Feb 27, 2012

යුවරාජ්,සිහින දකින්නට එන්න


විවාදිතය.
වත්මන් ක්‍රිකට් පිටියේ සිටින සුවිශේෂීම සටන්කාමී ක්‍රීඩක ගොන්නේ ඔහු සිටින්නේ මුල් පෙළේය.වරෙක පන්දුවෙන් ද තවත් වරෙක පිත්තෙන් ද නැතිනම් විශ්මය දනවන පන්දු රැකීමකින් ද ඔහු ඉන්දියාව වෙතින් ඉවතට ඇදෙන තරගය යළි ඉන්දියාව දෙසට හරවා දුන් අවස්ථා එමටය.ඔහු පරාජය කිරීම ඉන්දියාව පරාජය කරනවාටත් වඩා අපහසු බව සිතෙන්නට තරම් නොසිතූ විරූ දේ කරන මේ අපූර්ව ක්‍රීඩකයා ගෙවුණු ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවට දිනා දීමට පෙරමුණ ගත්තේ තරගාවලියේ වීරයා වෙමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙමින්ය.
එහෙත් ඔහු පරාජය කළ හැකි අයෙක් එක් වරම මතුවිය.ක්‍රිකට් ලෝකයම විශ්මයාර්ථය දනවමින් ඒ දෙස බලා උන්නේය.ප්‍රතිවාදියා නමින් පිළිකාව විය.නමුත් යුවරාජ් සිං නම් මේ සටන්කාමියා ක්‍රිකට් පිටියට ගෙනවිත් තිබුණේ ඔහුගේ ලේ බිදුවල පැටලුණු නිර්භීත සටන්කාමීත්වයක් බව පැහැදිළි කරමින් නවීන වෛද්‍ය විද්‍යාවේ උපකාරයෙන් අති සාර්ථකව එම සතුරා මඩිමින් සිටින්නේය.රසායනික සහ විද්‍යුත් ප්‍රතිකාර කුම මගින් කෙරෙන ප්‍රතිකර්ම හරහා සුවය ලබමින් සිටින යුවරාජ් ට යළිත සිහින දකින්නට හැකිවී ඇත.
ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට බිද වැටෙමින් සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ හැකියාවන් සුරක්ෂිත කිරිමට යළිත් යුවරාජ් වැනි සටන්කාමින් පැමිණිම ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේද සිහිනය වී ඇත.ලොව වැඩිම දෙවන ජනගහනය සිටින රට මෙන්ම ලොව ක්‍රිකට් ක්‍රීඩාවට වශි වූ කෝටි සංඛයාත ජන ගංගාවක ආශිර්වාදයද සහිත යුවරාජ් ට දැන් යළිත් සිහින දකින්නට හැකිය.ලොව අති ප්‍රබල පන්දු යවන්නන් අන්දමන්ද කරමින් ක්‍රීඩා පිටියෙන් ඉවත පතිත වන අති දැවැන්ත හයේ පහරවල් මෙන්ම,අති විශිෂ්ඨ පිතිකරුවන් දවාලිය හැකි යුවරාජ් ගේ වමත් දග පන්දුවද විශ්මය දනවන පන්දු රැකීම් ද ක්‍රිකට් පිටියේ චමත්කාරය ප්‍රාර්ථනා කරන්නවුන් ගේ සිහිනයන් අතර ප්‍රබලය.ඉතිං ඒ සිහින සැභෑ කරන්නට යුවරාජ් ඔබට හැකියාව ලැබීම ක්‍රිකට් ආනන්දයේ වාසනාවමය.  

