Jul 6, 2012

බොල්ට් ට වේදනාකාරී පරාජයක්

ජැමෙයිකානු ඔලිම්පික් තේරීම් තරග වල දී මීටර් 100 ඉසව්වෙන් යොහාන් බ්ලේක් ට පරාජය වී සිටි උසෙයින් බෝල්ට් යළිත් මීටර් 200 ඉසව්වේදී බ්ලේක්ටම පරාජය විය.මීටර් 100 ඉසව්වේදී මෙන්ම මීටර් 200 ඉසව්වේද වසරේ ලොව හොදම කාලය වාර්තා කරමින් බෝල්ට්ව පරාජය කරන්නට බ්ලේකට හැකි වීම විෂේශත්වයක් වන අතර එය බෝල්ට් ගේ ඔලිම්පික් රන් පදක්කම් බලාපොරොත්තු වලට මෙන්ම ලෝක වාර්තා වලට ද කරන ලද සෘජු අනතුරු ඇගවීමක් බදුය.නමුත් ඇමෙරිකානු කෙටි දුර ආදිපත්‍යයට එරෙහිව දියත් කරන ජැමෙයිකානු අභියෝගයට සතුටු විය හැකි ප්‍රතිපලයක් වූ බ්ලේක් ගේ අලුත් පිබිදීම මෙවර ඔලිම්පික් උළෙලේ දී ජැමෙයිකාවට බෙයිජිං ඔලිම්පික් උළෙලටත් වඩා යහපත් ප්‍රතිපල ලැබෙන බවට කළ ඉගියක් බදුය.
මීටර් 200 ඉසව්වේ දී බෝල්ට් ව පරාජය කළ බ්ලේක් තත්පර 19.80 ක කාලයක් වාර්තා කළ අතර බෝල්ට් තත්පර 19.83 ක කාලයක් වාර්තා කරන්නට සමත් විය.මීටර් 100 පරාජයට වඩා මෙම පරාජය බෝල්ට් සසල කළ පරාජයක් ලෙස දැකිය හැකි අතර බෝල්ට් තත්පර 19.19 ක ලෝක වාර්තාව පමණක් නොව තත්පර 19.93 ක් වූ කණිෂ්ඨ ලෝක වාර්තාවේද හිමිකරුය.එපමණක් නොව,තත්පර 20.13 ක් ලෙස ඔහු යෞවන වියේදී දක්වා ඇති දක්ෂතාවය ලොව යෞවනයෙකු විසින් මිටර් 200 ඉසව්වට දැක් වූ හොදම දක්ෂතාවය හැටියට ද සැළකේ.ඒ අනුව මීටර් 100 ට වඩා දක්ෂතාවයන් අතින් ඓතිහාසික ඥාතිත්වයක් ඇති මීටර් 200 ඉසව්ව පරාජය වීම බෝල්ට් ට මීටර් 100 පරාජයට වඩා දරුණු අත්දැකීමක් වනු සැක නැත.
www.supirikrida.com

No comments: