Feb 5, 2013

ඉතිහාසයේ ප්‍රථමවරට ජාතික ක්‍රීඩා උළෙලේ පහස උතුරට

මේ වසරේ පැවත්වෙන 39 වන ජාතික ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග යාපනයේ පැවත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර 1972 ඇරඹි ජාතික ක්‍රීඩා උළෙලක ඉසව්වක් යාපනයේ පැවත්වෙන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වීමට නියමිතය. එසේම 1972 වසරේ ඇරඹි ජාතික ක්‍රීඩා උළෙලේ පස් වැන්න ත්‍රීකුණාමලයේ මැක්හෙයිසර් ක්‍රීඩා පිටියේදී පවත්වා ඇති අතර ඉන් අනතුරුව ජාතික ක්‍රීඩා උළෙලක ප්‍රධාන ඉසව්වක් හෝ නැගෙනහිර පළාතේ පවත්වා නැති අතර මෙවර ක්‍රීඩා උළෙලේදී මඩකළපුවේදී ඉසව් කිහිපයක් පවත්වමින් එම අවස්ථාව නැගෙනහිර පළාතට උදා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව මෙවර ක්‍රීඩා උළෙලේ ජූඩෝ,මල්ලව පොර සහ මඩකළපුව ප්‍රසිද්ධියක් උසුලන පැසිපන්දු තරග මඩකළපුවේදී පැවත්වීමට තීරණය වී ඇත.
www.supirikrida.com

කණිෂ්ඨ කාන්තා පංච ප්‍රයාම ගෘහස්ථ ලෝක වාර්තාව අලුත් වෙයි

Belgium's Nafissatou Thiam at the 2012 IAAF World Junior Championships (Erik van Leeuwen)බෙල්ජියමේ නෆිස්සටෝව් තිහාම්  කාන්තා කණිෂ්ඨ පංච ප්‍රයාම ගෘහස්ත ලෝක වාර්තාව සිය නමට ලියා ගන්නට ඉකුත් ඉරිදා (පෙබරවාරි 03) මොනැකෝ හී දී සමත් වුණා.වසර 10 ක් ස්වීඩනයේ කැරොලිනා ක්ලෆ්ට් ගේ නමට තිබූ වාර්තාව මේ අනුව තිහාම් ට හිමි වන අතර 2002 දී කැරොලිනා විසින් ලකුණු 4535 ක් රැස් කර පිහිටුවා තිබූ එහි ලෝක වාර්තාව හිමි කර ගැනීම වෙනුවෙන් තිහාම් විසින් එකතු කර ගත් ලකුණු ප්‍රමාණය 4558 ක් වුණා.
එහිදී තිහාම් මීටර් 60 කඩුලු පැනීම තත්පර 8.65 කින් නිම කරමින් ද,උස පැනීම ඉසව්වේදී මීටර් 1.84 ක උසක් තරණය කරමින් ද,දුර පැනීමේදී මීටර් 6.30 ක දක්ෂතාවයක් පෙන්වමින් ද,යගුලිය මීටර් 14.00 ක් දුරය වීසි කරමින්ද දක්ෂතා දැක් වීමට සමත් වූ අතර මීටර් 800 ඉසව්වේදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2:21.18 ක් වුණා.
තිහාම් 2011 ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී සිව් වන ස්ථානයට පත් ව තිබෙන අතර ඇය එහිදී උස පැනීමේ ඉසව්වේ දී මීටර් 1.88 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වුණා.
www.supirikrida.com

නඩාල් යළි පිටියට

ATP World Tour 250 Tennis Tournament - Movistar Open - Vina del Mar, Chile ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාව සිටි රැෆායෙල් නඩාල් සත් මසකට පසු යළි ජාත්‍යන්තර ටෙනිස් පිටියට පා තබමින් චිලී දේශයේ Viña del Mar හී පැවත්වෙන ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියෙන් යළි පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.2012 ජූනී මස 28 දා අවසන් වරට ජාත්‍යන්තර ටෙනිස් පිටියේ පෙනී සිටි නඩාල් සත් මසක කාලයක් සිය ආබාධිත තත්ත්වයට ප්‍රතිකර්ම ලැබීමෙන් අනතුරුව පිටියට බසින මෙම තරගාවලිය ඔහු වඩාත් ඇළුම් කරන සහ දක්ෂකා දක්වන මැටි පිටියක පැවතීම නිසා නඩාල් ගේ පැමිණීම වඩා යහපත් ප්‍රතිපල සහිත එකක් කර ගැනීමට ඔහුට හැකි වනු ඇතැයි විචාරකයන්ගේ මතය වී තිබෙනවා.
සරල බව මෙන්ම අවිධිමත් බව ද විලාසිතාවක් බවට පෙරළා ගත් නඩාල් තුළින් දිස් වූ සාමාන්‍ය පෙණුම ඔහු ටෙනිස් ලෝකයේ වෙනම ප්‍රතිචාර සහ ආදරය දිනූ චරිතයක් බවට පත් කළ අතර ටෙනිස් සාමාන්‍ය ජනයා අතර ජනප්‍රිය ඉසව්වක් බවට පත් කිරීමට ඔහුගේ පෙණුම,හැසිරීම මෙන්ම සරල විලාසිතාවන් ද විශාල වශයෙන් හේතු වුණා.ඊයේ ( පෙබරවාරි 04) Viña del Mar තරගාවලිය පෙබරවාරි 10 දා අවසන් වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

