Dec 24, 2011

සතියක් තුළ දෙවන වතාවටත් සෙලාන්, හැටන් නැෂනල් බැංකුව පරදවයි ජාතික සූරතාවලියේ දැල් පන්දු රැජිණ ගයාත්‍රි ලංකාතිලක



වසර අවසාන වීමට ප්‍රථම ජාතික දැල් පන්දු සූරතාවලිය පැවත්වීමට සමත් වූ දැල් පන්දු අතරු පාළක කමිටුවේ උත්සාහය ටොරිංටන් පිටියේදී නිමාව දුටුවේ වසර ගණනක සිට සිදුවන පරිදි සෙලාන් බැංකු කණ්ඩායමට සූරතාවයත් හැටන් නැෂනල් බැංකු පිළට අනු සූරතාවයත් හිමි කර දෙමින්ය.මෙවර විශේෂත්වය වූයේ හැටන් නැෂනල් බැංකු පිළ සහ සෙලාන් බැංකු පිළ මේ සතියේ හමු වූ දෙවන අවස්ථාව මෙය වීමය.එම හමුවීම් දෙකම සුපුරුදු පරිදි සෙලාන් බැංකුවට සූරතාවය හිමිකර දෙමින් අවසන් වූ අතර ජාතික සූරතාවලියේ අවසාන තරගයේ ප්‍රතිපලය වූයේ ලකුණු 69 ට 62 කි.

නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී තරගයක දී දක්ෂතම ක්‍රීඩිකාව පවා වූ සදුනි බොල්ලෑගල මේ තරග වාරයේ සෙලාන් බැංකු පිලේ දකින්නට නැති අතර ලෝක කුසලාන තරගාවලියේ එවැනි දස්කමක් කළ අනෙක් ක්‍රීඩිකාව වන ගයත්‍රී ලංකාතිලක හැටන් නැෂනග් බැංකු කණ්ඩායම වෙනුවෙන් ප්‍රදර්ශණාත්මක තරගයක නියැලෙමින් මෙවර ජාතික දැල් පන්දු සූරතාවලියේ රැජිණ ලෙසින් අබිෂේක ලද්දාය. දැනට මලාවි හී එස්කොම් සිස්ටර් දැල්පන්දු කණඩායමට ක්‍රීඩා කරන හිටපු  ශ්‍රී ලංකා උප නායිකා ඉරේෂා හර්ෂණී  සිය මව් කණ්ඩායමට අවශ්‍යය සේවය ලබා දීම පිණිස ලංකාවට පැමිණ සිටි නිසා සදුනි ගේ අඩුවෙන් පමණක් සෑහෙන්නට සෙලාන් බැංකු පිළට හැකි විය.
මෙවර ජාතික සූරතාවලියේ දී සෙලාන් බැංකු පිළට සිය සුපුරුදු පුහුණුකාරිය ගේ සේවය අහිමි වී තිබීමද කැපී පෙණින.බිද වැටී තිබූ ජාතික කණ්ඩායම යළි ආසියාතික සූරියන් දක්වා ගෙන ඒමට කැප වුණු තිලකා ජිනදාස සැළසුම් සහගත ලෙස ජාතික පුහුණුකාරියගේ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ පසු මේ වන විට බෘනායි හී දැල් පන්දු සංවර්ධනය භාරව කටයුතු කරන්නීය.

ජාතික සූරතා අවසන් තරගයේ ප්‍රථම කාර්තුව ලකුණු 18 – 15 ක් ලෙස ඉදිරියෙන් සිටි සෙලාන් බැංකු කණ්ඩායම දෙවන අර්ධය නිමා කළේ  36 – 28 ක් ලෙස ය.තෙවන කාර්තුව නිම වන විට ලකුණු 11 ක් දක්වා වැඩි කර ගෙන සිටි සෙලාන් ක්‍රීඩිකාවන් ලකුණු පූවරුව 53 – 42 ක් ලෙස වර්ධනය කර ගත්තද හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තරගයේ අවසාන භාගයේදී තරගයට අවතීර්ණ වෙමින් එම කාර්තුව 20 – 16 ක් ලෙස ජය ගත්ත ද, මුල් කාර්තු වල සෙලාන් බැංකුව ලබා සිටි වාසිදායක තත්ත්වය නිසා ඔවුන්ට සූරතාවය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනැගිණි.
තරගාවලියේ දක්ෂතම විදින්නිය ලෙස ලොව හොදම විදින්නිය ලෙස ද අභිෂේක ලබා සිටින සෙලාන් බැංකු කණ්ඩායමේ තර්ජණී සිවලිංගම් තේරී පත් වුණු අතර හොදම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ද උප නායිකාව ලෙස කටයුතු කරන විරාජි චාමරිකා තේරී පත් වූවා ය.හොදම මැද පෙළ ක්‍රීඩිකාව වූයේ සෙලාන් කණ්ඩායමේ ජයලිය කුමාරි ය.නැගී එන ක්‍රීඩිකාව ලෙස කැම්බෙල් ක්‍රීඩා සමාජයේ දිල්ෂානි ධයෝධ්‍යා තේරී පත් වුණු අතර ආකර්ශණීයම කණ්ඩායම ලෙස බෝගම්බර  ක්‍රීඩා සමාජය තේරී පත් වූවා ය.

No comments: