Jan 2, 2013

ජූඩෝ 2014 සත්කාරකත්වය රුසියාවට



ජූඩෝ ලෝක සූරතාවලිය 2014 වර්ෂයේ පැවත්වීමේ සත්කාරකත්වය රුසියාව විසින් දිනා ගත්තා.ඒ අනුව රුසියාවේ චෙලියාබින්ස්ක් නම් වූ ආසියාව සහ යුරෝපය වෙන් කෙරෙන සීමාවේ වන නගරය 2014 දී ලෝක ජූඩෝ සූරතාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතයි.රටවල් 45 ක් නියෝජනය කරමින් 50,000 ක් පමණ තරගකරුවන් සහ තරගකාරියන් මේ තරගාවලිය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරති.
ලෝක ජූඩෝ සම්මේලනයේ සභාපති මාරියස් වීසර් (මැද),යුරෝපීය ජූඩෝ සම්මේලනයේ සභාපති සහ රුසියානු ජූඩෝ සම්මේලනයේ උප සභාපති සර්ගෙයි සොලොවෙයිචික් (දකුණ) සහ චෙලියාබින්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාර මිකායිල් යුරිවිච් අතර තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධ ගිවිසුම අත්සන් කළ අවස්ථාව ඡායාරෑපයේ දැක් වේ.
www.supirikrida.com

Jan 1, 2013

ග්‍රෙග්ට ශෝකය පළ කර ඕස්ට්‍රේලියානුවෝ කළු පටි පළදිති

ග්‍රේග් වෙනුවෙන් ශෝක වන පවුලේ හිතවතුන්
ටෝනි ග්‍රේග් කාලයක සිට ජීවත් වූ ප්‍රදේශය හැටියට ගැනෙන සිඩ්නි නුවර දී අනිද්දා ඇරඹෙන ශ්‍රී ලංකා ඕසට්‍රේලියා ටෙස්ට් තරගයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ අංශ කිහිපයකින්ම දැවැන්තයෙකු වූ සහ කාගේත් ගෞරවයට පාත්‍ර වූ මිනිසෙකු වූ ටෝනි ග්‍රේග් ගේ වියෝවට ශෝකය පළ කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එම ටෙස්ට් තරගයේදි කළු පටි පැළද ක්‍රීඩා කිරීමට තීර්‍රණය කර ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.එසේම තරගයට පෙරාතුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවත්වීමට කටයුතු සංවිධානය වී ඇත.
දකුණු අප්‍රිකාවේ උපත ලැබූ මේ විශිෂ්ඨ ක්‍රිකට් දැවැන්තයා,එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර පසුව නායත්වයට ද පත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස 70 දශකයේදී කැපි පෙණුන අතර ක්‍රීඩක දිවියට සමු දුන් පසු විස්තර විචාරකයෙකු ලෙස ක්‍රීඩකයෙකු ලෙස ලැබූ ගෞරවයටත් වඩා ගෞරවයක් සහ ආදරයක් සමගින් ක්‍රිකට් ලෝකය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් විය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට මහත් සේ සිය විචාරක භාවිතාවන් තුළින් සේවයක් කළ ග්‍රෙග් වෙනුවෙන් හෙට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග එක් වී ශ්‍රී ලංකා කණ්ඩායමද ශෝකය පළ කිරීම වෙනුවෙන් කළු පටි පළදිනු ඇතැයි ද ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන තොරතොරු ඔස්සේ වාර්තා වේ.
www.supirikrida.com

මෙණ්ඩිස් තේරිම් කමිටුවට බලපෑම් කරයි

 මේ දිනවල පැවත්වෙන ප්‍රිමියර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින අජන්ත මෙණ්ඩිස් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සංචිතයට සහ 20 - 20 සංචිතයට ඇතුළත් වීමට තමා සූදානමින් සිටින බවට ශ්‍රී ලංකා තේරීම් කමිටුවට කැුණු අනාවරණය කරමින් සිටියි.ගෙවුණු ලෝක කුසලාන 20 - 20 තරගාවලියෙන් ඉනික්බිති ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් දුරස්ව සිටින අජන්ත මෙණ්ඩිස් එම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා විය.
මෙවර ප්‍රිමියර් තරගාවලියේදී මේ දක්වා පන්දු යැවීමේ දක්ෂතා සළකද්දී ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන අජන්ත,මේ වන විට කඩුළු 22 ක් දවා ගෙන ඇති අතර,ඉකුත් සතියේ දී ඔහු ගාළු ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23 ට කඩුළු 7 ක් බිද හෙළමින් මෙවර තරගයක හොදම පන්දු යැවීම ද වාර්තා කරන්නට සමත් විය.
www.supirikrida.com

සුභ අලුත් අවුුද්දක්!


