම්භයක් ලබා ගත් අතර කුසල් ජනිත් (47) සහ ඩිල්ෂාන් (45) පන්දු ඕවර් 12.2 ක් තුළ ලකුණු 75 ක සබදතාවයක් පැවත්වීමට සමත් වූහ.නමුත් ඉන් අනතුරුව කිසිවෙක් සාර්ථක වන බවක් නොපෙණුන අතර තරගය ක්‍රමයෙන් පකිස්තානයේ ග්‍රහණයට නතු වෙද්දී දිනේෂ් චන්දිමාල් හුදෙකලා අරගලයක නියැලිණ.නමුත් ලකුණු 195 ක් ව තිබියදී පිටියට පිවිස නව වන කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සමග නොදැවුණු ලකුණු 40 ක සබදතාවයක් පැවත් වූ අජන්ත මෙණ්ඩිස් නොදැවී ලකුණු 19 ක් ලැබුවේ පන්දු 14 ක් තුළයි.චන්දිමාල් එක් හතරේ පහරක් සහ හයේ පහරක් පමණක් වැය කළද නොදැවී එක් කළ ලකුණු 64 වෙනුවෙන් අනවශ්‍යය ලෙස පන්දු වැය කිරීමක් නොකළ අතර ඔහු හොදින් ස්ථාන ගත කරමින් ලබා ගත් කෙටි ලකුණු හේතුවෙන් ලකුණු 64 සදහා වැය වුණේ පන්දු 70 ක් පමණි.
ශ්‍රී ලංකාවට තරගාවලියේ සිව්වන පරාජයත් ලබා දෙන්නට උත්සාහ ගත පකිස්තානු පන්දු යවන්නන් අතරින් ප්‍රබලම පීඩනය එල්ල කළ ජුනයිඩ් ඛාන් 31 කඩුලු 3 ක් දවා ගත් අතර සයීඩ් අජ්මාල් ලකුණු 42 ට කඩුලු 2 ක් ලබා ගත්තේය.තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් තිබූ ජයක් නැවත ඒ දෙසට හැරවීම සදහා ප්‍රශස්ත පිතිකරණයක යෙදි දිනේෂ් චන්දිමාල් නම් කළ අතර තරගාවලියේ වීරයා වූ මොහොමඩ් හෆීස් ය.
තරගාවලියේ ලකුණු විස්තරයට පහත සබදතාවය මත තෙරපීමෙන් ප්‍රවේශ විය හැකිය.
http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/current/match/657645.html

www.supirikrida.com

Dec 16, 2013

සුක්කානම යළිත් තිලකාට?


ශ්‍රී ලංකා දැල් පන්දුවේ වත්මන් කඩා වැටීමට හේතු දක්වද්දී එයට තිලකා ජිනදාස පුහුණුකාරීත්වයෙන් ඉවත් කිරීම ද හේතු වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවා කලෙක සිට පවසන කතාවක් වුව ද,කිසිදු බලධාරීත්වයක් එය නිවැරදි කිරීමට ඉදිරිපත් වූයේ නැත.ඒ නිසාම ශ්‍රී ලංකාව ලෝකයේ පමණක් නොව ආසියාවේද තමන්ට හිමි තත්ත්වයෙන් පහත වැටී සිටින අතර මේ කඩා වැටීම නැවත්වීම සදහා යළිත් තිලකා ජිනදාසගේ සේවයේ අවශ්‍යයතාවය දැණුනද,බොහෝ දැල්පන්දු නෝනලා තිලකා ඉවත් කිරීම සදහා තමන් දායකවීම පිළිබද ආත්මීය වශයෙන් ඇති වූ තුවාලය නැවත පාරා ගනිමින් තිලකා දෙස සෘජුව බැලිය නොහැකි ආකාරයේ ආත්මීය ලැජ්ජාවකින් දුක් විදිමින් සිටිති.
ඒ නිසාම තිලකා කැදවීම පසෙක ලා,ඔවුන් ජාතික පුහුණුකාරියට අයදුම්පත් කැදවීමට තීරණය කර තිබෙන අතර සුපිරික්‍රීඩා කරන ලද විමසීමකදී තිලකා කියා සිටියේ තමන් ද එම තනතුරට ඉල්ලුම් කරන බවය.මම සිංගප්පුරුවෙදි දැක්කා අපේ තත්ත්වය ගැන.ඒ ළමයි අදක්ෂයි කියලා කියන්න බැහැ.
ඒත් දක්ෂතාවය කියන්නෙ සාපේක්ෂ දෙයක්.ඒ නිසා අපි සෙස්සන්ට වඩා දක්ෂ වෙන්න ඕනි කොහොමද කියන එක ඒ දරුවන්ට කියා දෙන්න ඕනි.ඒ තත්ත්වයට ඒ දරුවො පත් කරන්න ඕනි.මට පුහුණුකාර තනතුර ලැබුණොත් ඒ සදහා ක්‍රියාත්මක කරන්න නියමිත මගේ සැළසුම් සදහා ලැබෙන පහසුකම් අනුවත් ප්‍රතිපලයේ ප්‍රමාණය තීරණය වේවි. තිලකා එසේ පවසන්නේ වුව ඇය තවමත් ඉල්ලුම්කාරියක් පමණි.ඇතැම් විට සම්මුඛ පරීක්ෂණයේදී තිලකාගේ ප්‍රවීන්තවයට ලකුණු නොලැබී වෙනත් අපෙක්ෂිකාවන් සදහා ලකුණු ලැබෙනාකාරයට සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ලැබෙනාකාරය සකස් කළ ජ්‍යෙෂ්ඨයන්ද තවමත් දැල් පන්දුවේ සිටින බැවින් තිලකා ට සම්මුඛ පරීක්ෂනයට මුහුණදීම පහසු නොවනු ඇත.
කෙසේ නමුත් ජ්‍යෙෂ්ට පුහුණුකාරියන් කිහිප දෙනෙක්ම තිලකාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව දැන ගන්නට ඇති අතර එසේ වන්නේනම් සහය පුහුණුකාරිණී තනතුර සදහා වන තරගය වඩා උණුසුම් වනු ඇත.
දැල් පන්දු සම්මේලනය පවසනාකාරයට සිය සුදුසුකම් සහිතව ඉල්ලුම් පත්‍රය සකස් කර දෙසැම්බර් 31 ට පෙර ජාතික සහ ජාතික සහය පුහුණුකාරී තනතුර සදහා ඉල්ලුම්පත් ලබා දිය යුතු අතර ශ්‍යාමා කුරේ (0714 186 521) හෝ සුධර්මා ජයවර්ධන (0718 227 646) ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට අවස්ථාව සළසා ඇත.
www.supirikrida.com

