Oct 16, 2012

කොළඹ දිස්ත්‍රික් දැල් පන්දු තරග ටොරිංටන් හී දී

කොළඹ දිස්ත්‍රික් නෙට්බෝල් සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ අතර පවත්වනු ලබන කොළම දිස්ත්‍රික් අන්තර් සමාජ නෙට්බෝල් තරගාවලිය ඔක්තෝම්බර් 21 දා පෙ.ව.8.00 සිට කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රය පිහිටි ටොරිංටන් ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
ඒ,බී සහ අවුරුදු 14 න් පහළ සහ වයස 35 න් ඉහළ ප්‍රවීන ලෙස කාණ්ඩ හතරක් යටතේ තරග ක්‍රියාත්මක වන අතර අවුරදු 35 න් ඉහළ ප්‍රවීන අංශයේ තරග සදහා පමණක් රුපියල් 1000/= ක ඇතුළත්වීමේ ගාස්තුවක් ගෙවිමට සිදු වේ.
මෙහිදී ඒ කාණ්ඩයෙන් ජයගනු ලබන කොළඹ දිස්ත්‍රික් සම්මේලනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ කණ්ඩායමට ජාතික දැල්පන්දු සම්මේලනය මෙහෙයවන ජාතික තරගාවලිය නියෝජනයට අවස්ථාව හිමිවනු ඇත.
www.supirikrida.com

Oct 15, 2012

සුනිමල් ගේ වැඩේට නිමල ඇගයීමක්

ප්‍රවීන මලල ක්‍රීඩකයෙකු මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකු ද වන මලල ක්‍රීඩා පුහුණුකරු සුනිමල් රූපසිංහ විශේෂ ජාත්‍යන්තර පුහුණුවක් ලද කිඩ්ස් ඇත්ලටික් (ළමා මලල ක්‍රීඩා) වැඩ සටහන් මෙහෙයවමින් කරන ලද සත්කාරය මෙන්ම, ඔහු ඉගෙනුම ලැබූ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යලයේ කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති 1000 ක් පමණ සහභාගි වූ ළමා මළළ ක්‍රීඩා පුහුණු වැඩ සටහන අවසානයේ ඔහුගේ සේවය අගයමින් උපහාර තිළිණයක් ප්‍රදානය කෙරුණා.
මෙම මලල ක්‍රීඩා උළෙලට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය හිටපු ඔලිම්පික් කමිටු ලේකම් වරයෙකු මෙන්ම,මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයෙකු ද වන ක්‍රීඩාව සම්බන්ධ ජනාධිපති උපදේශකයෙකු ද වන ප්‍රේමා පින්නවල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම ක්‍රීඩා උළෙලේ දී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දන පෙරේරා එම සම්මානය පිරිනැමූ අයුරුත් ඡායාරූපයේ දැක්වේ.
www.supirikrida.com

'පතන' පාසල් රග්බි සූරයන් බව යළි සනාත කරයි

කලක් පාසල් රග්බි පිටියේ සදාකාලික වීරයන් සේ වැජඹි,ඉසිපතන විද්‍යාලය මේ වසරේ යළිත් එම කීර්තිමත් ඉතිහාස මාවතට පිවිසෙමින් ‍මේ වසරේ පාසල් පිටියේ සියළු ප්‍රදාන සූරතාවයන්ගේ උරුමක්කාරයා වෙමින් මයිලෝ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති කුසලාන රග්බි කිරුළ ද සියතට ගැනීමට සමත් වුණා.ඒ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීරණයේ පැවති ජනාධිපති කුසලාන අවසාන තරගයේදී මනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 21 - 16 ක් ලෙස පරාජයට පත් කරමින්.
තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ මුල් භාගය ලකුණු 13 - 10 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණ ගත්තද දෙවන භාගයේදී ආක්‍රමණය මෙන්ම ආරක්ෂාවෙන්ද සමබරව තරග වැදි ඉසිපතනය පෙරමුණට පැමිණි අතර ඔවුනගේ ලකුණු 21 එක් උත්සාහක දිණුමකින්,ගෝල් ප්‍රහාරයකින් සහ දඩුවම් පහර තුනකින් සපුරා ගත් අතර ත්‍රිත්ව විද්‍යාලය උත්සාහක දිණුම් දෙකකින් සහ එක් දඩුවම් පහරකින් සිය ලකුණු ප්‍රමාණය රැස් කර ගනු ලැබුවා.
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කොරියාවට පරාදයි

නවවන ආසියාතික යොවුන් කාන්තා බාලිකා වොලිබෝල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ දෙවන තරගයෙන්ද වට  3 - 0 ක පරාජයක් ලැබුවාය.ලකුණු තත්ත්වය 25 -  6 , 25 - 7 සහ 25 - 9 ක් වූ මෙම තරගයේදී තරග වට තුන පුරාම කොරියාව, හ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් විය.
චීනයේ පැවත්වෙන මෙ තරගාවලියේ මූලික වටය සදහා චීන තායිපේ සහ කොරියා කණ්ඩායම් සමග ඩී කාණ්ඩයේ තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ තරග වටයට පෙර දෙවන වටය සදහා එච් කාන්ඩයෙන් තරග වැදීමට නියමිත අතර එහි දි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඉරානය සහ ඕස්ට්‍රේලියාව යි.
ඒ අනුව අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉරානය සමග තරග වැදීමට නියිමිත අතර හෙට ඕස්ට්‍රේලියාව සමග තරග වැදීමට නියමිතය.තරගාවලිය සදහා චිනය,ජපානය,තායිලන්තය,චීන තායිපේ මෙන්ම කසකස්තානය වැනි ආසියාවේ වොලිබෝල් ක්‍රීඩාවේ දැවැන්තයන් ගේ අනාගතය භාර කණ්ඩායම් සියල්ලම පාහේ සහභාගි වන අතර දකුණු ආසියාතික කළාපයේ ප්‍රබලයා ලෙස සැළකෙන ඉන්දියාව බී කාන්ඩයෙන් මූලික වටය නියෝජනය කරමින් දෙවන වටයේ දී ශ්‍රී ලංකාව තරග වදින එච් කළාපයේ සිටින ඉරානය සහ ඕස්ට්‍රේලියාව පරාජය කර සිටින නිසා ශ්‍රී ලංකාවට අද සහ හෙට තරග දෙක අතිශයින් වැදගත් ය.
www.supirikrida.com

මුම්බායි කිරුළ හොංකොං රැගෙන යයි - ලංකාවට පස්වන තැන

ආසියානු එච්එස්බීසී  සත් සාමාජික රගර් තරගාවලිය යටතේ මුම්බායි හී ක්‍රියාත්මක වූ සත් සාමාජික රගර් තරගාවලියේ සූරතාවය දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වුණා.අවසාන තරගයේදී ප්‍රබල ජපාන කණ්ඩායම ඉදිරියේ 28  - 7 ක් ලෙස පහසු ජයක් ලබමින් කිරුළට හිමි කම කී හොංකොං කණ්ඩායම මෙම තරගාවලියේ කණ්ඩායමක් ලද දැවැන්තම ජය වූ 54 - 0 ක ජයක් 66 - 0 ක ජයක් තායිලන්තයට එරෙහිව මූලික වටයෙදී වාර්තා කිරීම කැපී පෙණුනා.
සත් සාමාජික රගර් තරගාවල දී ආසියානු මට්ටමෙන් ලැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ද මුල් කණ්ඩායම් පහ අතරට ප්‍රවේශ වෙමින් පස් වන සහ හය වන තැන තීරණය කරන්නට නියිමිත තරගයේදී මැලේසියාව පරාජය කරමින් ලකුණු 22 - 17 ක ජයක් ලබා ගත්තා.මෙම තරගාවලියට දකුණු ආසියාතික කණ්ඩායම් ලෙස සත්කාරක ඉන්දියාව,පනිස්තානය,ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගි වූ අතර එම කණ්ඩායම් අතරින් පෙරමුණේ රැදෙන්නට හී ලංකාව සමත් වුණා.ඉන්දියාව තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් 16 ක් අතරින් 13 වන ස්ථානයට පත් වෙද්දී පිළිවෙළින් පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය 15 වන සහ 16 වන ස්ථාන තහවුරු කර ගත්තා.ඒ අනුව දකුණු ආසියාතික තරගාවලියට සත් සාමාජික රගර් ක්‍රීඩාව ඉසව්වක් ලෙස ඇතුළත් කිරීමට හැකිනම් එය කළාපීය රගර් ක්‍රීඩාවේ ප්‍රබෝධයට මෙන්ම ශ්‍රී ලංකාවට නිශ්චිත රන් පදක්කමක් බවට ද පත් කළ හැකි බව ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක්විය හැකියි.
හොංකොං කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබූ ජපානය දෙවන ස්ථානය දිනා ගනිද්දී තෙවන සහ සිව්වන ස්ථාන තීරණය කිරීම සදහා පැවති තරගයේදී තායිලන්තය පරාජයට පත් කළ චීන තායිපේ කණ්ඩායම ලකුණු 21 - 24 ක ජයක් හිමි කර ගැනීමට සමත් වුණා.ඡායාරූපයේ ජයග්‍රාහි හොංකොං කණ්ඩායම දැක්වෙනවා.
www.supirikrida.com