“තරුණ පුහුණුකරු” වරායට වැටෙයි



ලෙකට පෙර තරුණ සේවා වොලිබෝල් කණ්ඩායම පුහුණු කරමින් සිටි අයෙක් එය හැර ගිය පසු,නැවත තරුණ සේවා කණ්ඩායම ගොඩ නැගීමට ඇප කැප වූ පුහුණුකරුවන් දෙදෙනෙකු උපක්‍රමශීලීව එයින් එළවා දැමූ අයෙක් යළිත් තරුණසේවා පුහුණුකරු ලෙස පත් වී ආවත් මේ මොහොතේ ඔහු වැඩි කාලයක් වැය කරන්නේ,ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පුහුණු කිරීමට බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.වරෙක,ඔහු තරුණ සේවා කණ්ඩායම අතරමං කර දමා හැර යාම වත්මන් සභාපතිවරයාගෙන් වසන් කරමින් තරුණසේවා සභාවේම ක්‍රීඩා අංශයේ ප්‍රධානියෙකු නැවත තරුණ පුහුණුකරුවන් දෙදෙනා වෙනුවට මොහුව නැවත පුහුණුකරු ධූරයට ගෙන ඒමට පිඹුරුපත් සකස් කර ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි. මේ වන විට ක්‍රියාත්මක ජාතික තරගාවලියේ දී තරුණසේවා කණ්ඩායම බී කොටසින් පිටියට කැදවන්නට පිඹුරුපත් සකස් කර ඇති මෙම පුහුණුකරු වරාය අධිකාරියේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් පුහුණු කළ ශ්‍රී ලංකාවේ හිටපු සුවිශේෂී ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු  දවන අයෙකුගෙන් කාන්තා කණ්ඩායම වෙන් කර සියතට ගැනීමට උපක්‍රමශීලීව කටයුතු කර ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි

ගෙබ්රලාසිගේ ටෝකියෝ පැතුම බොද වෙයි

A convincing victory for Michael Kipyego in Tokyo
මිචෙල් කිප්යෝගෝ
ලොව බිහි වූ සුවිශේෂිතම දුර ධාවකයා ලෙස විරුදාවලි ලත් ඉතියෝපියානු ජාතික හේලි ගෙබ්රලාසි කලෙකට පසුව යළි මැරතන් පිටියට පිවසෙමින් ටෝකියෝ මැරතන් තරගයට ඉදිරිපත් වුව ද,එහි ජයග්‍රහණය පිළිබද තිබූ බලාපොරොත්තු සුණු විසුණු කරමින් තරගයේ ජය කෙන්යවේ මිචෙල් කිප්යෝගෝ ජය ගත්තේය.තරගයේ සිව්වන ස්ථානය දිනා ගත් ගෙබ්රලාසි පැය 2:08:17 ක් ගත කළ අතර ජයග්‍රාහී මිචෙල් ගේ කාලය පැය 2:07:37 ක් විය.
දුර ධාවනයට ප්‍රකට ඉතියෝපියානු සහ කෙන්යානු ජාතික ක්‍රීඩකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ රත්තරන් ල්බලය යටතේ ක්‍රියාත්මක තරගයක් වන ටෝකියෝ තරගයේ දෙවන ස්ථානය ජපන් ජාතික අරාටා ෆුජිවාරා දිනා ගත්තේ සිය පෞද්ගලික හොදම කාලය වාර්තා කරමින්ය.ඒ පැය 2:7:48 ක කාලයක් වාර්තා කරමින්ය.

Feb 26, 2012

ඉන්දියාව අද තීරණාත්මක තරගයක




කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේ ඉන්දියාව අද සහභාගි වන තරගය අතිශයින් තීරණාත්මක වන අතර අද තරගය පරාජය වුවහොත් තව දුරටත් මෙම තරගාවලිය තුළ ඉන්දියාවට රැදී සිටීමට අවකාශයක් නොලැබීමට ඉඩ ඇත.මේ වන විටත් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ඉන්දියාව තමන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයගැනීම අනිවාර්යය වී ඇති තත්ත්වයක සිට මෙම තරගයට මුහුණ දෙන්නේය.
පන්දු ඕවර් ප්‍රමාණය යැවීමට නියමිත වේලාවට වැඩි කාලයක් ගැනීමේ චෝදනාව මත තරගයක තරග තහනමක් විදි මහේන්ද්‍ර සිං දෝනි අද තරගයට පැමිණීම ඉන්දියාව පැත්තෙන් ශක්තියක් වුව ද,ඕස්ට්‍රේලියාව  ද ආබාධිත තත්ත්වයෙන් මිදී යළි පිටියට පිවිසි නායක මයිකල් ක්ලාක් ගේ නායකත්වය ඕස්ට්‍රේලියාවට ද ඉමහත් ශක්තියකි.තරගාවලිය පුරා කණ්ඩායම් තුනේම නායකයන් (ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන) දක්වන දක්ෂතා ඉහළ මට්ටමක පවතින අතර තිදෙනාම නායකයන් ලෙස ඉහළ දස්කම් දක්වමින් සිටියි. එම තිදෙනා අතරෙන වඩාත් අත්දැකීම් බහුල සහ කීර්තිමත් නායකයා වන්නේ මහේල ජයවර්ධන වන අතර ඒ තත්ත්වය මේ වන විට පැවති තරග වලදී ඔහු විසින් මනාව පැහැදිළි කර ඇත.

ලන්ඩන් ඔලිම්පික් යන අඹු - සැමියෝ


මෙවර ඕස්ට්‍රේලියානු ඇවිදීමේ පිරිමි සහ කාන්තා සූරතාවයන් පිළිවෙලින්  ජයගත් ජෙරාඩ් ටැලන්ට් සහ ක්ලෙයා ටැලන්ට් අඹු-සැමි යුවළ එම ජයග්‍රහණ හරහා 2012 ලන්ඩන් ඔලිම්පික් අළෙල සදහා සුදුසුකම් ලබා ගත්තේය.මීට පෙර 2008 බීජිං ඔලිම්පික් උළෙලේ අවිදීමේ තරග ඉසව්වෙන් රිදී සහ ලෝකඩ පදක්කම් ලබා සිටින ජෙරාඩ් අත්දැකීම් ඇති ඇවිදීමේ සූරයෙකු වන අතර ඇයගේ බිරිදද මෙවර එම හැකියාවන් හි ආශිර්වාදය තුරුළු කර ගනිමින් මෙවර ඔලිම්පික් නියෝජනය සදහා ඇවිදීමේ  ඉසව්වෙන් ඉහළම සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනෙයි.
මෙවර ඕස්ට්‍රේලියානු ඇවිදීමේ තරගාවලියේදී ජෙරාඩ් සහ සිය බිරිද පමණක් නොව ජෙරාඩ් ගේ යොවුන් සහෝදරිය වන රැචෙල් ටැලන්ට් ද මෙහිදී අවුරුදු 20 න් පහළ කාන්තා තරගය ජය ගන්නට සමත් වූවාය.

