Sep 8, 2012

ලක් පාපන්දු වනිතාවෝ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය වාර්තා කරති

කුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයෙන් භූතානය පරාජය කරමින් ගෝල් 4 - 0 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලාංකේය කාන්තා පාපන්දු ඉතිහාසයේ වාර්තා වූ ප්‍රථම අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූහ.ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල 2ක් පළපුරුදු ක්‍රීඩිකා එරන්දි කුමුදුමාලා ලියනගේ වාර්තා කළ අතර ඉතිරි ගෝල් දෙක තවමත් පාසල්වියේ පසුවන 17 හැවිරිදි ප්‍රවීනා පෙරේරා ගේ පාදයෙන් වාර්තා විය.එරන්දි ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන අතර ප්‍රවීනා තවමත් කැළණීය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවකි.
මීට පෙර ජාත්‍යන්තර තරග වලදී භූතානය හමු වී ඇතත් ජය ගැනීමට හැකි වී නැති අතර ඒ අවස්ථාවේදී තරගය ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.කණ්ඩායම් පුහුණුකරු මහින්ද ගලගෙදර ප්‍රකාශ කළේ කණ්ඩායමේ හරි අඩක්ම ඉතාමත් තරුණ වියේ පසුවන ජවසම්පන්න ක්‍රීඩිකාවන් වීමත් ඒ අතරට හරි සමානව මෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සිටීමත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු පාලනය සහ පන්දු පාලනයේ වේගවත් බව ඉහළ මට්ටමක පවතින බවය.
පුහුණුවේ දී තමා ඇරබික් ව්‍යායාම ආදිය භාවිතයට ගත් බවත් ඒවා කණ්ඩාමේ ක්‍රීඩා විලාශය එක රිද්මයක පවත්වා ගැනීමට මෙන්ම කණ්ඩායම් හැගීමෙන් එක ඒකකයක් හැටියට ක්‍රියා කිරීමටත් හැකි වී තිබීම සතුටුදායක තත්ත්වයක් බව මහින්ද පවසන්නේය.
භුතාන තරගයට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ අන්තර්ජාතික තරගාවලි තුනකදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 27 ක් රැස් කර ඇති අතර ශ්‍රී ලංකාව ලබා ගෙන තිබුණේ ගෝල 2 ක් පමණක් බවත් පැවසූ මහින්ද ඒ අනුව බලන විට මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව ලැබූ විහාල ජයක් බව පැවසීය.ඊ ළග තරගයේදී ඉන්දියාවට එරෙහිව මහා විප්ලවයක් කරන බව තමා නොකියන නමුත් හොද තරගයක් ලබා දීම තම අපේක්ෂාව බවත් පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකකට පමණක් මුහුණ දී ඇති ඉන්දියාව එහිදී ගෝල 15 ක ප්‍රමාණයක් රැස් කර ගෙන ඇති බව පෙන්වා දෙන මහින්ද,දකුණු ආසියාවේ වර්ථමාන කාන්තා පාපන්දු දැවැන්තයන් එක් වරම උස්සා පොළවේ ගසන්නේයැයි වහසි බස් කීමට තමා සූදානම් නැතැයි පැවසීය.එහෙත් මේ තරුණ පාපන්දු කණ්ඩායම වෙනස්කමක් කළ හැකි සහ අනාගතය වෙනුවෙන් රැකගත යුතු කණ්ඩාවමක් බව මහින්ද පෙන්වා දුන්නේය.
කණ්ඩායම් කළමණාකාරිය සුධර්මා ජයවර්ධන තරග මානසික මට්ටමෙන් සිටින ක්‍රීඩිකාවන් සියල්ලෝම දැඩි විනයකින් ඒ සදහා කැපවීමෙන් ක්‍රියා කරන නිසා භූතානයට එරෙහිව ජයෙන් නොනවතින ජයග්‍රාහී ගමණකමේ තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යොදනු ඇතැයි අපේක්ෂා කරයි.
www.supirikrida.com

