Oct 29, 2012

පළමු දිනය පුරා ජයගත් ලංකාව දෙවැනි දිනය පුරා පරදියි සූරතාවය දකුණු අප්‍රිකාවට

2012 Hong Kong Sixes Cup champions South Africaමෙවර හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වෙමින් කැපී පෙණුන ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන දිනයේ දී එකම තරගයකින් හෝ ජය ලැබීමට නොහැකි විය.පළමු දිනයේ  අතිශයින් සාර්ථක වූ පිතිකරුවා වූ කුසල් ජනිත් ට දෙවන දිනයේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම ඊට බෙහෙවින් බල පෑවේය.නමුත් සිය ආරම්භක සගයාගේ අසාර්ථකබාවයෙන් නොසැලුණු කපුගෙදර පෙර දිනයේ මෙන්ම සිය සුපුරුදු පිතිහරඹයේ යෙදුණද ඒ කිසිදු දායකත්වයක් ජයග්‍රහණය කරා නොගොස් පරාජිත සීමාවේම හිර විණ.


කණ්ඩායමේ සංයුතිය තුළ විශ්වසනීය පන්දු යවන්නන් නොසිටීම දැඩි අර්බූදයක් වූ අතර ඉකුත් එස්එල්පීඑල් තරගාවලිය තුළ දී දක්ෂතා අතර සිටි කෞශල්‍යය විරරත්න,මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයන්ට මෙම කණ්ඩායමේ තිබුණු ඉඩ පැහැදිළිව දකින්නට ලැබිණ.ස්ථාවර සය සාමාජික කීඩකයෙකුගේ ලක්ෂණ ඉතා අඩුවෙන් ප්‍රදර්ශනය කරන ජෙහාන් මුබාරක් කණ්ඩායමේ නායකයා වීම නිසා ඔහුව සසල කිරීමට හැකියාවක් නොතිබි අතර ඔහුට කුමක් නොහැකි වුව ද හැම දෙයක්ම හැකි ලෙස දකින තේරීම් කමිටුව ඔහුටත් වඩා ඔහුව විශ්වාස කරන බව පෙන්වා දෙන ඉතිහාසය මුබාරක් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාවට බරක් ලෙස දැනීමේ ප්‍රති විපාකයේ ප්‍රධාන වගකීම අසන්ත ද මෙල් මහදැනමුත්තාගේ භූමිකාව රගන එම තේරීම් කමිටුව දැරිය යුතුය.
ඊයේ එකදු තරගයකවත් ලකුණු 100 ට පිවිසීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව හොංකොං,දකුණු අප්‍රිකාව සහ පකිස්තානය ඉදිරියේ පරාජය ලැබිය.මූලික වටයේ ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය ලැබූ පකිස්තානය දකුණු අප්‍රිකාව සමග අවසාන තරගයට පිවිසි අතර එහිදී දකුණු අප්‍රිකාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් පකිස්තානයට එරෙහිව ලකුණු 142 ක් රැස් කරන්නට සමත් විය.පිළිතුරු ලෙස පකිස්තානු ඉණිම වෙනුවෙන් එක් අන්තයක සිට තරගාවලියේ වැඩිම හයේ පහර ලාභියා වෙමින් දැවැන්ත ලකුණු 51 රැස් කළ කම්රාන් අක්මාල් සය සාමාජික කිරුළ පකිස්තානයට රැගෙන යන්නට ගත් හුදෙකලා උත්සාහය අසාර්ඛන විය.
මේ අතර පළිහ කුසලානය සදහා පැවති අවසාන තරගයේදී නෙදර්ලන්තය ඕස්ට්‍රේලියාව ඉදිරියේ පරාජයට පත් විය.
www.supirikrida.com