Feb 4, 2013

කපුකොටුවගෙන් යළිත් දස්කම්

දැනට ඇමෙරිකාවේ පුහුණුවීම් සහ අධයාපන කටයුතු වල නියැලෙන ශ්‍රී ලංකා විවෘත සහ ගෘහස්ත යගුලිය,මිටිය සහ බර වීසි කිරීමේ ජාතික වාර්තාලාභියා වන චරිත් කපුකොටුව Chadron State-Nelson Physical Activity Center හී පැවති ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේදී බර වීසි කිරීමේ තරගයේදී ප්‍රථම ස්ථානයත් යගුලිය වීසි කිරීමේ තරගයේදී දෙවන ස්ථානයත් දිනා ගන්නට සමත් වුණා.
බර වීසි කිරීමේතරගයේදී මීටර් 17.43 ක දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනූ චරිත් මීටර් 16.03 ක දක්ෂතාවයක් යගුලිය වීසි කිරීමේ තරගයේදී ප්‍රදර්ශණය කරමින් එහි දෙවන ස්ථානය දිනා ගන්නට සමත් වුණා.
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ උපයා ගත් කීර්තිය දින දෙකකට සීමා කර ගනිති

ලෝක සූර එංගලන්ත ක්‍රීඩිකාවෝ පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ විශාලතම පෙරළිය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එයින් දින දෙකකට පසුව බටහිර ඉන්දීය ක්‍රීඩිකාවන් අතින් ලකුණු 209 ක අදහාගත නොහැකි පරාජයකට මුහුණ දුන්හ.ඉකුත් වසරේ ලොව විශිෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූ කොදෙව් ක්‍රීඩිකා ස්ටෙෆනී ටේලර් පන්දු 137 කින් නෙලා ගත් ලකුණු 171 නිසා කොදෙව් ඉණිම ලකුණු 368 දක්වා ඉහළ යාමෙන් ශ්‍රී ලංකාවට හඹා යාමට ඉතා අසීරු ඉලක්කයක් එල්ල වන්නේය.ටේලර් ගේ ආරම්භය තව දුරටත් ආලෝකමත් කරන ඩියෙන්ද්‍ර ඩොටින් පන්දු 22 කින් ලබන ලකුණු 50 ද ශ්‍රී ලංකාව දැඩි අසීරු ඉලක්කයකට යොමු කළේය
පන්දු ඕවරයට ලකුණු 7 ට වඩා ඉලක්කයක් තබා ගෙන පන්දුවට පහර දෙන්නට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය හමු‍වේ දැඩි අපහසුවකට  පත් වූ බවක් මුල සිටම නිරූපනය වන අතර එහි ප්‍රතිපලය ලෙස සියළුම ලාංකේය පිතිකාරිණියන් ස්ථාවර ඉණිමක් ගොඩ නගා ගන්නට නොහැකිව අසරණ බවක් පෙන්නුම් කළහ.පන්දු ඕවර් 40 දී ඒ නිසා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ඉණිම ලකුණු 159 ට සීමා විය.දින දෙකකට පෙර ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේම අවධානයට ලක් කළ ක්‍රීඩිකාවන් එය අහම්බයක් දෝ යන සැකය ජගත් ක්‍රිකට් ප්‍රජාව තුළ ඇති කරමින් ලකුණු 209 ක පරාජයක් අත් කර ගත්හ.
නමුත් මෙවර ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඓතිහාසික පියවරක් තව දුරටත් ඉදිරියට තැබීමට ඉඩ විවරව තිබෙන අතර ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ තරග වදින ඒ කාණ්ඩයේ සියළුම කණ්ඩායම් මේ වන විට එක තරගය බැගින් පමණක් ජය ගෙන තිබීම කිසා ශ්‍රී ලංකාවට ඉන්දියාවට එරෙහි තරගය ජය ගතහොත් අවසාන පූර්ව තරගයට පිවිසීමට තවමත් අවස්ථාව ඇත.
කෙසේ වුව ද ටේලර් වැනි සුප්‍රකට ක්‍රීඩකාවක් ලකුණු අතරට පැමිණීම නිසා ශ්‍රී ලංකාවට විදීන්නට වූ අන්ත පරාජය එංගලන්ත ජයෙන් පසුව ඇති කර ගත් අනුචිත සැහැල්ලුව නිසා අත් වූවක් දැයි සැක සිතෙන අතර ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගයේදී ජයග්‍රාහී මානසිකත්වය වෙනුවට 'ජයගත යුතුය' යන සටන්කාමී මානසිකත්වයට පිවිසීමට  ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහ කළ යුතුය.
ශ්‍රී ලංකා - කොදෙව් තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය ඔස්සේ පිවිසීමට හැකියාව ඇත.