ඩිල්ෂාන් ගේ තුන් ඉරියව්වට ඇණ ගසයි




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පසුගිය කාලයේ ප්‍රකටව සිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස පමණක් නොවන අතර විශේෂයෙන් ඔහු එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මෑත අතීතයේ පෑ දක්ෂතා ප්‍රශස්ත මට්ටමක විය.පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වීරයා වීමට යුවරාජ් සිං සහ ඩිල්ෂාන් අතර තියුණු තරගයක් ඇති වුයේ ද මෙම තන් ඉරියව් දක්ෂතා පදනම් කර ගෙනය.නමුත් මේ වන විට ඩිල්ෂාන් පන්දු යැවීම සදහා යොදා ගැනීමට නායක මහේල ජයවර්ධන කිසිදු උනන්දුවක් නොදක්වන්නේය.ඕස්ට්‍රේලියාව ලකුණු 280 ක් දක්වා ගමන් කරන අවස්ථාවේද ඩිල්ෂාන් ව අත්හදා බැලීමට හෝ මහේල උනන්දුවක් නොදැක්වීම කණ්ගාටුදායකය.
රංගන හේරත්ව දිගින් දිගට යොදා ගැනීම වෙනුවට සචිත්‍ර සේනානනායක වැනි ක්‍රීඩකයෙකු යොදවා ගෙන ඔහුගේ සහයට ඩිල්ෂාන් ගේ පළපුරුද්ද ද යොදා ගෙන කණ්ඩායමේ තුන් ඉරියව් හැකියාව ඉහළ මට්ටමකින පවත්වා ගැනීමට මහේල කල්පනා නොකිරීම විමතියට කරුණකි.මේ තත්ත්වය මත ඩිල්ෂාන් එක ළග අවස්ථා කිහිපයක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වුවහොත් කණ්ඩායමෙන් ඉවත් කිරීමට පහසු මාවතක් සැකසෙමින් තිබෙන අතර ඔහුට පන්දු යැවීමට අවස්ථාව ලබා දුනහොත් ඔහුට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම තුළ වඩාත් ස්ථාවරව සිටිමට ඉඩකඩ සැළසේ.
මහේල ජයවර්ධන විශිෂ්ඨ නායකයෙකු ලෙස උපක්‍රමශීලී වන අයුරෙන්ම තමන්ට අවශ්‍යය ක්‍රීඩා සංයුතිය දක්ෂතා දෙවන කොට සළකා සකසා ගන්නට උත්සාහ කරන්නේනම් එම දක්ෂතාවය ක්‍රිකට් වලට එතරම් හිතකර එකක් නොවන්නේය.

Feb 25, 2012

ශ්‍රී ලංකාව කොමන්වෙල්ත් බැංකු තරගාවලියේ අවසාන තරගයට ?

Dinesh Chandimal and Kumar Sangakkara have some fun at practice
දැනට ක්‍රියාත්මක කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අවස්ථාවක් මේ වන විට සෑදි ඇත.කණ්ඩායමකට තරග 8 ක් හිමි වන අතර මේ වන විට තරග 6 බැගින් නිමකර තිබියදී ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණක් ද සමග ලකුණු ලකුණු 15 ක් ලබමින්ය.දෙවන ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව ලකුණු 14 ක් ලබා සිටියි.ඉන්දියාව තෙවන ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 10 කි.මේ තත්ත්වය මත ඉන්දියාවට සහභාගිවීමට නියමිත තරග දෙකම ජය නොගෙන අවසාන තරගයට පිවිසීමට නොහැකිය.ඉන්දියාව එක් තරගයක් ජය ගෙන ශ්‍රී ලංකාව තරග දෙකම පරාජය වුව හොත් ඉන්දියාව ජය ගන්නා තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගතහොත් අවසාන තරගය සදහා සහභාගි වන්නේ ඉන්දියාවද ශ්‍රී ලංකාවද යන්න තීරණය වන්නේ ලකුණු වේගය මතය.දැනට ඇති තත්ත්වය මත හොදම ලකුණු වේගය ඇත්තේ ද ශ්‍රී ලංකාව සතුවය.
ඉන්දියාව තරගයක් ජයගෙන ඕසට්‍රේලියාව තරග දෙකම පරාජය වුවහොත් ඉන්දියාවට ඕස්ට්‍රේලියාව හා සම ලකුණු මට්ටමට පිවිසෙන්නට අවස්ථාවක් ඇති වන අතර එහිදී මෙම කණ්ඩායම් දෙකෙන් අවසාන තරගයට සහභාගි වන කණ්ඩායම තීරණය වන්නේද ලකුණු වේගය මතය.නමුත් ඉහත ආකාරයෙන් ඕස්ට්‍රේලියාව තරග දෙකම පරාජය වී ඉන්දියාව ජය ගන්නා තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගන්නේ නම් අභියෝගයකින් තොරව ඉන්දියාවට අවසාන තරගය හිමිවෙයි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට දැනට ඇති වී තිබෙන තත්ත්වය තුළ වැඩි අවස්ථාවක් තිබෙන අතර එක් තරගයක් ජය ගැනීමෙන් ඒ තත්ත්වය වඩාත් තහවුරු කර ගැනීමට හැකිය.
www.supirikrida.com