මගෙන් තවත් වැඩක් ගනිව් - චන්ද්‍රිකාගේ බැඩ්මින්ටන් පිත්ත කතා කරයි

ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂි බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන චන්ද්‍රිකා ද සිල්වා සිය හැකියාව යළිත් වරක් විදහා පෙන්වමින් මෙවර වෙළද සේවා බැඩ්මින්ටන් තරගාවලියේදී සූරතා තුනකටම හිමිකම් කීවාය.විවෘත කේවල සහ යුගල තරග ජයගත් චන්ද්‍රිකා අවරුදු 35 න් ඉහළ ප්‍රවීනා කාන්තා කේවල ඉසව්ව ද ජය ගත්තාය.නමුත් වේගය මෙන්ම ප්‍රතික්‍රියා වේගයෙන්ද ඇයව ඉක්මවා යා හැකි ජවසම්පන්න තාරුණ්‍යයක් නිර්මාණය වෙමින් පවතින බව මෙම තරගාවලියේදී මෙන්ම ඉකුත් ජාතික සූරතාවලියේදි තරුණ ක්‍රීඩිකාවන්ගේ ප්‍රහාරයට ලක්වීම තුළ චන්ද්‍රිකාට ඒත්තු යන්නට ඇත.තත්ත්වය එසේනම් ඇයට කාලය ආරාධනා කරන්නේ ගෞරවණීය සමුගැනීමකටය.
එය ඇය විසින් ගනු නොලැබීමට හේතුව වසර ගණනක් මෙරට බැඩ්මින්ටන් පිටිවල ඇය හැලූ දහදිය සහ කදුළු වලට සියතින් පිත්ත ගලිහී යාමෙන් පසු ඉතිරිව ඇති ගෞරවය සහ පිළිගැනීම පිළිබදව සිය සිත තුළ මතු කරන විචිකිච්චාව විය යුතුය.එහෙත් වගකිව යුතු පරිපාලනයක් ලෙස ඇය තව දුරටත් යොවුන් ක්‍රීඩිකාවන් ගේ අභියෝගවල පීඩනයෙන් බැට කන ක්‍රීඩිකාවක් බවට පත් නොකිරීමේ වගකීම පවරා ගත යුතුය.ඇය වෙනුවෙන් ගෞරවනීය සමුගැනීමක් සකසා දිය යුතු අතර ඒ සමගම ඇයගේ ප්‍රායෝගික දැණුම් වපසරිය මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා භාවිතා කළ හැකි වාත්තීමය වටිනාකමක් ඇති මාවතකට යොමු කළ යුතුය.
ගැහැව්ව නිසා පුහුණු කරන තත්ත්වයට ඇයව පත් නොකළ යුතුය.ඇයගේ ප්‍රායෝගිකත්වයට උසස් පුහුණු දැණුම එක් කිරීම සදහා අවශ්‍යය ජාත්‍යන්තර පරිසරයක ආශිර්වාදය ලබා දීමෙන් හෝ ඇයට විනිසුරුවරියක ලෙස පෙරට එන්නට අවශ්‍යය මාවත විධිමත්ව සැකසීමේ වගකීම බැඩ්මින්ටන් පරිපාලනය විසින් පවරා ගැනීමකින් චන්ද්‍රිකා,ඇයගේ ඓතිහාසික ගෞරවයට හානියක් නොවන පරිදි තරගකාරී බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉවත් කළ යුත්තේ, යළි යලිත් සිහිපත් කරමින් රස විදිය හැකි අතීතයක් බවට ඇයගේ හැකියාවන් හී ස්මරණය සිහිකල හැකි වට පිටාවක් ඉතුරු කරමින්ය.මේ වන විටත් තරුණ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේම අභියෝග ඉදිරියේ පරාජිත චරිතයක් බවට පත්ව සිටින ඈ,තව දුරටත් ඒ ඉරණමෙන් පීඩාවට පත් නොවන මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් දිනා දුන් ගෞවරයන්ට හානිකර නොවන සේ ඒවා සුරැක තබා ගෙන සමුගැනීමට බැඩ්මින්ටන් පරිපාලනය ඇයව දැනුවත් කළ යුතුය.මැදිහත් විය යුතුය,උපදෙස් දිය යුතුය.එය අතිශයින් ගෞරවනීය සමුගැනීමක් බවට පත් කිරීමේ වගකීමට උර දිය යුතුය.
www.supirikrida.com