Dec 31, 2012

ලංකාවේ ක්‍රීඩාවට වටිනාම හිමිවීම වටනාබෙගෙන් වටිනාම අහිමිවීම ග්‍රේග්ගෙන්


දින් 2012 ඉවරයි.ගෙවුණු වසරෙදි අපට හිමි වුණේ මොනවද - අහිමි වුණේ මොනවද කියලා හොයල බලන්න වෙනවා.හිමිවීම් ගැන කතා කරද්දි අපට ඒවා මනින්න පදක්කම් වර්ධනය ආදි කරුණු විවිධ වූ නියැදි ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්.අහිමි විම් වුණත් එහෙමයි.ඒත් අපේ විග්‍රහයට අනුව හිමිවීම් වල භෞතිකමය වටිනාකම් සළකද්දි සහ එහි ඇති පලදායිතාවයන් පිළිබදව විමසා බලද්දි ශ්‍රී ලංකාව ගෙවෙන වසරේ ලැබූ විශාලතම ජයග්‍රහණය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදි වුණ බේස්බෝල් ක්‍රීඩාංගණය යි.                              මේ ක්‍රීඩාංගණය අපට ලැබෙන්න විශාලතම දායකත්වය දැක් වූවේ ජපන් ජාතික වටනාබෙයි.ඔහු ඒ සදහා විශාල මුදලක් වැය කර ඉදි කරා නෙමෙයි.ඒ සදහා අවශ්‍යය සංවිධානකත්වය දැරුවා.ජපාන රජයෙන් සහ ඊට සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා සහ ස්වෙච්ඡා පදනම් වගේම මේ වන විට ජාත්‍යන්තරය ගොස් සිටින සුජීව විජේනායක වැනි ලාංකිකයොත් එක රැහැනකට බැද ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාංගණ පිළිබද වචන හරඹ යථාර්තයක් කරන්න වටනබේ දැක් වූ සංවිධානාත්මක හැකියාව අති විශිෂ්ඨයි.

ලංකාව බොහෝ දේ කරන්න පෙරුම් පුරමින් සියල්ල සාක්ෂාත් වන තුරු ඉවසා සිටින වට පිටාවක වටනබේ අතේ සත පහක් නැතිව දැවැන්ත පරිත්‍යාගශීලී අරමුණක් වෙනුවෙන් කැප වූ අයුරු ජපානයේ ආර්ථික සහ සමාජීය වටපිටාව පිළිබදව අපූරු උදාහරණ සපයන්නක්.
වචන හරඹ වලදී ජපනා හපනා කියලා ජපනාගේ හැකියාව එම ගොඩනැගීමේ පරාර්ථ පිළිබදව නොවිමසා වීසි කරන දමන අපට ඔවුන් යමක් වෙනුවෙන් අවංකව කැපවීමෙන් ක්‍රියාකරන ආකාරය පිළිබදව පාඩමක් වටනබේ අපට කියා දුන්නා.ඒ සදහා ඔහු උත්සාහ කරද්දි ඇතැම් හූ වටනබේ ගේ කකුළෙන් ඇද්ද බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවලින් අපට පැහැදිළි වුණා.ඒ තමයි ලංකාවෙ දේශපාලන හැදියාව.ඉතා පටු පෞද්ගලික,පරමාර්ථ සහ න්‍යාය පත්‍ර වලට කොටු වුණ පිරිස් කරන්නෙ ඒක තමන්ගෙ දෙයක් කර ගන්න උත්සාහ කිරීම පමණයි.වෙනත් ආකාරයකින් ඒ වැඩේ සිද්ධ වෙන්න යද්දි ඒකට අකුල් හෙලීමයි.
මේ යථාරතයත් එක්ක හැප්පෙන්න ජපානයේ මහා සම්ප්‍රදායට අපහසු වුණේ නැහැ.ඒ වටනබේ නිසාම නෙමෙයි.අපි සහ ජපානය අතර ඇති සමාජ ආර්ථික වටපිටාවේ වෙනස්කම් එක්ක රටක් හැටියට පරිත්‍යාගයක් ලෙස ලැබෙන අපේ ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා වූ භෞතික වටිනාකමට පිටුපාලා හිට ගන්න පුළුවන් රාජ්‍යතාන්ත්‍රික වටිනාකමක් අපට නැති නිසා.
ඒ වගේම ඒ හරහා කී  දෙනෙක්ට ලංකාවෙ ඉතිහාසයේ නමක් තියා ගන්න පුළුවන් වෙනවද කියන කාරණය වගේම අවසන් මොහොතෙදි එය තමන්ගේ බැබලීමට යොදා ගන්න වැඩ කරන ෙද්ශපාලනයත් මේ ක්‍රීඩාංගණය යථාර්තයක් වෙද්දි අපි දැක්කා.වටනබේ සාමාන්‍ය මිනිහෙක් විදිහට තමන්ගෙ වාත්තීය ඉටු කරමින් ක්‍රීඩා පිටියෙ පුහුණුකරුවාගේ භූමිකාව ඉෂ්ට කළා.සුජීව විනිසුරුවරයා හැටියට වැඩ කළා.මේ දෙන්න ගැන බොහොම අඩුවෙන් කියවෙද්දි ඇතැම්හු ඊට ඔප්පු - තිරප්පු ලියා ගත්තා.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහෝදරයා ජපානයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා විදිහට වැඩ කරනවා.ඒ නිසා මේ ක්‍රීඩාංගණය තුළ හැදෙන ක්‍රීඩාගාරයවත් වටනබේ නමින් නම් කරන්න ප්‍රකාශයක් කරන්න ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි වුණා නම් ඒක අපේ රටේ වටිනාකම ජපානයට දැනෙන දෙයක්.ඒත් ක්‍රීඩා අමාත්‍යවරයා මාධයවේදීන් කියන දේවල් ගණන් ගන්න ඕනි නෑ කියන මතයක ඉන්න නිලධාරින් මාධ්‍යවේදීන්ගේ මතය ඇමතිවරයා ළගට යවනවද නියන එන සැකයි.
ඒකත් අපේ දේශපාලන සංස්කෘතියෙ හැටියක්.කාගෙ අදහසක් හරි වංචා කරගෙන තමන්ගෙ දෙයක් විදිහට ඒ ආකෘතියේ නම ගහ ගන්න හදන අය වැඩියි.වටනබේ ඒ සංස්කෘතිය ඇතුළෙ යට යන එක ඒ සිදුවීමට සීමා නොවුණු දෙයක් සහ  විශාල අවස්ථාවන් ප්‍රමාණයක් අහිමි කර ගැනීමක් කියල හිතන්න පුළුවන් පිරිස ක්‍රීඩා අමාත්‍යවරයා ළගත් අඩුයි.පටු අරමුණු වලින් තොරව යම් දෙයක් ප්‍රකාශ කරද්දි ඇතැම් විට එම ප්‍රකාශය කරන පුද්ගලයාට තියෙන පෞදගලික වර්ණ විතරක් දැකල චිත්‍රය නිර්මාණය කර ගන්න උදවිය සැබෑ චිත්‍රය දකින්නෙ නැහැ.වටනබේ මෙන්ම ඔහුගේ කාර්ය භාරයද ඒ විදිහට දැක්කෙ නැතුව කරන වර්ණාවන් අන්ධයෙක් තොරණක් ළග ඉදල විරිදු අහල තොරණෙ හැඩතල ගැන කරන විස්තරයකට සමානයි.
ඒ නිසා වටනබේ ලංකාවෙ ක්‍රීඩාවෙ මුල ඉදල අගටම ඉන්න පිරිස් කියවන්න ඕන චරිතයක්.ඉල්ලීම් සහ ලැබීම් ගැන පමණක් උනන්දු වන පිරිසක් අතර පාවෙන ලාංකේය ක්‍රීඩා වපසරියට යුතුකම් සහ වගකීම් මෙන්ම පරිත්‍යාග ගැන කියා දෙන්න වටනබේ පාඩම් පොතක් වගේ.ලංකාවේ කරුණානන්දගෙ ඔලිම්පික් මීටර් 10,000 දිවීම ජයග්‍රහණය වෙනුවට මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්‍යය සහ නොපසුබස්නා වීර්ය පිලිබදව ජපානයෙ දරුවන්ට උගන්නන් පාඩමක් කර ගත්ත ජපානය වගේ රටක දේශපාලන ව්‍යහුය අප උදාහරණයකට ගත්තොත් වටනබේ කරුණානන්දල වගෙ මිනිස්සු ගැන හදරපු තැනට අපේ අධ්‍යාපනයෙ මනස වෙනස් කරන්න තීරණය කළොත් වටනබේත් අපට ඉගෙන ගන්න පුළුවන් චරිතයක්.ඒ නිසා පදක්කම්,සම්මාන සහතික ඔක්කොටම වඩා ගෙවෙන වසරේ ශ්‍රී ලංකාවට වටිනාම දේ ලබා දුන්නෙ වටනබේ.
ඒ වගේම 20 - 20 ලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වි කුසලානය අහිමි කර ගැනීම වගේම ශී ලංකා දැල් පන්දුව සතුව තිබුණු ආසියානු කුසලානය අහිමිකර ගැනීම වැනි කාරණා වලට වඩා ශ්‍රී ලංකාවට වටිනාම අහිමි වීම ටෝනි ග්‍රේග් ගේ ජීවිත සමු ගැනීමයි.ඔහු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ පිටුපස වැටි තිබුණු සෙවනැල්ලක් බදු වූවා.විශේෂයෙන් අර්ජුන රණතුංග, ඩැරල් හෙයා වැනි සිදුවීමකදී අර්ජුන හැසිරුණු ආකාරය ක්‍රීඩාවේ සම්ප්‍රදායන් සමග සළකද්දී එකග විය නොහැකි කරුණක් විය හැකි වුව ද ඊට මානුෂීය මුහුණුවරක් දී ජාත්‍යන්තරයේ මානුෂික අවධානය අර්ජුන ට පක්ෂපාතීත්වය පිණිස හැඩ ගැහුණේ ටෝනි ග්‍රේග් නිසයි.