Oct 14, 2012

මෙවර තනි සූරයෝ වෙනුවට සම සූරයෝ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම වරක් සූරතා දිනා ඇති වලල ඒ රත්නායක විද්‍යාලයට මෙවර සම සූරතාවයකට  ඈදී සිය ගෞරවය රැක ගන්නට සිදු විය.ඒ අනුව බාලිකා සූරතාවය  කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සමග වලල දිනා ගනිද්දී ඉකුත් වසරේ සූරියන් වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට තෙවන ස්ථානයෙන් සීමා වන්නට සිදුවිය.බාලක සූරතාවයේදී වලල ඒ රත්නායකයට තෙවන ස්ථානය දක්වා පහළ බසින්නට සිදු වූ අතර වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය පිරිමි සම සූරයෝ වුහ.මෙවර ක්‍රීඩා උළෙල වෙනුවෙන් අවුරුදු 21 න් පහළ තරග ඉසව් තරගකාරී ලකුණු සදහා බලපාන ඉසව් බවට පත් කිරීම ඇරඹීමෙන් පසු ප්‍රථම අවස්ථාවේම දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව අවුරුදු 21 න් පහළ ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක වීම විශේෂත්වයකි.
එසේම ගෙවුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඉහළ දස්කම් දැක්වීම කැපී පෙණින.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලයේ අශේන් ප්‍රනාන්දු මීටර් 7 . 43 ක දක්ෂතාවයක් දැක් වූ අතර ඔහු ද ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කළ සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි.දක්ෂතම ක්‍රීඩිකාව වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ පබසරා සේනානායක ද එම ක්‍රීඩා උළෙල මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල ගණනාවකට ශ්‍රී ලංකාව නියෝජනය කළ මීට පෙර ද මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවය වීමට තරම් දක්ෂතා ප්‍රකට කර තිබූ ක්‍රීඩිකාවක්ය.
තරග උළෙලේ නව වාර්තා බිහි කිරීමට සමත් වූ ඉසව් 13 ක ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක් බැගින් පිරිනමන්නට තාරුණ්‍යයට හෙටක් සංවිධානය කටයුතු කිරීම අගය කළ යුතු ක්‍රියාවකි.නමුත් එම අගය කිරීම අතරේම වාර්තා 13 ට සීමා වීම ට තරගාවලිය බෙලිඅත්ත ඩීඒ රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණීම හේතු වූ බව ද පැවසිය යුතුය.විශේෂයෙන් පබසරා සේනානායක වැනි ක්‍රීඩිකාවක් මීටර් 100 වැනි ඉසව්වක නව වාර්තාවකට පිවිසෙමින් තත්පර 12.30 ක ට තරගය නිම කිරීම අගය කළ යුතු අතර එවැනි වාර්තාවක් ඇගයීම මෙන්ම එම වාර්තාව බිහි වූ භෞතික පසුබිම සැළකිල්ල යොමු කිරීමේදී සුගතදාස පිටියේදී හෝ දියගම රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එම ධාවනයේ කාලය තව දුරටත් අඩු වීමට ඇති භෞතික තත්ත්වයන් ගැන ද සැළකිල්ල යොමු කිරීම වටින්නේය.