ආදිවාසීහු මැති ඇමතින්ට විරුද්ධව ගැටෙති

CSN CHAMPS බදුල්ල දිස්ත්‍රික් වැඩ සටහනට සමගාමීව ආදි වාසීන් සහ පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන් සහ ආදිවාසීන් අතර ක්‍රිකට් තරගයක් පැවත්වීමට කටයුතු යොදා තිබේ.බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 14 දා පැවත්වෙන මෙම ක්‍රිකට් තරගයට මැති ඇමති කණ්ඩායම නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ගේ නායකත්වයෙන් කණ්ඩායමක් පිටියට පිවිසෙන අතර ආදි වාසී කණ්ඩායමේනායකයා ලෙස කටයතු කරන්නේ ඌරුවරිගේ හීන්බණ්ඩා ඇත්තන්ය.ඔහු වැදි නායක වන්නියැලැත්තන්ගේ හයවන පුත්‍රයා වීම විශේෂත්වයකි.
දැනට CSN  නාලිකාවේ අධීක්ෂනය සහ මග පෙන්වීම මත ක්‍රිකට් පුහුණුව සිදුවන ආදි වාසි ක්‍රිකට් කණ්ඩායම මෙම  තරගයට මුහුණ දීමට සූදානමින් සිටින අතර අලහප්පෙරුම අමාත්‍යවරයාගේ කණ්ඩායමට අමාත්‍ය ඩිලාන් පෙරේරා,පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ වැනි පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂ කෙරේ.
www.supirikrida.com

චීන කඩු හරඹවලට රන් පදක්කම් පහක්

න්ඩන් පැරා ඔලිම්පික් උළෙලට ඇතුළත් වූ කඩු හරඹ ඉසව් නවයෙන් ඉසව් පහකම රන් පදක්කම් චීනයට රැගෙන යන්නට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වී ඇත.ඊට අමතරව රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් ද අතුළුව කඩු හරඹ ඉසව් වලදී සමස්ත පදක්කම් නවයක් දිනා ගැනීමට ද චීනයට හැකි වී ඇත.ඉතිරි පදක්කම් බෙදී යාමේදී චීන හොංකොං කණ්ඩායම සෙසු රටවල් අභිබවමින් රන් පදක්කම් දෙකක් රිදී එකක් සහ ලෝකඩ තුනක් ලෙස සමස්ත පදක්කම් නවයක් එකතු කර ගනිමින් චීනයට පමණක් පසු පසින් වන අතර ඉන් අනතුරුව එම ඉසව්වේ වැඩි දස්කම් දක්වා ඇත්තේ රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගත් හංගේරියාවයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ චීනය වෙත ජයග්‍රහණය ගෙනවිත් දුන් ජිඇන්ග් රොන්ග්,බේලි වු සහ ෆෑන්ග් යාවො ය.
www.supirikrida.com

CSN සූරයෝ සොයා බදුල්ලට

CSN CHAMPS වැඩ සටහන යටතේ ක්‍රිකට්, පාපන්දු,වොලිබෝල්,දැල් පන්දු,රගර් සහ හොකී ක්‍රීඩාවන්ට දක්ෂයන් ජාතියට හදුන්වා දීමේ වැඩ සටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ දක්ෂයන් තෝරා ඉදිරිපත් කිරීමේ වැඩ සටහන සැප්තැම්බර් 14 දා බදුල්ලේ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට නියමිතය.ඉකුත් ජූලි මාසයේ මාසතරින් ඇරඹි ‍ CSN CHAMPS   වැඩ සටහනේ දෙවැන්න ලෙස බදුල්ලේ පැවත්වෙන මෙම වැඩ සටහනට ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම අදාළ ක්‍රීඩාවන්හී සංගම් සහ සම්මේලන ද මේ සදහා දායකත්වය දක්වති.
මාතර පැවති  CSN CHAMPS   වැඩ සටහනට දහසකට අධික පිරිසක් සහභාගි වූ අයුරෙන්ම මෙම වැඩ සටහනට ද විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ ආකාරයෙන් හදුනා ගන්නා දක්ෂයන් ජාතික තලයට රැගෙන එමින් ජාතික මට්ටමේ තේරීම් වලදී දක්ෂතා දක්වන දක්ෂයන් ජාතික සංචිත වලට ඇතුළත් කිරීමට වැඩ කටයුතු සැළසුම් කර ඇත.
මේ සදහා සහභාගි වීමට කැමති බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ මේ සදහා වන අයදුම්පත් ලබා ගැනීමට හැකි අතර 14 දා පෙරවරුවේද ඒ සදහා අවස්ථාව සළසා ඇත.දැනට දිස්ත්‍රික්කයේ පාසල් සදහා විදුහල්පතිවරුන් මගින් ඉල්ලුම්පත් ලබා ගැනීමට හැකි පරිදි කටයුතු සැළසුම් කර ඇති අතර 0718 513337 දුරකථන අංකයෙන් මේ පිළිබදව වැඩි තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com