කළු සහ සනත් ලෝකයේ භයානක පිතිකරුවන් ලෙස ප්‍රතිවාදි මනස් තුළ ස්ථාවර කිරීමට ටෝන් කළ සේවය මහත්ය.එසේම ලෝකයේ ක්‍රිකට් බලධාරියා බවට පත්වී සිටින ඉන්දියාවේ බිෂන් සිං බෙඩී නම් එවකට ආසියාවෙන් බිහි වි සිටි වැඩිම කඩුලුලාභි දග පන්දු යවන්නා පවා මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බව කියන බටහිර කදවුර නියෝජනය කරද්දී ටෝනි මුරලිගේ ස්වභාවිකත්වය රැක ගැනීම වෙනුවෙන් සිය හඩ අවදි කළේය.මාස්ටර් බ්ලාස්ටර්ලා,කැප්ටන් කූල් ලා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලාංකේය ප්‍රතිවාදීන් පීඩනයට ලක් කරන අනන්‍යතාවයක් ගොඩ නැංවීම වෙනුවෙන් ටෝනි ග්‍රේග් කළ මෙහෙය ඇතැම් ක්‍රිකට් පරිපාලකයන්ගෙන් හෝ සිදු වී නොමැති බව අප දත යුතුය.
ජාත්‍යන්තර වශයෙන් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම වළකාලන්නට එල්ල වූ පීඩාවන් සහ තර්ජනයන් හමුවේ ඊට එරෙහිව හබල් ගසන්නට ටෝනි ගේ හඩින් සිදු වූ මෙහෙය අපමණය.අපේ ඇතැම් විචාරකයන් පවා අපේ ඉංග්‍රිසි නොදත් ක්‍රීඩකයන් සමග ඉංග්‍රිසියෙන් කතා කරමින් ඔවුන්ව මානසිකව පීඩාවට ලක් කරන වපසරියක,ග්‍රෙග් එවැනි ක්‍රීඩකයන් සොයා එමින් ඔවුන් අපහසුවට ලක් නොවන ආකාරයට පූර්ව සැළසුම් සකස් කරමින් කටයුතු කර තිබෙන ආකාරය ඔහුගේ ජාත්‍යන්තර සහ ක්‍රිකට්ශීලී වීමට කදිම උදාහරණයකි.
ඒ නිසා අපට භෞතික වශයෙන් නොපෙනෙන,ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව භෞතික වශයෙන් අත් කර ගත් බොහෝ දේ සදහා මැදිහත් වූ ටෝනි, ලාකේය ක්‍රිකට් හි මතු වෙමින් තිබෙන ‍බිද වැටීමේ ඉර සළකුණු මකා දමන්නට ඉදිරියේදි යොදා ගත හැකිව තිබුණු ශක්තිමත් සාධකයක් අහිමි වී යාමකි.ඒ නිසා  ගෙවුණු වසරේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් අහිමි වූ විශාලතම අහිමිවීම ටෝනි ග්‍රේග් ය.
කෙසේ හෝ එළැඹෙන වසරේ හ්‍රී ලංකාවේ අලුත් මලල ක්‍රීඩා බලාපොරොත්තු පිලිබදව කතා කිරීමට අවස්ථාවක් උදා වේයැයි සිතිය හැකිය.විශේෂයෙන්ම කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අලුත් පිබිදීමක් සමග නිමා වුණු වර්ෂයේ එහි උපරිම ප්‍රතිපල සදහා පිවිසෙන්නට එළැඹෙන වසර බෙහෙවින් තීරණාත්මක විය හැකිය.
වෙළද සේවා මලල ක්‍රඩා පිටියේ මෙන්ම වෙළද සේවා වොලිබෝල් පිටියේද යහපත් තරගාවලි දෙකක් ගෙවුණු වසරේදී ගෙවී ගියේ එහි පරිපාලන පුටු පවා තරුණ කරමින් සහ එහි වැදගත් කම පෙන්වමින්ය.පුද්ගල ආදර්ශ වෙනුවට ක්‍රියාකාරි ආදර්ශ හමු වූ එම තරගාවලි දෙක හරහා මතු කළ අපූරු සංවිධාන ශක්‍යතායේ අලුත් පිටුව එළැඹෙන වසරේදි එම කේෂ්ත්‍ර දෙකේ ප්‍රබෝධය වෙනුවෙන් විශාල දෙයක් කරනු සැක නැත.
අපි කල්පනාවෙන් බලා සිටින්නෙමු!