ඒ නිසා ක්‍රීඩාවට යම් ඇගයීමක් හිමි වීම මෙන්ම ක්‍රීඩාවට ජාතික තලයෙන් ඉහළට ප්‍රවේශ වීමට ඇති ගුණාත්මක සාධක අහිමි වීම පිලිබදවද මෙහිදී අවධානය යොමු කිරීම වටින්නේය.එහිදී අධයාපන අමාත්‍යවරයා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය ලබා දෙන ශක්තිය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීම වෙනුවෙන් තර්ක කිරීමට ඇති හැකියාව ස්වීය අවශ්‍යයතා වෙනුවෙන් අගුළු ලෑ අධ්‍යාපන අමාත්‍යංශ ක්‍රීඩා අංශය මෙන්ම පාසල් මලල ක්‍රීඩා සංගමයේ දේශපාලනය ශේප කර ගැනීමේ න්‍යායට අවනත වීමේ ක්‍රියා කළාපයද,ලබා දුන් ආශිර්වාදය ඒ ආකාරයෙන් නෙලා ගැනීමට අපොහොසත් වීමේ වගකීම භාර ගත යුතුය.
ක්‍රීඩා උළෙල කළෙකින් ගමට යාම ගැන උදම් අනමින් අධයාපන අමාත්‍යවරයා ඉදිරියේ ලකුණු ලබා ගන්නා අධ්‍යාපන ක්‍රීඩා බලධාරීන් එම තත්ත්වය ශ්‍රී ලංකාවට කෘතිම ධාවන පථයක් නොමැති කළ සිදු වූ බව අමාත්‍යවරයාට හෝ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට වටහා දෙන්නට හෝ තරගාවලිය බෙලිඅත්තට ගෙන යාම නිසා ක්‍රීඩා ශක්‍යතා වල වර්ධනයේ බලපෑමක් මෙන්ම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ පරිසාධන මට්ටම්වලට පිවිසීමට ඇති අවස්ථා වැළකී යාම පිලිබදව කියන්නට ඔවුන්ගේ දිව වල් පැටලී තිබිණ.
දේශපාලනඥයන් සිය කාර්යයෙන් උපරිම සහ වැදගත්ම ප්‍රතිපලය බලාපොරොත්තු වන බව තේරුම් ගන්නට නොහැකි නිලධාරි නඩයක් ස්ව කැමැත්තෙන් ස්වීය කොදු නාරටි බිද ගෙන සිටින තත්ත්වයක දේශපාලනඥයන්ගේ වෙහෙසද හිල් කල වලට වතුර පිරවීමක් ලෙස අවසන් වන අතර එහි යම් යම් ඉස්මතු වීම් සළකා කරනු ලබන ඝෝෂාවන් හිස් කළ සෙලවීමක්ම පමණක් බව ද සිහි තබා ගැනිම වටින්නේය.
www.supirikrida.com

ශ්‍රී ලංකාව අද මුම්බායි අර්ධ අවසන් පූර්ව තරග වලට

ආසියානු එච්එස්බීසී සත් සාමාජික රගර් තරගාවලිය යටතේ මුම්බාය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන සත් සාමාජික රගර් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටය සදහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය.එහි මූලික වට වලදී ශ්‍රී ලංකාව තරග තුනකට මුහුණ දුන් අතර එහිදී ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ගෙන තරගයක් ජය ගැනීමට සමත් විය.
මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලකුණු 31 - 19 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව ඉරානයට පරාජය අත් කර දුන්නේ ලකුණු 24 - 0 ක් ලෙස ය.චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාව ලකුණු 12 ක් රැස් කරන විට චීනය ලකුණු 28 ක් ලැබීමට සමත් විය.
www.supirikrida.com