Oct 28, 2012

දිනූක සහ නදීශා වෙළද සේවා අවසන් තරග තුනටම



ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ලීනින් බැඩ්මින්ටන් උපකරණ හදුන්වා දෙමින් එම අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කේවල,යුගල සහ මිශ්‍ර යුගල අංශ තුනේම අවසන් තරග සදහා සුදුසුකම් ලැබීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නියෝජනය කරන දිනුක කරුණාරත්න සහ නදීශා ගයත්‍රි සමත් ව සිටියි.අද සවස 2.00 සිට ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක මෙම තරගාවලියේ අවසන් තරග වලදි දිනුක කරුණාරත්න පිරිමි අවසන් තරගයේදී සිය සොහොයුරු ජාතික සූර නිලූක කරුනාරත්න සමග තරග වැදීමට නියමිතය.දිනුක පිරිමි යුගල අවසන් තරගයේදි අනූෂක ලක්ෂාන් සමග එක්ව තරග වදින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ මැක්ලරන්ස් ආයතනය නියෝජනය කරන නිලූක කරුණාරත්න සහ නිම්මික එදිරිසූරිය ය.
නදීශා ගයත්‍රි මිශ්‍ර යුගල තරගයේදී දිනුක කරුණාරත්ව සමග එක්ව සම්පත් බැංකු කණ්ඩායම නියෝජනය කරන හසිත චානක සහ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ තිළිණි ජයසිංහට එරෙහිව තරග වදින අතර තිළිණි මෙවර තරගාවලියේදි තේරී ඇති එකම අවසන් තරගය ද මෙය වන්නේය.නදීශා කේවල අවසාන තරගයේදී තරග වදින්නේ සෙලාන් බැංකුව නියෝජනය කරන චන්ද්‍රිකා ද සිල්වා සමගය.කාන්තා යුගල තරගයේදි චන්ද්‍රිකා සමග එක්ව තරග වදින තිළිණි පරණවිතාන ට එරෙහිව නදීශා,මධූෂා දිසානායක සමග එක්ව තරග වදින්නීය.
මෙම තරගාවලියේ මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු වලින් දායකවන්නේ www.supirikrida.com වෙබ් අඩවිය ය.
www.supirikrida.com

තිලිණිගේ ආබාධයෙන් ඇමෙරිකාවට එරෙහි ප්‍රහාරය නවතියි කැනඩාවට එරෙහිව ෂුස්මිතා තිළිණිගේ අඩුව පුරවයි