www.supirikrida.com

Dec 30, 2012

තේරීම් කමිටුව සරම් ඇද හිසින් සිට ගනියි

ස්ට්‍රේලියාවේ සංචාර‍ය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර සංගක්කාර සහ චානක වෙළගෙදර ආබාධිත තත්ත්වයට පත්වීම හේතු කර ගෙන ඒ වෙනුවට ලහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් කණ්ඩායමට කැදවීමට තීරණය කර ඇත.සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර සිටි සහ දැනටත් ඕස්ට්‍රේලියානු තණතිලි වල අත්දැකීම් ලබා ගනිමින් සිටින සහ ජාත්‍යන්තර විචාරකයන්ගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම අවධානයක් දිනූ ක්‍රීඩකයා ද වන තිසර කණ්ඩායමට නො'කැදවා සුරංග කැදවීමෙන් මේ වන විට ඔහුට වීසා ලබා ගැනීමේ ගැටළුවකට ද ක්‍රිකට් පරිපාලනය මුහුණ දී සිටියි.
මීට පෙර ද කිහිප වතාවක්ම මතක් කළ සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කෝටි ගණනක වියදමක් දරා හරූන් ලොගාඩ් ලවා ලබා ගත් වාර්තාවෙන්ද විවේචනයට ලක් වූ ක්‍රිකට් තේරුම් කමිටුව සම්බන්ධයෙන් මේ වන විටත් අමාත්‍යවරයා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදු තීරණයක් ගන්නා බවක් පෙනෙන්නට නැති අතර ඔවුන් කිසිදු හිරිකිතයකින් තොරව තමන්ට අවශ්‍යය පරිදි තීරණ ගනිමින් සිටියි.අවසානයේ වසර ගණනක් තිස්සේ මෙරට මාධය විසින් පෙන්වා දුන් කරුණුම ඉදිරිපත් කර ලොගාඩ් ට කෝටි ගණනක මුදලක් ගැනීමට ආශිර්වාදයක් ලැබීම හැරෙන්නට හරූන් ලොගාඩ් ගේ වාර්තාවෙන් කිසිදු වෙනසක් ක්‍රිකට් වලට සිදුවන බවක් පෙනෙන්නට නැත.පසුගිය කාලය පුරාම විශිෂ්ඨ දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන තිසර පෙරේරා,අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු සංචිතයට නම් කර සිටියදී ඔහු ව ඉවත් කර සුරංග ලක්මාල් කැදවීම පිළිබදව හේතු කාරණා විමසීමටවත් ලංකාවේ ක්‍රිකට් තේරුම් කමිටුවට අභියෝග කරන්න ක්‍රීඩා බලධාරියෙකු නැති වීම ක්‍රිකට් ක්‍රීඩාවේ ඛේදවාචකයකි.
වඩා වැදගත් සුරංග ලක්මාල් නම් ඔහුව නම් නොකර පළමුව තිසර පෙරේරා නම් කරේ ඇයි යන්න මෙන්ම තිසර පෙරේරා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ සිටියදි ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශය විශාල වශයෙන් කඩා වැටි තිබියදී,පිතිකරණයේදී සුරංග  ලක්මාල් ට වඩා දායකත්වයක් දැක්විය හැකි තිසර පෙරේරා නම් නොකළේ ඇයිද යන ප්‍රශ්නය ඇසීමට ක්‍රිකට් ආයතනයේ ගෙවීමක් ලැබිය හැකි සුද්දෙක් හෝ නොමැති වීම නිසා මෙවැනි ගැටළුකාරී තත්ත්වයන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට තීන්දු ගත හැකි කිසිදු බලධාරියෙක්ට නොදැනෙනු ඇත.
www.supirikrida.com