Dec 14, 2013

ලංකාව තැන රැක ගනියි

Kusal Perera celebrates his half-centuryඩුබායි හී ක්‍රියාත්මක පකිස්තාන - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දෙවන 20 / 20 තරගය ලකුණු 24 කින් ජය ගත් ශ්‍රී ලංකාව තව දුරටත් ජගත් 20/20 පිටියේ අංක ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.ඒ අනුව තරග දෙකකින් යුත් තරගාවලියේ තීරණය 1 - 1 ක් බවට පත් වුණා.පළමු තරගයේදී මෙන්ම කාසියේ වාසිය ලත් මොහොමඩ් හ‍ෆීස් පළමුව සිය කණ්ඩායම පන්දු රැකීමට පිටියට රැගෙන ආ යුතු බව තීරණය කළා.නමුත් පළමු තරගයේ මෙන් අසාර්ථක නොවුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පකිස්තානය කර කියා ගත නොහැකි තත්ත්වයට පත් කළා. 


කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට එකතු කළ ලකුණු සම්බන්ධය ලකුණු 100 ක් වූ අතර 12 වන ඕවරයේ අවසාන පන්දුවට ඩිල්ෂාන් දැවී යන විට ඔහු ඉදිරියේ පන්දු 33 කින් ගලා ආ ලකුණු 48 ක් සදහන්ව තිබුණා.කුසල් දුවද්දී දැවී ගියේ තරගයේ අවසාන පන්දුවට වූ අතර ඒ වන විට ඔහුගේ ලකුණු ලබා ගැනීම පන්දු 59 කින් ලැබුණු ලකුණු 84 ක් ලෙස සදහන් වුණා.සිය පළමු 20/20 තරගයේදීම පිතිකරු නාමාවලියේ උසස්වීමක් ලැබූ සීකුගේ ප්‍රසන්න පන්දු 8 ට මුහුණ දී ලකුණු 21 ක් ලබා ගත්තා.ඩිල්ෂාන්ගේ ඉවත්ව යාමෙන් පසු පිටියට එක් වූ සංගක්කාර,කුසල් සමග එක් ව වඩාත් පහසුවෙන් පහර දෙන්නට වුණා.14 වන ඕවරයේ අවසාන පන්දුවේදි ඇරඹි මෙම සබදතාවය අවසාන ඹ්වරයේ අවසාන පන්දුවට පැමිණෙද්දී පන්දු ඹ්වර් 5.1 ක් තුළ ලකුණු 78 ක් එක් කර තිබුණා.ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ සංගක්කාර පන්දු 21 තුළ ලකුණු 44 ක් ලබා නොදැවී සිටියා.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානය වෙනුවෙන් වගකීම උර මතට ගත් ආරම්භක පිතිකරු ෂාර්ජිල් ඛාන් පන්දු 25 ක් තුළ ලකුණු 50 ක් රැස් කළ අතර  සහීඩ් අෆ්රිඩී පන්දු 13 දී ලකුණු 28 ක් ද,සොහේල් තන්වීර් පන්දු 26 දී ලකුණු 41 ක් ද ලබා ඛාන් ගේ උත්සාහය යහපත් ප්‍රතිපලයක් බවට පත් කරන්නට උත්සාහ දැරුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ රකින්නන් ඔවුන් පන්දු ඹ්වර් 19.2 දී ලකුණු 187 ට සීමා කළා.අපූරු ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකා ඉණිම පුරාම ජීව ගුණය රැද වූ කුසල් ජනිත් පෙරේරා තරගයේ වීරයා බවට පත් වෙද්දී පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත් සහීඩ් අෆ්රිඩී තරග දෙකේම දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කළා.
http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/match/657635.html සබදතාවය හරහා තරගයේ නිල ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.

Dec 13, 2013

ඇමතිගේ හුළං ගෙන දන්දෙණිය විහිළු පුම්බයි

සුරාජ් දන්දෙණිය වර්ථමානයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා වෙයි.ඒ සභාපතිකම ඔහුට ලැබුණේ ඔහු ක්‍රීඩා කර තිබුණු නිසා නොවන අතර ක්‍රීඩා ඇමතිවරයාගේ ආශිර්වාදය ඇතිවය.                    
Our players need to give first priority to badminton from the time they are at the junior level but with the O’ Level and A’ Level exams they can’t do that. If you look at players from China, India and Malaysia they are playing six hours of badminton at a professional level. Sri Lankan players are focused only on playing the National and Junior National championships. Foreign competitions are just like tours for them. - Suraj Dandeniya (Sri Lanka Badminton  Association President)එහිදී ද ගැටළු පැන නැගිණ.අමාත්‍යවරයාගේ ආශිර්වාදය තිබුණාට ඔහුට එදිරිව ආ කණ්ඩායමක්ද විය.එහි ජාතික සූරයෝ පමණක් නොව ජගත් තලයෙන් රටට කීර්තිය ගෙනාවෝද වූහ.නමුත් ක්‍රීඩා පණතේ යම් යම් වගන්ති සිය අභිමතය පරිදි අර්ථ ගන්වා ගත් දන්දෙණියවාදි බවට පත්ව සිටි හිටපු පරිපාලනය එම නාම යෝජනා පවා ප්‍රතික්ෂේප කරමින්  දන්දෙනිය එදිරිවාදීන් ඉදිරිපත් වීම පවා වළක්වන්නට උත්සාහ දැරූ අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මර නින්දේ පසු වීම හේතුවෙන් මේ වන විට ප්‍රශ්නය ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය දක්වා ගොස් මේ වන විට එම සංගමය ප්‍රශ්නය පිළිබදව සොයා බැලීමට අනු කමිටුවක් ද පත් කර අවසන්ය.
ඒ ආකාරයට ක්‍රීඩා පරිපාලනයට සම්ප්‍රාප්ත දන්දෙණිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඔලිම්පික් කමිටුවේ බලය වෙනස් කිරීමේ උවමනාව නියෝජනය කරන පිළේ භාණ්ඩාගාරිකවරයා ද වන්නේය.නමුත් අපේ සෙල්ලම් අපිට ඕන විදිහට තියෙන්න ඕනි කියල හිතන්නට යාමේ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩාවටද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තර්ජනාංගුලිය එසැවීමෙන් පසුව ඔලිම්පික් නිලවරණය ක්‍රීඩා පණතේ සංශෝධනයෙන් ඉක්බිති පැවත්වීමට ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දු වීමට අමාත්‍යවරයාට සිදු විය.එසේ නොවන්නේනම් වන්නේ ජාත්‍යන්තර වශයෙන් රටේ ක්‍රීඩාව තහනමකට ලක් වූ පසු ජාතික ධනය ද ඉතිරි කර ගෙන දන්දෙණිය වැනි චරිත කිහිපයක් අල්ලාගෙන දාම් ඇදීම,චක්ගුඩු,තාච්චි වැනි ක්‍රීඩා කිහිපයක් කර ගෙන අපේ කම ගැන මෝඩ ආස්වාදයක් ලබන්නටය.අවශ්‍යයනම් වෙලේ ගොයම් කැපූ කාලයට සම්බෝල කැඩීම වැනි ක්‍රීඩාවක් විශාල ඉඩකඩක පවත්වමින් ජාතික තරගාවලියක් පවත්වන්නට වුව කම් නැත.එහි නීති සැකසීමට ද ඊටම ගැලපෙන නීතිඥයෙක් මේ වන විටත් අමාත්‍යවරයාට සිටින නිසා ගැටළුවක් ඇති නොවනු ඇත.
කෙසේ හෝ අහම්බෙන් ඇමති අත්සනින් ක්‍රීඩා පරිපාලකයෙක් වන දන්දෙණිය මේ වන විට කාටත් හොරෙන් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා පරිපාලකයෙක්ට අදින්නට පටන් ගෙන ඇත.මේ ආකාරයට සිංහ හම් පොරවා ගත්තද කෑ ගසන විට හූ හඩ නැගෙන නිසා සතා හදුනා ගන්නට අපහසු නැත.එසේ දන්දෙණියගේ හූ හඩ මෙන්ම හූ හඩ දී සිනාසෙන්නට සිතෙන අන්දමේ ගොං පාට් තොග පිටින් එළියට දැමීමක් මේ කාලයේ දන්දෙණිය විසින් කර ගෙන යන්නේය.
පළමු වැන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලියන ලිපිය ය.ඒ ලිපියේ එක් තැනෙක ඔහු සදහන් කරන්නේ ඔහු ද හේමසිරි ප්‍රනාන්දු හා සම බවක්ය.ඇමති අත්සනෙන් සභාපති පුටුවකට එන දන්දෙණිය ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ඇගයීම් ලද ක්‍රීඩකයෙක්ව සිට ක්‍රීඩා පරිපාලනයට පිවිසි හේමසිරි හා සම වන්නේ කෙසේද?පරිපාලන නිලධාරියෙක් සිට මේ රටේ මුදල් ගැවසෙන ආයතන කිහිපයකම ප්‍රධානියාව සිටි හේමසිරිට මුල්‍ය චෝදනා නැත.සුරාජ්  එසේද යන්න ලෝක කුසලාන ක්‍රිකට් වල දැමූ සෙල්ලම් වල සිටම අපි දන්නෙමු.වර්ථමානයේද තැපැල් අමාත්‍යංශයේ ලේකම් ධූරය දරන හේමසිරි ප්‍රනාන්දු හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ය.වර්ථමාන ලේකම් පදවියට පත්වෙන තෙක් හේමසිරි,ජනාධිපතිවරයගේ ක්‍රීඩා සම්බන්ධ උපදේශකය.මේ හා කුමන සමානකමක් සුරාජ් සතුව ඇද්දැයි සිතන විට සුරාජ් හේමසිරිට වචනයකින් සමානකමක් ඇතැයි පැවසීම හේමසිරිට කරන අගෞරවයක් මෙන්ම සාමාන්‍යයෙන් දෙදෙනා ගැනම දන්නා අයෙක්ටනම් එය හොදින් සිනා සිය හැකි විහිළුවක්ය.
එසේම පසුගිය දිනෙක දන්දෙණිය අපූරු කතාවක් ද කීවේය.ඒ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය කියා සංගමයක් තිබෙන බව ඔහු නොදන්නා බවය.වසර 40 ක් පැරණි සංගමයක් එසේ නොදන්නවා කියන දන්දෙනිය බස්නාහිර පළාතේම පදිංචිව සිටින්නෙකු වීම මෙන්ම ඔහු සභාපතිත්වය දරණ සංගමයේ නිල වෙබ් අඩවියේ එම තරගාවලිය පිළිබදව සදහන්ව තිබීමත් ඔහු නොදැන සිටීම විහිළුවක් නොවන්නේනම් එය අනුකම්පාවට කාරණයක්ය.නමුත් දන්දෙණියගේ එම විහිළුවට පිළිතුරු දෙන බස්නාහිර සභාපතිවරයා ඔහුට බස්නාහිර පළාතේ පදිංචිකරුවෙක් ලෙස සිය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට ආරාධනා කර සිටින්නේ ය.එය දන්දෙණිය ලැජ්ජාවට පත් කරන්නට කරන යෝජනාවක්නම් දන්දෙණිය මේ තාක් කල් කළ කී දේ සිතන විට ඔහුට ලැජ්ජාවක් තිබෙන බව සිතීමත් විහිළුවක් පමණක් බව බස්නාහිර සභාපතිවරයා නොදැන සිටීම කණගාටුදායකය.
මේ සියල්ලට හේතුව ක්‍රීඩා ඇමතිවරයා තිරිංග නොමැති වාහනයක් බවට පත්වීමය.ඔහු අමාත්‍යධූරයට පත් වූ පසු පරිපාලන තිරිංග සියල්ල බුරුල් කර ගත්තේ එය වේගයෙන් සිය ගමණ යාමට පහසුවක් වේ යැයි සිතා නමුත් දැන් එම වේගය මරු කැදවන තත්ත්වයට පත්ව ඇත.වේදනාව ඒ වරදින් මරණාසන්නව ඇත්තේ ක්‍රීඩාව වීමය.ඔහු ක්‍රීඩා අමාත්‍යංශයේ මෙන්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේද පුටු වලට සිය හිතවතුන් කැදවා ගෙන ආවේ වැඩේ පහසු කර ගන්නටය.ඒ සියල්ලෝ මහින්දානන්ද සරණං ගච්චාමි වූ බැවින් කිසිවෙක් කිසිවකට විරුද්ධ නොවිණ.ඇතැමෙක් ඇමතිකම සිය තනතුරට ඈදා හිසට තබා රැස් වළලුද පැළද ගෙන වහසිබස් දොඩන තත්ත්වයට පත් වූවෝය.
