May 18, 2012

ආසියානු කණිෂ්ඨ තරගාවලියේ ජයග්‍රාහකයන්ට අමාත්‍යංශශයෙන් සැළකිළි




සියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහකයන්ට අමාත්‍යංශයේ ඇති ප්‍රමිතිය අනුව එම තරගාවලියට අදාළ ගෙවීම් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.අදාළ තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය සහයෝගය ලබා ගැනීම සදහා මාධය ආයතන නියෝජිතයන් සමග ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති සුහද සාකච්ඡාව අතරතුර දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,වැඩ බලන ජනමාධය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්න සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ඩබ්පීබී ගනේගල,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරියරත්න ඇතුගල මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් දයා රත්නායක,ලේකම් රියාල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු යන අය ඇතුළු ක්‍රීඩා සහ ජනමාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ වගකිව යුතු නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා,ප්‍රවෘත්ති අමාත්‍යවරයා මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ද මාධ්‍යයෙන් රටේ කීර්ති නාමය ගොඩ නැගීම පිණිස මෙම ක්‍රීඩා උළෙලේ ඉදිරි කටයුතු කරගෙන යාමට දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලීම් කළහ.
ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස මෙම තරගාවලියේදී ඉසව්වකට තිදෙනෙක් සහභාගි කරන බව ප්‍රකාශ වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩකයන් 59 ක් සහ ක්‍රීඩිකාවන් 52 ක් සහභාගි වීමට නියමිත බව ප්‍රකාශ විය.දේශිය ශක්තිජනක සහ ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති නොකරන ආහාර පිළිබදව ද මෙම තරගාවලියේදී විදේශ ආකර්ශණය දිනා ගැනීම  පිණිස වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන බව මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළ අතර ලේකම් ෂෙමාල් ප්‍රනානදු පෙන්වා දුන්නේ තරග කාල සටහන ජාත්‍යන්තර තත්ත්වයන් සැළකිල්ලට ගෙන සකස් කර තිබෙන බවය.ඒ නිසා යම් වෙනස්වීමක් වන්නේ නම් කළමණාකරුවන්ගේ හමුවේදී කෙරෙන ඉල්ලීම් මත සෙසු රටවල් වල කැමැත්ත අකමැත්ත පිලීබදවද සැළකිල්ල යොමු කර තාක්ෂනික කමිටුවේ අනුමැතියෙන් එය සිදුවනු ඇතැයි ප්‍රකාශ කළේය.
දැනටමත් ක්‍රීඩා උළෙල නියෝජනය පිණිස රටවල් 36 ක කැමැත්ත ප්‍රකාශ වී ඇති බව පෙන්වා දුන් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ අනුව සහභාගි වන 859 ක් සදහා මේ වන විට හෝටල් කාමර 550 ක් පමණ වෙන් කර තිබෙන බව ද පැවසීය.ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය ද,‍ලංකා බැංකුවද නෙස්ට්ලේ ආයතනය ද දැන්ටමත් මේ වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙන බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා මහජන බැංකුව ඇතුළු තවත් ආයතන ගණනාවක් ද මීට දායකත්වය දක්වනු ඇති බව ට බලාපොරොත්තු පළ කළේය.

May 17, 2012

යෞවන උළෙලේ කණ්ඩායම් තරග ඇරඹේ.