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සුදු තාත්තා සමු ගනියි

'පිය' යන වචනය දිනා ගන්නට තරම් පියකරු ලැබැදි බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහු තුළ විය.නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තලයේ වීරත්වයේ සළකුණක් බවට පත් කරන්නට හේතු වූයේ ඔහුය.ඒ නිසාම ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් මිදුණු සමස්ත ලාංකේය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත ද වීරයෙකු බවට පත් විය.අන්නාසි කෑල්ලක රස බලමින් එය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වන රස පළතුරක් කරන අතරේම ලිට්ල් කළු,මාස්ටර් බ්ලාස්ටර්,කැප්ටන් කූල් යන වචන ක්‍රිකට් සංස්කෘතියට හදුන්වා දෙමින් ලාංකේය ක්‍රිකට් වීරයන්ගේ ප්‍රතිරූපය ජගත් ක්‍රිකට් පිටිය තුළ සනාත කරන්නට ටෝනි ග්‍රෙග් නම් මේ සුවිෂේශී මිනිසාට හැකි විය.
ලාකේය ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉංග්‍රිසි ව්‍යවහාරයේදී පසුබෑම පිළිබදව ක්‍රීඩක කාමර වලටම එබී කතා කර ඔවුන් අපහසුවට පත් නොවන ආකාරයට කතා බහ කිරීමට වටපිටාව සකස් කර ගන්නට තරම් මේ සුන්දර මිනිසා දක්වා තිබෙන කැපවීම හෙළිදරව් වෙද්දී ඉංග්‍රිසි දැණුම අඩු ක්‍රීඩකයන්ව ද අපහසුවට පත් කරමින් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අසන ඇතැම් ලාංකේය නිවේදකයන් ට ඉ‍ගෙන ගන්නට බුද්ධියක් තිබේනම් ග්‍රෙග් විශ්ව විද්‍යාලයකි.ලංකාවේ සාහිත්‍යධරයන් කලා කරුවන් සමග  එකම බෝඩිං කාමර වල කරක් ගැසූ ඇතැම්හූ සීගිරිය,දඹුල්ල පිළිබදව කියා ගන්නට නොහැකිව ලතවෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට්  ජාත්‍යන්තර වශයෙන් අපහසුවට ලක් වන තැන් හී විස්තර විචාරක කුටිය තුළ සිය ගැඹුරු හඩින් ලංකාවේ ගැලවුම්කරු වූ ටෝනි එවැනි අවස්ථාවල දී උපන් රට ගැන නොදන්නා පිරිසගේ ද ගැලවුම්කරු වෙනු අප දැක ඇත.
සනත් ජයසූරිය වැනි පිතිකරුවෙක් වීරයෙක් වීමට ඔහුගේ ජවසම්පන්න පහරවල් තරමටම තදින් ජව හදවත් තුළට වදින්නට ඔහු සම්බන්ධයෙන් ටෝනි පැවසූ වචන ද හේතු වූ බව අපි පිළිගත යුතු වන්නෙමු.ඒ නිසාම ලෝකය පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වූ සනත් පාර්ලිමේන්තු මංත්‍රී පදවියක් දක්වා සිය ජනප්‍රියත්වය ඔසවා තැබීමෙන් ඉනික්බිති විස්තර විචාරක කුටියද ආක්‍රමණය කළේය.එහිදී ද විස්තර විචාරකයාගේ වගකීම් ක්‍රිකට් ඉක්මවා ගිය එකක් බව සනත්ට පැහැදිළි කළ ටෝනි, සනත් නොදත් සනත්ගේ රටේ ජාතික අනන්‍යතා පිළිබදව සනත් ට කියා දුන්නේය.
ඔහු ලංකාවේ ඉතිහාසයේ සිට වර්ථමානය පිළිබදව ඓතිහාසික මෙන්ම දේශපාලනික කියවීමක් ද ඇති පුද්ගලයෙකු ලෙස අපට අනන්‍ය වූ ඇවතුම් පැවතුම් පිළිබදව ද විශාල අවබෝධයක් ඇතිව කටයුතු කළ අයෙකි.ඔහුගේ ක්‍රීඩක අවධියේ ඇතැම් සිදුවීම් නිසා ඔහු කළු ජාතික විරෝධියෙකු ලෙස හංවඩු ගැසුණු අවස්ථා දැක තිබුණත් ක්‍රීඩක භූමිකාවෙන් නික්මීමෙන් ඉනික්බිතිව ඔහු කුඩා රටවල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට විශාල කැපවීමකින් සිය හඩ අවදි කළ ක්‍රීඩකයා විය.ශ්‍රී ලංකාවේ පමණක් නොව බංගලාදේශය වැනි රටවල ද ශකීබ් අල් හසන් වැනි ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ ඉදිරියට ගෙන ඒමට ටෝනි ගේ හඩට විශාල ශක්තියක් තිබිණ.
ක්‍රීඩක භූමිකාවන් විවිධ චරිත සදහා ජේදනය වෙනු දකිමින් සහ අනතුරුව ඒවා සිය න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවන්නට වෙර දරා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට යම් යම් හානි කරක අයුරුද අප කලින් කල දැක ඇත.නමුත් ටෝනි කිසි විටෙකත් එවැනි හානියක් නොකළ ලංකාවේ ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන්ම සිය කැපවීම ඇපවීම උපරිමයෙන්  කළ ටෝනි ඇතැම් විට ජන්මයෙන් ලාංකිකයන් වූ අයෙකුට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා‍ව වෙනුවෙන් සැබෑම ලාකේය ක්‍රිකට් ප්‍රේමියෙකි.ඒ ප්‍රේමය සදාකාලිකව ක්‍රිකට් පිටියේදී අපේ ඓතිහාසික ජයග්‍රහණ ස්මරණය කරමින් සිහිකරනු හැකි වුව ද යළිත් සජීවීව ඒ හඩ අපට අසන්නට වරම් නැත.ටෝනි නික්ම ගොස් ඇත්තේ නොඑන ගමණකටය.එහෙත් කාටවත් යා නොහැකි දුරක් ඔබ ලාංකේය ක්‍රිකට් ප්‍රේමීන්ගේ හෘදයාංගම බව තුළ ගොස් ඇත.එ හෘදයාංගම බව අසළට හෝ ඒමට හැකි අයෙක් දැනටනම් නැත.ඒ නිසා ඔබ සිටින විට දැණුනු පිරුනු බව බොහෝ කාලයක් අපට හිස් ව දැණෙනු ඇත.
ටෝනි!
 ඔබට දෙව් මව් තුරුළේ සැතපෙන්නට ප්‍රාර්ථනා කරන්නට හෝ නිවන් සුව පතන්නට හෝ පෙර ටෝනි ගේ උවමනාව ගුරු කොට ලාංකේය ක්‍රිකට් සම්බන්ධයෙන් මැදිහත්වීමේදී ඊට අවංකව ආදරයෙන් මැදිහත් වීම තුළින් ටෝනිට දැක්විය හැකි ගෞරවය පාරභෞතික ප්‍රාර්ථනාවන්ට වඩා ටෝනිට දැක්විය හැකි ‍ඉහළම ගෞරවය බව අපි විශ්වාස කරන්නෙමු!
www.supirikrida.com