Sep 7, 2012

දකුණු ආසියාතික කාන්තා තරගාවලිය වැස්ස සමග ගැටෙයි

ද ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිත දකුණු ආසියාතික පාපන්දු තරගාවලිය වර්ෂාව සමග ගැටෙමින් පවත්වා ගෙන යාමේ අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී ඇත.එහි ප්‍රථම තරගය අද උදෑසන සිට කොළඹට කඩා වැටෙන ධාරානිපාත වර්ෂාව සමග පෙ.ව.8.30 ට සීආර් පිටියේදී ආරම්භ කිරීමේ අභියෝගයට මුහුණ දෙමින් දැඩි වර්ෂාව මධ්‍යයේ තරගය ක්‍රියාත්මක වන බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.ඉන්දියාව සහ බංගලාදේශය අතර මෙම තරගය වැසි මැද පැවත්වෙන අතර
කොළඹ සීආර්එෆ්සී ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාභි වේ.  අද ප.ව.2.30 ට තරගාවලියේ සමාරම්භක උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතව ඇත.ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරගය අද භූතානය සමග ප.ව.3.30 ට ඇරඹීමට නියමිත අතර නමුත් මේ වන විට ලොන්ඩන් ප්‍රදේශයට පතිත වන වර්ෂාව හේතුවෙන් වැසි සමග තරග කිරිමෙන් ක්‍රිඩා පිටියේ තත්ත්වය ද නරක අතට හැරිය හැකි බැවින් සියලු කටයුතු අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.
කාණ්ඩ දෙකක් යටතේ තරගාවලියේ මූලික තරග ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව තරග වදින්නේ ඒ කාණ්ඩයෙන්ය.එම කාණ්ඩයට ඉන්දියාව,භූතානය සහ බංගලාදේශය අයත් වන අතර බී කාන්ඩයට පකිස්තානය,නේපාලය,මාල දිවයින සහ ඇෆ්ගනිස්ථානය සහභාගි වේ.කෙසේ හෝ මේ වන විටත් තරගාවලියට කණ්ඩායම් අටම සහභාගි වන බව ප්‍රකාශ වී ඇති අතර දකුණු ආසියාවේ සියළුම කණ්ඩායම් තරගාවලියට එක්කර ගැනීමට හැකි වීම සංවිධායකයන් ලද ජයක් ලෙස හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ දෙවන තරගය පැවත්වෙන්නේ ඉන්දියාවට එරෙහිවය.එම තරගය නව වන දා පෙ.ව.8.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.එකළොස් වන දා ප.ව.3.30 ට ශ්‍රී ලංකාව මූළික වටයේ අවසාන තරගයට බංගලාදේශයට එරෙහිව මුහුණ දීමට නියමිතය.
තරගාවලියේ අවසාන පූර්ව තරග  14 දා ක්‍රියාත්මක විමට නියමිත අතර පළමු අවසාන පූර්ව තරගය පෙ.ව.8.30 ට සහ අවසාන තරගය ප.ව.3.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.තරගාවලියේ අවසාන තරගය 16 වන දා ප.ව.3.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන කුමාරි ජයරත්න නායකත්වය දෙන අතර උප නායකත්වය දරන්නේ ශසිකා රම්මි ය.ඇය ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන්නීය.කණ්ඩායමට පාසල් සිසුවියන් සිව් දෙනෙකු සහ එක් සරසවි සිසුවියක් ඇතුළත්ව සිටීම කැපී පෙනෙන සිදුවීමකි.කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහින්ද ගලගෙදර කටයුතු කරන අතර,ශානිකා රාජපක්ෂ සහ මේනකා දිසානායක සහය පුහුණුකාරිනියන් ලෙස කටයුතු කරයි.කණ්ඩායමේ භෞත චිකිත්සක ලෙස එම්ඒ භාසිත් කටයුතු කරන අතර කණ්ඩායම් කළමණාකාරියගේ වගකීම දරන්නී සුධර්මා ජයවර්ධනයි.
www.supirikrida.com