  ජාතික තරුණ සේවා සභාව මෙහෙයවන 24 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග මෙම සෙනසුරාදා (19) මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩා පිටිය සහ වෙනත් දිස්ත්‍රික් ගණනාවක ක්‍රීඩා පිටි කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව ජාතික තරුණ සේව‍ා සභා ආංරචි මාර්ග සදහන් කරයි.එම ආරංචි මාර්ග සදහන් කරන පරිදි වෙනදාට වඩා සහභාගීත්වයක් උතුරු - නැගෙනහිර ප්‍රදේශ වලින් සිදුවන බවත් එම සහභාගීත්වය මෙන්ම දක්ෂතා වල වර්ධනයක් ද අපේක්ෂා කළ හැකි බවත් පෙන්වා දෙයි.
මැයි 19 වන දා කණ්ඩායම් තරග ආරම්භ කරමින් වොලිබෝල් සහ දැල් පන්දු ක්‍රීඩා තරග ආරම්භ කිරීමට නියමිත අතර වොලිබෝල් 19,20 සහ 21 යන තෙදින තුළ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.දැල් පන්දු තරග ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවත්වෙන අතර එම තරග ද 19,20 සහ 21 යන තෙදින තුළ ක්‍රියාත්මක වීමට නියමිතය.
මැයි 26,27 සහ 28 යන තෙදින තුළ ගාල්ල බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයේදී කාන්තා සහ පිරිමි කබඩි තරග පැවත්වෙන අතර එම දින තුනේදී ම පාපන්දු තරග ද ක්‍රියාත්මක වන අතර එම තරග පැවත්වෙන්නේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ය.ජනි 2,3 සහ 4 යන තෙදින තුළ එල්ලේ පිරිමි තරග ගම්පහ මීරිගම ඩීඑස්‍ සේනානායක මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි ක්‍රියාත්මක වන අතර එල්ලේ කාන්තා තරග එම තෙදින තුළ ක්‍රියාත්මක වන්නේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී ය.
කාන්තා සහ පිරිමි ක්‍රිකට් තරග ජූනි 9,10 සහ 11 යන තෙදින තුළ බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී සහ බලන්ගොඩ ජාතික පාසල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අතර එම දිනයන්හීම මහරගම තරුණ මධ්‍යස්ථානයේදී කාන්තා සහ පිරිමි කැරම් තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිතය.ජූනි 16,17 සහ 18 යන තෙදින තුළ කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේදී කාන්තා සහ පිරිමි කභ ඇදීම ක්‍රියාත්මක වීමට නියමිත අතර කාන්තා සහ පිරිමි  පැසිපන්දු තරග කුරුණෑගල මලියදේව,ශාන්ත ආනා සහ ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය ආශ්‍රිතව ක්‍රියාත්මක වන්නේ ද එම දින තුළය.
ජූනි 22,23 සහ 24 යන තෙදින තුළ මාතර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රීඩා ඉසව් තුනක් ක්‍රියාත්මක වන අතර එය යෞවන තරගාවලියේ විශේෂ ඉසව් හැටියට ගැනෙන පාපැදි,ඇවිදීම සහ මැරතන් තරග වන අතර මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා සිටින අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ද යෞවන ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය ජයග්‍රහණය කරමින් ජාතික මට්ටමේ ජයග්‍රහණ සදහා ප්‍රවේශ වූ අයෙකි.තරගාවලියට එක්වන බීච් වොලිබෝල් තරග ද ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරය ආශ්‍රිතව වන අතර එම තරග ජූනි 30 සහ ජූලි 1 සහ 2 යන තෙදින ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිතය.



ක්‍රිකට් මාධය කටයුතු අමාත්‍යංශය යටතට

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ මාධය ලේකම් හර්ෂ බී අබේකොන් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.රජයේ ජේෂ්ඨ අමාත්‍යවරුන් දස දෙනෙකු යටතේ විවිධ අමාත්‍යංශයන් හී මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති හර්ෂ,වසර 20 ක පමණ රජයේ ප්‍රවෘත්ති අමාත්‍යංශය යටතේ ප්‍රවෘත්ති නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති මාධය කේෂ්ත්‍රය පිළිබද පුළුල් අවබෝධයක් ඇත්තෙකි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය ලත් හර්ෂ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජනසංනිවේදනය පිළිබද ඩිප්ලෝමාවේ විශිෂ්ඨ සමාර්ථය ලබා ඇති අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසංනිවේදන විශය සම්බන්ධ පශ්චාත් අපාධි ඩිප්ලෝමාධාරියෙකු මෙන්ම ශ්‍රාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වේ.කැළණිය විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධියද,ජාත්‍යන්තර කටයුතු පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති හර්ෂ,මහජන උපයෝගිතා කොමිසම,නැව් සංස්ථාව,ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ ලක්සල ආදි ආයතන ගණනාවකම මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කර ඇත.
ජාතික ක්‍රීඩා මාධ්‍යවේදීන් ගේ පදනම නිර්මාණය කිරීමට පෙරටුගාමීව කටයුතු කළ හර්ෂ මේ වන විට එහි ලේකම් ධූරය දරන අතර,සිනමා මාධ්‍ය පදනමේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පත්තර කලා සංගමයේ ජ්‍යෙෂ්ඨ විධායක සභිකයෙකු ද වේ.රාජ්‍ය මාධ්‍ය ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම් ධූරය ද හොබවන හර්ෂ පැවත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ මාධ්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.  