අපට ක්‍රීඩා ඇමතිවරයාගේ පෞද්ගලික ජීවිත ප්‍රශ්නනම් අදාළ නැත.ඒ සදාචාරය පවත්වාගෙන යාමේ සීමා ඔහුට අයත් කාර්යයක්ය.නමුත් ඔහු රටේ ක්‍රීඩාවට කරන හානිය මෙන්ම ඔහු ගේ පෞද්ගලික ජීවිතයේ බිද වැටීම් පදනම් කරමින් මතු වෙන අයථා මුදල් ඉපැයීම් පිළිබද වාර්තා නම් රටට සහ ජනතාවට බලපාන බැවින් එය ඔහුගේ බිත්ති හතරට අදාළ කාරනාවක් ලෙස සිතා බැහැර කිරීමට නොහැකිය.මේ සියල්ල තුළ පැහැදිළි වන්නේ ඔහු කුමන හෝ අඩුවක් වසා ගන්නට උත්සාහ දරණ බවය.ආර්ථික වශයෙන් සිදුවන වැරදි ගණු-දෙණු පිළිබද වාර්ථා මෙන්ම ඔහු ක්‍රීඩාවේ පුද්ගලයන් ළංකර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම සළකා බලද්දී ද මේ බව තහවුරු කර ගැනීමට හැකිය.
ඔහු හේමසිරි වැනි චරිත ප්‍රතික්ෂේප කරන්නේය.ආසියානු දැල්පන්දු තරගාවලිය මොහොතේ සිය දරුවාගේ අධ්‍යාපනික කටයුතු ද නවත්වා සිය සැමියාගේ පාසල් සගයෙක් ලෙස අමාත්‍යවරයාගේ ඉල්ලීමට දැල්පන්දු අතුරු කමිටුවේ මුල් පුටුව භාර ගත් තමාරා ධර්මකීර්ති වෙනුවෙන් දක්වන සැළකිල්ලද මීට හොද උදාහරණය.බැංකු කේෂ්ත්‍රයේ පිළිගත චරිතයක් වන තමාරාට එසේ සළකන අමාත්‍යවරයා විදේශ රැකියා ඒජන්තවරයෙක් ලෙස මෙන්ම ලෝක කුසලාන තරගාවලියේද පළුදු ඇති කර ගත් නමක් ඇති සුරාජ් දන්දෙණිය සමීප හිතවතෙක් බවට පත් කර ගන්නේය.
ක්‍රීඩාවේදී මුළු ලෝකයම ක්‍රියාත්මක වන්නේ එක නිතියක් යටතේය.වොලිබෝල් පිටියේ දිග පළල රටින් රටට වෙනස් නොවන අයුරින්ම ඒ ක්‍රීඩාවල පරිපාලන ව්‍යහුය ද රටින් රටට වෙනස් වීමට ඉඩ නැත.අපි නිතැතින් ලෝක සම්මේලනවල සාමාජිකයන් ලෙස එම නීති-රීතින්ට යටත්ව කටයුතු කළ යුතුය.ඒ බව නොදැන කටයුතු කිරීම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් අපිට නොයෙකුත් බාධා එල්ල විය.මේ බව දැන දැනම අපි යළිත් අපි ජාත්‍යන්තරය සමග ඔට්ටු කරන්නට යාම භයානකය.ලෝකය ඉදිරියේ හුදෙකලා වී මේ ගමන යා නොහැකි බව කියා දෙන්නට හැකි අයෙක් ක්‍රීඩා අමාත්‍යවරයා සමීපයේ නොමැති වීම ඛේදයකි.ඒ වෙනුවට අමාත්‍යවරයාගේ සමීපකම පමණක් ඇතිව මුල් පුටුවලට පැමිණ තිබෙන සුරාජ් වැන්නන් ක්‍රීඩාවේ තාක්ෂණය සහ ජාත්‍යන්තර හැසිරීම් සහ පිළිවෙත් නොදැන අමාත්‍යවරයා චූන් කරමින් සිටියි.මේ නිසා එවැනි දර්ශණවලින් පිරුණු කොමඩියක් බවට පත් කර ඇත.එහෙත මේ කොමඩියේ නිමාව සටහන් කරනු ඇත්තේ දුංඛාන්තයකින්ය.ඒ නිසා පිටපත වෙනස් කිරීමට අවශ්‍යය වන්නේය.එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අධ්‍යක්ෂවරයා ලෙස මෙහි චරිත මාරු කර ඒවාට සුදුසු පුද්ගලයන් රංගනයට යොදන්නට අප්‍රමාදව ක්‍රියා කළ යුතුය.එසේ නොවුණොත් අනුන්ට දිග් කරන ඇගිළි හකුලාගෙන සැබෑ බොල් පිලිම දැක ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ඔහු කියන දේ ක්‍රීඩාව විය යුතු බව සිතන සම්ප්‍රදායික දේශපාලන ඇම්බැට්ටයන් ලෙස ක්‍රියා කරන ඔහු ඇතුළු සියළු නිලධාරීන්ට තමන්ගේ නිවසේ ඇති කැඩපතේ උදව් ලබා ගැනීමට හැකිය.
www.supirikrida.com

ලංකාවෙ එකට තට්ටු කරන්නට පකිස්තානය උත්සාහ දරයි

Shahid Afridi after hitting the winning six for Pakistanඩුබායි හී පැවත්වෙන ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති පළමු 20/20 තරගය සහීඩ් අෆ්රිඩී විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් පකිස්තානයට ජය ගැනීමට හැකි වූ නිසා 20/20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව සිව්වන ස්ථානයේ සිටි පකිස්තානය නවතම ශ්‍රේණිගත කිරීම් වලදී පියවරක් ඉදිරියට පැමිණ අංක 3 ස්ථානයට උසස් විය.අද දෙවන තරගයද පකිස්තානය ජය ගතහොත් දැනට අංක එකට සිටින ශ්‍රී ලංකාවට එම ස්ථානය අහිමි වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදුවන අතර පකිස්තානයට අංක එක සදහා ප්‍රවේශ විය හැකි මාර්ගය සකස් වෙනවා ඇත.
පැවති පළමු 20/20 තරගයේදී  කාසියේ වාසිය ලැබූ පකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ට ලකුණු 145 ක් ලබා ගන්නට සමත් විය.මෑත කාලයේ දිගින් දිගටම සාර්ථක වූ ඩිල්ෂාන් ලකුණු 7 ට දැවී ගිය අතර,14 වන පන්දු ඕවරයේ සිව්වන කඩුල්ල ලෙස සංගක්කාර දැවී යන විට ලකුණු පූවරුවේ සටහන් වූයේ ලකුණු 84 ක් පමණි.අනතුරුව පිටියේ එක් වූ මැතිව්ස් සහ තිරිමාන්න දෙදෙනා පස්වන කඩුල්ලට ලකුණු 58 ක් පන්දු 34 ක් තුළ එක් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 50 ක් රැස් කරන්නට යෙදිණ.
පිලිතුරු ඉණිමට පිවිසි පකිස්තානය වෙනුවෙන් දෙවන කඩුල්ලට නායක මොහොමඩ් හෆීස් සහ ෂාර්ජීල් ඛාන් එක්ව ලකුණු 57 ක සබදතාවයක් පැවත් වුව ද,15 වන ඕවරයේදී පකිස්තානයට පස්වන කඩුල්ලත් අහිමිව ගොස් තිබිණ.අනතුරුව පිටියට පිවිසි සහීඩ් අෆ්රිඩී සුපුරුදු අනුකම්පා විරහිත ප්‍රහාරයට පිවිසෙමින් නියමිත පන්දු ඕවර් 20 නිමා වීමට තවත් පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය පකිස්තානය ගෙන දුන්නේය.අ‍ේරිඩී පන්දු 20 කින් ලකුණු 39 ක් උදුරා ගෙන තිබුණේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගය.ඒ නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමි විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසය හැකි සබදතාවයය. http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/match/657633.html
www.supirikrida.com