http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/current/match/594898.html
www.supirikrida.com

අජන්තගේ වටිනාකම දහ හතර ගුණයකටත් වඩා ඉහළ යයි

යිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී අජන්ත මෙණ්ඩිස් ගේ  මූලික වටිනාකම ඩොලර් 50,000 ක් ලෙස සළකුණු කර තිබුණත්, පූනේ වොරියර්ස් කණ්ඩායම ඔහු මිළට ගත්තේ ඩොලර් 7,25,000 ට ය.එම වටිනා කම මෙවර ක්‍රීඩක වෙන්දේසියේ ගෙවන ලද දෙවන වැඩිම මුදල වන අතර වැඩිම මුදලක් ගෙවා මිළට ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ය.ඔහුට ගෙවා ඇති මුදල ඩොලර් ලක්ෂ 10 කි.ඔහුට දී තිබූ මූලික වටිනාකම වූයේ ඩොලර් ලක්ෂ 2 ක් වූ අතර ඒ අනුව මැක්ස්වෙල්ට සිය මූලික වටිනාකම මෙන් පස් ගුණයක් ගෙවා ඇත.වෙන්දේසියේ තෙවන වැඩිම මුදල වන ඩොලර් 6,75,000 හිමි වී ඇත්තේ තිසර පෙරේරා ට ය.
මෙවර විශාල පිරිසක් වෙන්දේසියේ දී අලෙවි වූයේ නැත.ඒ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝද වෙති.විශේශයෙන් කුසල් ජනිත් පෙරේරා,අකිල ධනංජය වැනි ක්‍රීඩකයන් ද මිළට ගන්නා විට දිනේෂ් චන්දිමාල්,රංගන හේරත් වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් වෙන්දේසියේදී මිළට ගෙන නැත.සියළු මිළදී ගැනීම් පිළිබද තොරතොරු පහත සබදතාවය පිරික්සීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
http://sports.ndtv.com/indian-premier-league-2013/auction
www.supirikrida.com

Feb 3, 2013

ක්‍රීඩා සංගම් පාර්ලිමේන්තුවෙන් වසා තැබේ

ක්‍රීඩා සංගම්වල සිටින විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු හෝ අමාත්‍යවරයෙකු රැගෙන විත් එම සංගම් වල මුල් පුටුවේ හිදුවා තබා තමන්ගේ අවශ්‍යයතාවයන් ඉටු කර ගැනීම සාමාන්‍යය සිදුවීමක්ව පවතින බව පසුගිය කාලයේ වූ සිදුවීම් වලින් පැහැදිළී කර ගන්නට හැකි වී ඇත.ඒ නිසා මෙවර නිලවරණයේදී පාර්ලිමේන්තු මංත්‍රීවරුනට හෝ අමාත්‍යවරුනට ක්‍රීඩා සංගම්වල නිලවරණ සදහා සහභාගි වීමට අවසර නොදීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
දැනට වොලිබෝල් මුල් පුටුවේ සිටින ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට පමණක් එම තනතුරේ රැදී සිටීමට වෙනත් කරුණු කිහිපයක් පදනම් කර ගෙන අවසර ලැබී ඇති බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග වෙනත් අමාත්‍යවරුනට හෝ මංත්‍රීවරුනට එම අවසරය ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබෙන බව  වැඩි දුරටත් පැහැදිළි කරයි.
www.supirikrida.com