May 14, 2012

ග්‍රොන්ප්‍රී තරගාවලියෙන් ඩොලර් 6100 ක ජය මල්ලක් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට

තායිලන්තයේ පැවත්වුණ ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ තෙවැන්න නිම වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඩොලර් 6100 ක ජය මල්ලක් හිමිකර ගැනීමට සමත් වූහ.පළමුවැනි තරගයේදී දක්ෂතා අතරට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්චනබුරි දෙවන අදියරේදී යම් පසුබැස්මක් පෙන්වුව ද තෙවැනි අදියරේදී යළි දක්ෂතා අතරට පැමිණීමට සමත් විය.තරගාවලියේ කැපී පෙණුනම ලාංකේය ක්‍රීඩකයා වූ මංජුල කුමාර සමස්ථ තරගාවලිය පුරාම මීටර් 2.23 දක්ෂතාවයේ ස්ථාවරව සිටීම කැපී පෙණුන අතර ඔහු තරගාවලියේ කැපී පෙණුනම ක්‍රීඩකයෙකු විය.
මංජුල තරගාවලිය නිමා කරමින් චොන්බුරි පාපන්දු ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති  ‍තරගයේදී ද මීටර් 2.23 ක දක්ෂතාවයක් දැක් වූවේ සුළගට එරෙහිව යමින්ය.එහි දී ප්‍රථම සහ තෙවන ස්ථානය ද මීටර් 2.23 හී රැදී සිටි අතර මංජුල උස කඩඉම් පසු කිරීමේ දී දැක්වූ දක්ෂතාවය සළකා දෙවන ස්ථානයට පත් විය.චන්ද්‍රිකා සුභාෂණී මීටර් 400 ඉසව්වේ තරග තුනේදීම තෙවැනියා වූ අතර අවසාන තරගයේදී අවසාන භාගයේදි ඇය තරගයට අවතීර්ණ වෙමින් ප්‍රථම සහ දෙවන ස්ථාන දිනා ගත් දෙදෙනාට ප්‍රබල තරගයක් ලබා දුන් අතර නමුත් තත්පර 53.55 කින් තරගය නිම කළ ඇයට අත්වූයේ තෙවන තැනමය.
මීටර් 400 ඉසව්වේ දී ප්‍රථම තරගයේ තෙවන තැන දිනූ ප්‍රසන්න අමරසේකර ට එම ස්ථානය දෙවන තරගයේදී අහිමි වුව ද යළිත් තෙවන තරගයේදී තත්පර 47.80 ක දක්ෂතාවයක් දක්වමින් තෙවන තැන දිනා ගැනීමට සමත් විය.ෂෙහාන් අඹේපිටිය ට ප්‍රථම තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමෙන් පසුව යළිත් දක්ෂතා අතරට ඒමට අවස්ථාවක් නොලැබුණු අතර තෙවන තරගයේ දී තත්පර 10.69 ක දක්ෂතාවයක් දැක් වූ ෂෙහාන් ට අත් වූයේ සිව්වන තැනය.
තරගාවලියේ දි ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම තරගයකදී වත් ස්ථානයක් දිනා ගැනීමට අපොහොසත් වූ ක්‍රීඩකයා වූ වරුණ ලක්ෂාන් දයාරත්නට මෙම තරගයේදී ද හිමි වූයේ නව වන තැනය.තරගාවලිය සංවිධානය කිරීමේ දී තායිලන්තය ඉසව් තුනම සිය ශාරිරික විශ්ව විද්‍යාල ආශ්‍රිතව සංවිධානය කිරීම කැපී පෙණින.එම විශ්ව විද්‍යාලයන් හී සිසුන්ට තරග සංවිධාන අත්දැකීමක් ලබා දීමට කටයුතු සළසා තිබීම කැපී පෙණින.නමුත් චොන්බුරි තරගයේ ප්‍රධාන ඉසව් භාර නිලධාරීන්ගෙන් සිදු වූ අත් වැරදීම් හේතුවෙන් මීටර් 100 කාන්තා කඩුලු පැනීමේ තරගය දෙවරක් පවත්වන්නට සිදු වූයේ කඩුලු අතර දුර ප්‍රමාණය නිවැරදිව ගණනය නොකර තිබීමේන්ය.
මෙම තරගයේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මාංශ පේශි යථා තත්ත්වයට පත් කර ගැනීමට සම්භාහක සහයක් නොලැබීම කැපී පෙණුන අඩු පාඩුවක් වූ අතර නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධ අභිමානය රැක දීම වෙනුවෙන් ඔවුන් එකිනෙකාට උපකාර කර ගනිමින් යම් තරමකින් නිවැරදි තත්ත්වයට පැමිණිම සදහා සහෝදරත්වයෙන් කටයුතු කිරීම අගය කළ යුතුය.තරග කාල සටහන අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉසව් එකක් හෝ අත නොහැර නැරඹිමේ හැකියාව පුහුණුකරු සහ කළමණාකරු ලෙස තරගාවලියට එක් වී සිටි සුනිල් ගුණවර්ධනට හැකියාව ලැබුණු අතර ඒ නිසා ඔහුට සෑම ක්‍රීඩකයේකුගේ ම තරග දක්ෂතා පිළිබදව මනා වැටහීමක් ලබා ගන්නට හැකි වූ නො’අනුමානය.එම නිසා මෙම තරගාවලියෙන් ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතයට වැදගත් බොහෝ දේ එකතු කර ගැනීමට මෙම තරගාවලිය ආශ්‍රිතව ඔහු විසින් දක්වන්නට යෙදෙන දැක්වීම ඉතා වැදගත් වනු නිසැකය.
එසේම මෙම තරගාවලියේ දී ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මට්ටම ඉතා ඉහළ තත්ත්වයක පවතිනු දකින්නට ලැබුණු අතර දකුණු ආසියාතික තරගාවලියේ ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළ නැංවීම සදහා බෙහෙවින් ඉවහල් වන මලල ක්‍රීඩාව මෙම ඉන්දීය අභියෝගය පරයා නැගී සිටින්නේ කෙසේද යන්න පිළිබදව වෙනම සිතා බැලිය යුතුය.