ප්‍රිස්ටෝරියස් යළි පැරදෙයි

The medal winners in the men's 100m - T44 Final pose on the podium
සිය දෙපය අහිමි වුව ද සාමාන්‍ය මිනිසුන්ගේ ධාවනයට අභියෝග කරමින් සිය කෘතිම දෙපයේ ශක්තියෙන් ඔලිම්පික් නියෝජනයට පවා අවස්ථාව ලද ඔස්කා ප්‍රිස්ටෝරියස් මෙවර පැරා ඔලිම්පික් උළෙලේ දී මේ දක්වා ඉදිරිපත් වූ ඉසව් දෙකෙන්ම පරාජයට පත් වී ඇත.සිය කෘතිම පාද වලින් ඉපැයෙන ශක්තිය කෘතිම බවට ගෙනා තර්ක ප්‍රතික්ෂේප කළ ප්‍රිස්ටෝරියස්ම මීටර් 200 ඉසව්වේදී ඔහු පරාජයට පත් වීමෙන් ඉනික්බිතිව එය ජයගත් බ්‍රසීල ක්‍රීඩක ඔලිවේරා ගේ පාදවල අස්වාභාවික බව ප්‍රශ්න කළ අතර ඉන් අනතුරුව පැවති මීටර් 100 ඉසව්වේදී ප්‍රිස්ටෝරියස් එංගලන්තයේ ජොනී පීකොක් අතින් පරාජයට පත්විය.
පීකොක් අතින් පරාජයට පත් වීමෙන් නොනැවතී ප්‍රිස්ටෝරියස්ට කිසිදු පදක්කමකට යාමට ද ඉඩක් නොලැබි අතර දෙවන ස්ථානය ඇමෙරිකාවේ රිචඩ් බ්‍රවුන් ද තෙවන ස්ථානය ප්‍රිස්ටෝරියස්ගේම රට වන දකුණු අප්‍රිකාවේ ආර්නු පෝරිට ද ලබා දී ප්‍රිස්ටෝරියස්ට සිව්වන ස්ථානයෙන් සීමා වන්නට සිදු විය.මෙහිදී එංගලන්තයේ පීකොක් නව පැරා ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් තත්පර 10.90 ට ඉසව්ව නිමා කරන්නට සමත්විය.
මේ වන විට මීටර් 400 ඉසව්ව පමණක් ඉතිරිව ඇති අතර එම ඉසව්වෙන් ඔලිම්පික් තරගයද නියෝජනය කර ඇති ප්‍රිස්ටෝරියස්ගේ ප්‍රබලතම ඉසව්ව ලෙස සැළකෙන මීටර් 400 රන් පදක්කම රැක ගැනීමට ප්‍රිස්ටෝරියස් සියළු උත්සාහයන් දරනු ඇත.ඒ සදහා ඉදිරිපත් වන සෙසු ක්‍රීඩකයන්ට වඩා පෞද්ගලික දක්ෂතා සළකා බලද්දී ප්‍රිස්ටෝරියස් බොහෝ ඉදිරියෙන් සිටියද ඇති වී තිබෙන අලුත් ප්‍රවනතාවය ප්‍රිස්්ටෝරියස අභිබවා යාමට යම් ඉඩක් ඇති බව පැහැදිළි කරන බැවින් අද පැවත්වෙන ටී 44 මීටර් 400 මූලික තරගය මෙන්ම හෙට පැවත්වෙන එහි අවසාන තරගයද ක්‍රීඩා ලෝකයේ විශාල අවධානයකට ලක් ව තිබෙනු දැකිය හැකිය.
www.supirikrida.com

Sep 6, 2012

සංගාට සම්මාන තුනක්!

සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී සම්මාන තුනකට හිමිකම් කියන්නට හ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සමත් වුණා.ජනතාවගේ ක්‍රීඩකයා,වසරේ ක්‍රීඩකයා ලෙස ද සම්මානයට ප.් වූ සංගක්කාර වසරේ හොදම ටෙස්ට් පිතිකරු ලෙස  සම්මානනීය වුණා.හොදම ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් තේරී පත් වෙද්දී,හොදම එක්දින පන්දු යවන්නා ලෙස සම්මානනීය වූයේ ලසිත් මාලංගයි.හොදම එක්දින පිතිකරු ලෙස මහේල ජයවර්ධන සම්මානනීය වූවා.පන්දු යවන්නෙකු ලෙස මහේල ගේ වැඩි අවධානයක් දිනා ගන්නට අපොහොසත් වී සිටින ටිඑම් ඩිල්ෂාන් හොදම එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙසත් දිනේෂ් චන්දිමාල් නැගී එන ක්‍රීඩකයා ලෙසත් සම්මානනීය වුණා.
අවුරුදු 23 න් පහළ තරග අංශයේ මේ වන විට විශාල කැළඹිල්ලක් ඇති කර තිබෙන දග පන්දු යවන අකිල ධනංජය පරයා රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ තරිදු කෞශල්‍යය හොදම පන්දු යවන්නා ලෙස තේරි පත් වුණා.කාන්තා අංශයේදී සම්මාන කිහිපයකටම සුදුසුකම් ලද ෂරීනා රවිකුමාර් කැපී පෙණුනා.සියළු තොරතුරු සදහා පිවිසෙන්නට මේ සමග වන http://www.islandcricket.lk/blogs/srilankacricket/budditha/ceat-awards-2012 තෙරපීමෙන් සියැට් නිල වෙබ් අඩවියට පිවිසෙන්නට හැකියාව ලැබෙනවා.
www.supirikrida.com