Dec 11, 2013

අංක එක සහ අංක හතර ගැටෙති

Pak vs Sri Lank Series 2013ඩුබායි හී පැවත්වෙන ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් අද එම තරගාවලියට අදාළ ප්‍රථම 20/20 තරගය පැවත්වීමට නියමිතය.වර්තමානයේ ලොව 20/20 ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් වල දී අංක එකට සිටින කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව වන අතර අංක හතරට සිටින කණ්ඩායම පකිස්තානය ය.නිරන්තරයෙන්ම හොද සටනක් පවතින තරග බවට පත් වෙන ශ්‍රී ලංකා පකිස්තාන තරග ඉතිහාසය අනුව යමින් ශ්‍රී ලංකාවේ අංන එකේ ගෞරවයට හානි කරන්නට පකිස්තානය උත්සාහ දරනාකාරයෙන්ම ශ්‍රී ලංකාවද සිය තත්ත්වය රැක ගැනීමට උපරිමය කරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් බහුල මහේල ජයවර්ධනගේ සහය මෙම තරගාවලියේදී නොලැබෙන අතර නමුත් පසුගිය තරග වලදී ඉදිරියට පැමිණි තරුණ ක්‍රීඩකයන් අතර සිටින කුසල් ජනිත් කල්පනාකාරී වුවහොත් එය එතරම්ම ගැටළුවක් නොවනු ඇත.කල්පනාකාරීත්වය මෙන්ම වේගය මනාව පාලනය කර ගනිමින් සිටින ඩිල්ෂාන් මෙම තරගාවලියේදි කෙතරම් දුරට සාර්ථක වේද යන්න ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකයක් වනු ඇති අතර කුමාර සංගක්කාරගේ දායකත්වය අතිශයින් වැදගත් වනු ඇත.ලසිත් මාලිංග මෙන්ම නිවන් කුලසේකර ද පන්දු යැවීමේ අංශයේදී වැදගත් භූමිකාවන් නිරූපනය කරනු ඇති අතර,සිය පළමු 20/20 තරගයේදී සාර්ථක වූ රමිත් රඹුක්වැල්ල අද ශරීර සෞඛ්‍ය මත තරග වැදීම හෝ නොවැදීම  සිදු කරනු ඇති අතර ඔහු තරගයට සහභාගි නොවන්නේනම් සීක්ගේ ප්‍රසන්න එම ඉඩ වසා දැමීමට හැකි යහපත් මට්ටක සිටින්නේය.
www.supirikrida.com