නැවත වරක් ජගත් කනිෂ්ඨ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව කළ තේරීම් සහ කණ්ඩායම් නම් කිරීමේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලිය තුළ ඉදිරියට ඒමට ඇති අවස්ථාවන් අහිමි කරමින් ශ්‍රී ලංකාව ඇමෙරිකාව ඉදිරියේද කැනඩාව ඉදිරියේද පරාජය විය. ඇමෙරිකාව සමග තරග අරඹමින් පැවති මිශ්‍ර යුගල තරගය තරගාවලිය පුරාම දස්කම් දක්වමින් සිටින බුවනෙක ගුණතිලක සහ ෂුස්මිතා ඉලංගකෝන් විසින් වට 2 - 0 ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකාව පෙරමුණට ගෙන ඒමට සමත් විය.එහි ලකුණු තත්ත්වය 21 - 16 සහ 21 -6 ක් විය
පිරිමි කේවල තරගයේදී සචින් ඩයස් වට 1 - 2 ක් ලෙස අලෙක් සෙක්ටිමාන් ඉදිරියේ පරාජය ලැබීය.ඉතා තියුණු තරගයක් ලබා දුන් සචින් එම තරගය පරාජයට පත් වූයේ 19 - 21, 21 - 12 සහ 20 - 22 ක් ලෙස ලකුණු තත්ත්වය පවත්වා ගනිමින්ය.නමුත් යුගල තරගයේදී ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමේ අපේක්ෂාවෙන් එම කණ්ඩායමට බුවනෙක හෝ යොදවා නොතිබි අතර චරින්ද්‍ර හපුආරච්චි සහ රවිදු කේෂාන්ට ඇමෙරිකා අභියෝගයට ඔරොත්තු දීමට හැකියාවක් නොතිබිණි.එහි ප්‍රතිපලය වූයේ පිලිප් ටෙච් සහ ජෙෆ්රි ක්වෝ අතින් ඔවුන් දෙදෙනා ලකුණු 21 - 11 සහ 21 - 10 ක් ලෙස පරාජය වීමය. 
අනතුරුව පැවති කේවල කාන්තා තරගයේදී තිලිණි හෙන්දහේවා පළමු වටය ඉති පහසුවෙන් ජය ගත්තේ ඇමෙරිකාවේ අයිරිෂ් වෑන්ග් ලකුණු 21 - 17 ක් ලෙස පරාජය කරමින්ය. දෙවන වටයේදී ද තිලිණි වෑන්ග්ට එරෙහිව ලකුණු 12 - 10 ක් ලෙස ඉදිරියෙන් සිටිය දී තිළිණි අබාධයකට ගොදුරු වී පිටියෙන් ඉවත් වූයේ ශ්‍රී ලංකාවට ඇමෙරිකාවට එරෙහි තීරණය සදහා තවත් තරගයකට ප්‍රවේශ වීමට අවස්ථාව අහිමි කරමින් ඇමෙරිකාවට තරග 3 - 1 ජයක් හිමි කර දෙමින්ය.
කැනඩාව අතර තරගයේදි තරග වලදී වැඩි පුර තිළිණි හෙන්දහේවා,සචින් ඩයස්,බුවනෙක ගුණතිලක,සහ ෂුස්මිතා ඉලංගකෝන් භාවිතා කිරීමෙන් රටක් හැටියට ශ්‍රී ලංකාවට වඩා යහපත් ප්‍රතිපල අත් කර ගැනීමට අප ඉදිරිපත් කළ අදහස සනාත කිරිමට ෂුස්මිතා සමත් වූවාය.තිළිණි වෙනුවට ඒකල තරග සදහා පිවිසි ෂුස්මිතා සිය ප්‍රතිවාදි ක්‍රීඩිකාව වූ කැනඩාවේ ඇඩ්රියානා හොලෙක් ලකුණු 21 - 6 සහ 21 - 11 ක් ලෙස පරාජය කරමින් කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ශ්‍රී ලංකාව පෙරමුණේ තැබුවාය.පිරිමි කේවල තරගයේදි තරගාවලිය පුරා කැපී පෙණුන සචින් ඩයස් ඇන්ඩෘ ඩි ෂෝසා ඉදිරියේ පසුබැස්මක් පෙන්නුම් කළ අතර එහිදි සචින් ලකුණු 21 - 15 ක් සහ 21 - 7 ක් ලෙස ඇන්ඩෘ ඉදිරියේ පරාජය ලැබුවේය.