ශාන්ත පීතර පාසල් රගර් ලකුණු සටහනේ පෙරමුණට

පාසල් රගර් තරගාවලිය ඇරඹී තෙවන සතිය ගෙවී යද්දී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ‍ලකුණු සටහනේ පෙරමුණට ඒමට සමත් වී සිටියි.තරග තුනකට සහභාගි වී ශාන්ත පීතර සහ රාජකීය විද්‍යාල එම තරග තුනම ජය ගෙන සිටින අතර ලකුණු ලබා ගැනීමේ දී දක්වා තිබෙන දක්ෂතා අනුව රාජකීයයන් අභිබවා පෙරට ඒමට ශාන්ත පීතර විද්‍යාලයට හැකි වී ඇත.මේ අතර දක්වා තිබෙන දක්ෂතා අනුව ඔවුන්ගේ සාම්ප්‍රදායික විරුද්ධවාදීන් හැටියට සැළකෙන මරදාන ශාන්ත ජෝෂප් කණ්ඩායම තරග තුනම පරාජය වී එම ලකුණු සටහනේ අවසානයට සිටීමද කැපී පෙනෙයි.
මේ අතර පාසල් රග්බි තරගාවලියේ දෙවන කොටසේ පෙරමුණ ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් වී සිටින අතර එම ලකුණු සටහනේ දෙවන තැන සිටින්නේ කොළඹ වෙස්ලි විද්‍යාලීය කණ්ඩායමයි.සි කොටසෙන් මොරටුව වේල්ස්කමර විදුහල සහ කොළඹ ආනන්ද විදුහල පිළිවෙලින් ප්‍රථම සහ දෙවන තැන පසු වන්නේ අපරාජිත කණ්ඩායම් හැටියටය.