සූරතා ද්විත්වයම ඔටර්ස් සතු වේ

Displaying A DIVISION  MEN AND WOMAN  CHAMPIONS  AUTUS CLUB.JPGස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන්නට යෙදුණ 40 වැනි බස්නාහිර පළාත් කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ ඒ කොටසේ සූරතා ද්විත්වයම දිනා ගන්නට ඔටර්ස් කණ්ඩායම සමත් වුණා.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ පැවති මෙම තරගාවලිය ජාතික බැඩ්මින්ටන් සංගමයේ කෙණහිලිකම් මැද ඉතා සාර්ථකව නිමා කරන්නට එයට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ සහයෝගය ඉතා ඉහළ මට්ටමකින් පැවතුණා.
ජාතික බැඩ්මින්ටන් සංගමය සිය තරගාවලි කාල සටහනේ වසර මුල සිට ඇතුළත් කර තිබෙන මෙම තරගාවලිය සිය සංගමයට අදාළ තරගාවලියක් නොවන බව කියමින් ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට හේතුවක්.ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය ඇතිව පැමිණි  අයෙක් මිස ක්‍රීඩා කළ අයෙක් නොවන සුරාජ් දන්දෙණියට මෙවැනි ආකාරයට හැසිරෙන්නට ආශිර්වාද කරමින් ජාත්‍යන්තර ලේබල් ගසා ගත් පුද්ගලයන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් වන අතර ජනාධිපතිවරයා සිය රජය විවිධ පක්ෂවලට සම්බන්ධ පුද්ගලයන් ගැට ගසා ගෙන සියල්ලම දායක කරගෙන ඉදිරියට කැදවා ගෙන යන්නට වෙර දරන වටපිටාවක සුරාජ් දන්දෙණිය වැනි චරිත වලට මෙසේ හැසිරෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශයේ ආශිර්වාදය හිමි වීම රජයේ දේශපාලනික අනන්‍යතාවයද විනාශ කර දැමීමකි.
ක්‍රීඩා නොකළ පුද්ගලයෙක්ට ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරයේ හැගීම කියා දී ඔහුව ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් මෙහෙයවිය යුතු වුව ද,ක්‍රීඩාවට සම්බන්ධතා ඇති අය ද සිය පැවත්ම සදහා හේත්තු වී සභාපතිවරයාගේ ඔඩොක්කුවට වැටුණු සර්ප පැටව්න් සේ කටයුතු කිරීම ක්‍රීඩාවේ අවාසනාවක් වන අතර මාධ්‍ය කිහිපයකට ජාත්‍යන්තර චරිතයක් ලෙස පාරම්බාන තරගාවලි කමිටු සභාපතිවරයා බස්නාහිර පළාත් තරගාවලිය සිය සංගමයට අදාළ තරගාවලියක් බව ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර චරිතයක් ලෙස නොව අතිශයින් ප්‍රාථමික ග්‍රෝත්‍රික චරිතයක් ලෙස හැසිරෙමින්ය.
http://www.srilankabadminton.lk/pdf/Tournament_Calender_2013_SLBA.pdf නම් ජාතික බැඩිමින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියේ තරගාවලි කාල සටහන පැහැදිළිවම ඒ බව පෙන්වා දෙද්දී ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තා එසේ තරගාවලියක් නොමැති බව ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර නොව අතිශයින් ප්‍රාථමික විලි ලැජ්ජා නැති කම ප්‍රකට කිරීමක්ය.ජාතික තරගාවලියක් පැවත්වීමට නොහැකි තරමේ දුෂ්කරතා ඉදිරියේ බැඩ්මින්ටන් අසරණ තත්ත්වයට වැටෙන අවස්ථාවලත් බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සිය තරගාවලිය පවත්වාගෙන ගිය අතර 40 වන වරට එය සංවිධානය කිරීමට හැකි වන සේ වෙළද අනුග්‍රහ දිනා ගැනීමටද සමත් වී තිබිණ.FKC1 ශාකසාර ශක්තිජනක අතිරේක ආහාර නිෂ්පාදනායතනය ප්‍රධාන කොට මැලිබන් බිස්කට් සහ හමීඩියා හී අඩිඩාස් සම අනුග්‍රාහකත්වය දැරූ මෙම තරගාවලිය ක්‍රීඩාවට අවශ්‍යය තරගාවලියක් ලෙස හදුනා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය පවත්වා ගෙන යාම වෙනුවෙන් දැක් වූ සහයෝගය ඉතා ඉහළින් අගය කළ යුතුය.
සිය සහෝදර ක්‍රීඩකයන්ගේ තරග විනිශ්චය කිරීමට දායක වීම මෙන්ම කිසිදු පාක්ෂික බවකින් තොරව කටයුතු කිරීම මෙන්ම එකිනෙකා කෙරෙහි වූ අතිශය වැදගත් විශ්වාසයකින් සහ ක්‍රීඩකත්වයකින් තමන් සම්බන්ධයෙන් සහෝදර ක්‍රීඩකයන් ලබා දෙන තීරණ හිස නමා පිළිගැනීම පිළිබදව ද ක්‍රීඩකයන් නොමද ගෞරවයට ලක්විය යුතුය.බැඩ්මින්ටන් නිලධාරීන් වසර ගණනක් ජාතික තලයේ ක්‍රීඩකයන් නිර්මාණය කරන්නට දායක වු වැදගත්ම සහ දීර්ඝකාලීනව පවත්වා ගෙන ආ තරගාවලියක් පිළිබදව කටයුතු කිරීමේදී සිය කොන්ද බිද ගෙන නිවට නියාලුව ක්‍රියා කරද්දී,ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙසේ කටයුතු කිරීම ඉතා ඉහළින් අගය කළ යුතුය.
ක්‍රීඩා සංගම් 43 හරහා ක්‍රීඩක කණ්ඩායම් 50 ක් සහ ක්‍රීඩිකා කණ්ඩායම් 17 ක් තරගාවලිය නියෝජනය කළ අතර ක්‍රීඩක තරග කාණ්ඩ හතරක් යටතේ මෙන්ම ක්‍රීඩිකා තරග කාණ්ඩ දෙකක් ඔස්සේ ක්‍රියාත්මක විය.ජාතික මට්ටමෙන් වර්තමානයේ ඉදිරියෙන් සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම තරගාවලිය නියෝජනය කළ අතර පහත දැක්වෙන්නේ එම තරගාවලියේ නිල ප්‍රතිපල සටහනය.


Division                           Champions                          Runner Up                                            Results

Division D Men's         Royal College - Panadura        Carey College - Colombo                           3/1

Division C Women      Aponso Badminton Club 'B'     Mighty Shuttlers 'B'                                     2/0

Division C Mens          Millenium IT Sports Club         Suns of Victoria Sports Academy & Club    3/1

Division B Mens          Seylan Sports Club                   Bankhill Sports Club 'B'                              3/2

Division A Ladies         Otters Aquatic Club                 Sri Lanka Air Force                                    2/0

Division A Mens           Otters Aquatic Club                Bankhill Sports Club 'A'                              3/1
තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට FKC1 වෙනුවෙන් පෝෂනවේදී ජාවෙඩ් අබ්දුල්ලා, හමිඩියාස් ආයතනයේ අඩිඩාස් අලෙවි අධ්‍යක්ෂ හරූස් රසාද් සහ සීමාසිහති එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් ඇතුළු සම්භාවනීයන් පිරිසක් සහභාගි වූ අතර තරගාවලියේ මාධය අන්‍රග්‍රාහකත්වය සීමාසිහත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ සුපිරික්‍රීඩා වෙබ් අඩවිය විසින් දරන්නට යෙදිණ
www.supirikrida.com