නැවතත් ෂුස්මිතා යොදවමින් යුගල තරගයේදී වාසියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාව මග හැර ගිය අතර එහි ප්‍රතිපලය වූයේ කවින්දිකා බිනරි සහ මනේෂි ප්‍රසාන්දි, ටකීෂා වෑන්ග් සහ ජොෂපින් වූ ඉදිරියේ ලකුණු 21 - 12 සහ 21 - 12 ක් ලෙස පරාජයට පත් වූහ.එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දක්වන ෂුස්මිතා සහ බුවනෙක සහභාගි වන මිශ්‍ර තරගයෙන් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ලබා ගැනිමට උත්සාහ කිරීමේ හැකියාව තිබුණ ද,ඊට පෙර ශ්‍රී ලංකාව සචින් ඩයස් වැනි ක්‍රීඩකයෙකු යොදා ගෙන පිරිමි යුගල තරගයෙන් වාසියක් ලබා ගැනිමට කල්පනා නොකර තිබීම නිසා පිරිමි යුගල තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ චරින්දු හපුආරච්චිට සහ රවිදු කේෂාන්ට සිදු වූයේ ලකුණු 21 - 13 ක් සහ 21 - 15 ක් ලෙස කැනඩාවේ බෙනි ලින් සහ ඩන්කන් යාඕ ඉදිරියේ පරාජය වන්නටය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ සිට ‍සහභාගි කරවන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිවැරදි ලෙස යොදා ගැනීමට අසමත් වීම නිසා තරගාවලියේ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබූ ඉහළට පැමිණිමේ අවස්ථාව අහිමි වූ බව පැහැදිළිය.ඒ හරහා තව දුරටත් පැහැදිළි වන්නේ බැඩ්මින්ටන් පරිපාලනයේ අදූරදර්ශි බවය.ඒ සම්බන්ධයෙන් බැඩ්මින්ටන් පරිපාලකයන් ඉදිරිපිටම අමාත්‍යවරයා කරුණු විමසා බැලීමක් කිරීමට සූදානම් නම් අප ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් අතර ජාතික වශයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට ජාත්‍යන්තර පිළිගැනීමේ ඉදිරියට ප්‍රවේශ වීමට තිබෙන අවස්ථාවන් අහිමි කිරීමට කටයුතු කරමින් ලබා ගත හැකිව තිබූ ප්‍රසාද අයාලේ යන්නට හැර තරගාවලියට විශාල පිරිසක් සහභාගි කරවමින් ජාත්‍යන්තරය ඉදිරියේ විහිළු සැපයීම පිළිබදව අමාත්‍යවරයා බැඩ්මින්ටන් සදහා පිරිනමන අසීමිත සමාව සහ කරුණාව තව දුරටත් ප්‍රදානය කරන්නට සූදානමින් සිටින්නේද යන්න පිළිබදව අප විමසිල්ලෙන් සිටිමු.
ශ්‍රී ලංකාව මේ දක්වා කිසිදු රටක් පරාජය නොකළ ද,බුවනෙක,ෂුස්මිතා සහ සචින් ලද ජයග්‍රහණ කිහිපයද, එම තිදෙනා සහ තිළිණි තරග වට ප්‍රමාණයක් ජය ගනිමින් ද ඔවුන් ලකුණු පරතරය  අඩුව තබා ගනිමින් ද දක්වන ලද දක්ෂතා නිසා ශ්‍රී ලංකාවට කණ්ඩායම් 30 ක් සහභාගි වූ මෙම තරගාවලියේදි 21 සහ 24 යන ස්ථාන සදහා තරග කිරීමට සුදුසුකම් ලැබීය.එහිදී අද සවස තූර්කිය සමග ශ්‍රී ලංකාවට තරග කිරිමට සිදු වනු ඇති අතර එිහදි දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකාවට 23 හෝ 24 යන ස්ථානයක් හිමිවනු ඇත.නමුත් නිවැරදිව කණ්ඩායම තේරීම සදහා මුල සිටම ප්‍රතිපත්තිමය වශයෙන් බැඩ්මින්ටන් පරිපාලනය නිවැරදි තීරණ ගත්තේ නම් සහ  යම් අඩුපාඩු කම් සහිතව කරන ලද තේරීම් වල දී තෝරාගත් පිරිස රටට පලදායි ලෙස භාවිතා නොකිරීම පිළිබදවද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනය වගකිව යුතු බව පමණක් අප නැවතත් මතක් කරන්නෙමු.
www.supirikrida.com