නීතිය ජය ගනියි

නීතිඥ ක්‍රිකට් කණ්ඩායම සහ වෛද්‍ය ක්‍රිකට් කණ්ඩායම අතර කෝල්ට්ස් පිටියේ පැවති වාර්ෂික ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ නීතිඥ කණ්ඩායම පිට පිටම සිව්වන වරටත් සිය සූරතාවය රැක ගන්නට සමත් විණි.මෙවර නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් අසේල පටබැදි සිය නායකත්වය යටතේ කණ්ඩායමේ ගෞරවය රැක ගැනීමේ ඉණිමක නියැලෙමින් නොදැවී රැස් කළ අර්ධ ශතකය හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මානනීය විය.
පළමුව පන්දුවට පහර දුන් වෛද්‍ය කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ රජීව් නිර්මාලසිංහම් රැස් කළ ලකුණු 85 හේතුවෙන් පන්දු ඕවර් 40 ක් තුළ ලකුණු 197 ක් දක්වා යන්නට වෛද්‍ය කණ්ඩායමට හැකි විය. එම ලකුණු 85 රජීව් තරගයේ දක්ෂතම පිතිකරු බවට ද පත් කළේය.
නමුත් ප්‍රහාරාත්මක පිතිකරු බල ඇණියක් සහිත ජගත් නීතිඥ ක්‍රිකට් කුසලාන අනු සූරතාවය දිනූ කණ්ඩායමේ සාමාජිකයන් විහාල පිරිසකගේ දායකත්වයෙන් තරග බිමට පිවිසි නීතිඥ කණ්ඩායම පන්දු ඕවර් 35 ක් තුළ ලකුණු 200 ක් රැස් කරමින් තරගය ජය ගැනීමට සමත් වූ අතර තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නීතිඥ කණ්ඩායමේ යොහාන් ජිනසේන සම්මානනීය විය.
www.supirikrida.com

නිල්මිණි පමණක් ඉදිරියට

චීනයේ  ක්වින්හුවන්ගාඩෝ හී පැවත්වෙන ලෝක කාන්තා බොක්සිං සූරතාවලිය සදහා සහභාගිවන ක්‍රීඩිකාවන් තිදෙනා අතරින් කිලෝ ග්ෑම් 54 බර පංතියෙන් තරග වැදි නිල්මිණි ජයසිංහ පමණක් ප්‍රථම වටය ජය ගැනීමට සමත් වූ අතර අනූෂා කොඩිතුවක්කුට සහ ශිරෝමාලී වීරරත්නට මූලික වට වලින්ම ඉවතට යන්නට සිදු විණි.නිල්මිණි සිය ප්‍රතිවාදිනිය වූ ඊශ්‍රායලයේ ෂස්ට්ලින් ලිතාල් ට එරෙහිව ලකුණු 18 – 11 ක ජයක් ලබා ගැනීමට සමත් වූ අතර ඇය ඒ අනුව දෙවන වටයේදී බ්‍රසීලයේ ක්ලේලියා කොස්තා පරාජය කළ පිලිපීනයේ අපාරි ඇලිස් සමග තරග වැදීමට නියමිතය.
ආසියානු කාන්තා බොක්සි සූරතාවලියේ ලෝකඩ පදක්කම දිනූ ශිරෝමාලී වීරරත්නට මෙම තරගාවලියේදී ඉදිරියට යාම සදහා ආසියානු සූරිය වූ වෑන්ග් ඩුන්ග්මෙයි ඉඩ ලබා නොදුන්නාය.ඇය පහසුවෙන්ම ශිරෝමාලී පරාජය කරමින් කිලෝග්රෑම් 69 බර පංතියේ සිය ආධිපත්‍යය තහවුරු කර ගනිද්දී කිලෝ ග්රෑම් 51 බර පංතියට උසස් වී ඔලිම්පික් තරග අවස්ථාවක් බලාපොරොත්තුවෙන් තරග වදින ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කුට එම බලාපොරොත්තුව ඔස්සේ ඉදිරියට යාමට ඇති ඉඩ අහුරා නැගී සිටි තූර්කි ක්‍රීඩිකා යෂිසි සුමයිරා ලකුණු 18 – 8 ක් ලෙස පහසුවෙන්ම අනූෂා ව පරාජයට පත් කළාය.
www.supirikrida.com