කුසල් ජනිත් ගෙන් විශිෂ්ඨ දස්කම් - හොංකොං සය සාමාජික තරගාවලියේ පළමු දිනයේ අපරාජිත කණ්ඩායම ශ්‍රී ලංකාව


හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ එකම අපරාජිත කණ්ඩායම වෙමින් කුසල් ජනිත් පෙරේරාගේ හැකියාවන් සමග පෙරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවත්වෙන කුසලාන තරග අංශයෙන් කුසලානය සදහා තරග වැදීමට සුදුසු බව තහවුරු කළේය.හොංකොං සයසාමාජික තරගාවලියේ නීතියක් ලෙස ක්‍රියාත්මක වන ලකුණු 30 ඉක්මවා රැස් කිරීමෙන් පසු ක්‍රීඩා පිටියෙන් සමුගැන්වීමේ න්‍යාය යටතේ පැවත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනේදීම ලකුණු 30 ඉක්මවා  රැස් කළේ  (පන්දු 8 - 34),(පන්දු 12 - 35) සහ (පන්දු 9 - 33 ) ශ්‍රී ලංකාව ජය මාවතට තල්ලු කිරිමේ පුරෝගාමීයා වශයෙනි.

නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 107 ක් සහ ඉන්දියාවට එරෙහිව ලකුණු 104 ක් ලෙස පැවති තරග දෙකේදීම ලකුණු 100 ඉක්මවා රැස් කළ ශ්‍රී ලංකාව පකිස්තානය අතර තරගයේදී තියුණු තරගයකින් පසුව කඩුලු 3 ට ලකුණු 89 ක් ලබමින් තරගය ජය ගැනීමට සමත් විය.
මේ දක්වා පැවති තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ ශක්තිය යම් අවධානමකට හසුව තිබෙන බව පැහැදිළිව දකින්නට තිබෙන අතර ඒ සදහා අවශ්‍යය වෙනස්කම කිරීමට කණ්ඩායම් ආකෘතිය තුළ ඉඩක් නැත්තේ මුබාරක් යම් ආකාරයකින් පිටතට ගෙන වෙනත් ක්‍රීඩකයෙක් යෙදවීමේ හැකියාව ඔහු නායකයා නිසා අහිමි වි ඇති බැවින්ය.එම ස්ථානයට තුන් ඉරියව් හැකියාවන් ඇති තරුණ ජවසම්පන්න ක්‍රීඩකයෙකු වන රමිත රඹුක්වැල්ල වැන්නෙකු යෙදවිමට ඇති ඉඩ මේ නිසා ඇහිරී ඇති අතර අද හොංකොං සය සාමාජික කුසලානය සදහා වන සටනේදී  ශ්‍රී ලංකාවට පළමුව හමුවන්නේ මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් පළමු තැනට එද්දී  ඒ කාණ්ඩයෙන් පළමු තැනට පැමිණ සිටින හොංකොං කණ්ඩායම සමගය.
අනතුරුව කුසලාන තරග සදහා තරග වැදීමට ප්‍රථම වටයේ දස්කම් අනුව තේරී සිටින දකුණු අප්‍රිකාව සහ පකිස්තානය සමග තරග වදින්නට ශ්‍රී ලංකාවට සිදුවන අතර එහිදී දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකාව අද පස්වරුවේ පැවත්වෙන අවසාන තරගයට තේරීම තීරණය වනවා ඇත.කුසලාන තරග සදහා එම කණ්ඩායම් හතර තරග වදින අතරතුර පළිහ කුසලානය සදහා ඉන්දියාව,ඕසට්‍රේලියාව,නෙදර්ලන්තය සහ එංගලන්තය තරග වදින්නේය.තරගයේ ලකුණු විස්තරයන් සදහා පහත සබදතාවය හරහා ඔබට ප්‍රවේශවීමට හැකියාව ඇත.
http://www.cricket.com.hk/db/ARCHIVE/2012-13/OTHERS/HKG_LOCAL/HKSIXES2012-SCHEDULE.html

www.supirikrida.com

ලාංකික යෞවනයෝ කොරියාව ඉදිරියේ පසු බසිති


 රානයේ ක්‍රියාත්මක නව වන ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ වර්ගීකරනය අනුව පැවත්වෙන තරග වටයේ සිය පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකාව දකුණු කොරියාව ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් අත් කර ගත්තේය.මූලික වටයේ සිය කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතව සිටි මොංගෝලියාව සහ කුවේට් කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වීම නිසා එම කාණ්ඩයේ ඉතිරි වූ වත්මන් සූරයන් වන සත්කාරක ඉරානය සමග ද්වන්ධ සටනක යෙදෙන්නටත්,ඒ ප්‍රතිපල අනුව වර්ගී කරණ වටයේ දී නැවත ඉරානය සිටින කාණ්ඩයේ දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් සමග තරග වදින්නටත් ශ්‍රී ලංකාවට සිදු වී ඇත.


මේ අතර දකුණු කොරියාව අතර තරගයේදි ශ්‍රී ලංකාව ලකුණු 25 - 16, 25 -19 සහ 25 - 11 ක් ලෙස පරාජයට අත් වූ අතර මෙම කාණ්ඩයේ ඉතිරිව ඇති ඉතිරි තරගය වන චීන තායිපේ කණ්ඩායමට එරෙහි තරගයට පසුව ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීමේ තරග සදහා තරග වදින්නට සිදුවනු ඇත.

චීනය පැරද වූ ලංකාව අවසාන පූර්ව තරගයට

Chamari Atapattu
චමරි අතපත්තු
චීනයේ ගුවැන්සු හී පැවත්වෙන ආසියානු කුසලාන 20 / 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව චීනයට එරෙහිව කඩුලු නවයක පහසු ජයක් ලබමින් අවසාන පූර්ව තරග වටය සදහා සුදුසුකම් ලැබීමට සමත් විය.තාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර චීනය සිය පන්දු වාර 20 කඩුලු නවයක් දැවී ලකුණු 52 ලෙස අවසන් කළේය.චීනයට වඩා පළපුරුදු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම විශේෂයෙන් පන්දු රුකීමේදී දක්වන දක්ෂතාවය පසුගිය තරගවලදීද කැපී පෙණුන අතර මෙම තරගයේදීද චීනයට කඩුලු දෙකක්ම අහිමි වූයේ දුවද්දී දැවී යාම හේතුවෙන්ය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිණියන් පන්දු ඕවර් 5.3 දී තරගය ජය ගත්තේ පන්දු 20 කින් හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 35 ක් ලබමින්චමරි අතපත්තු දියත් කළ ඉණිම පෙරමුණේ තබා ගෙනය.ඇයට ඒ නිසාම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වීමේ භාග්‍යයද උදා වූවාය.‍
මේ වන විටත් බී කාණ්ඩයෙන් අවසාන පූර්ව තරග සදහා පිවිස සිටින ශ්‍රී ලංකාව, සිය පළමු වටයේ සිය කාණ්ඩයේ ප්‍රථම සහ දෙවන ස්ථාන තේරීම සදහා වන  බංගලාදේශයට එරෙහි තරගයට මුහුණ දෙයි.එසේම ඒ කාණ්ඩයෙන් අවසාන පූර්ව වටයට පිවිසෙන ඉන්දියාව සහ පකිස්තානය එම කාණ්ඩයේ ප්‍රථමයා සහ දෙවැනියා තීරණය කරන තරගයට මුහුණ දෙන අතර මෙම තරග දෙකේ ජය ගන්නා සහ පරාජය වන කණ්ඩායම් අනුව අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා කවුරුන් ද යන්න තීරණය විමට නියමිතය.
www.supirikrida.com