Mar 20, 2012

කරාටේ,ජූඩෝ සහ බේස්බෝල් ක්‍රීඩා සදහා ජපන් පුහුණුව


ලාංකේය ක්‍රීඩාවේ ප්‍රවර්ධනය උදෙසා අන්තර් ජාතික  වශයෙන් පිළිගත් දැණුමක් ඇති පුහුණුවක් ලබා දීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය ගත්තා උත්සාහයේ එක් ප්‍රතිපලයක් හැටියට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජපන් තානාපති මොබිහිටෝ හොබෝ අතර පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස මෙරට ක්‍රියාත්මක කරාටේ,ජූඩෝ සහ බේස්බෝල් ක්‍රීඩා සදහා ජපන් පුහුණුකරුවන් ලබා දීමට ජපානයේ කැමැත්ත පළ වී ඇත.එසේම  JICA ආධාර යටතේ ක්‍රීඩා සංවර්ධනය සදහා දායකත්වය දැක්වීම කෙරෙහි මෙන්ම ක්‍රීඩා අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකරුවන්ට නිලධාරීන්ට පුහුණු අවස්ථා සහ උසස් ඩිප්ලෝමා දැණුමක් ලබා ගැනීමේ ඇති ඉඩකඩ පිලීබදවද මෙහිදී අවධානයට ලක්ව ඇත.
එසේම ඉදිරියේදී ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම කෙරෙහිද අවධානය යොමු වී ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගුණාත්මක තත්ත්වය සැළකිල්ලට ගෙන ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව  දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කිරීමටද මෙහිදී ජපාන තානාපතිවරයා ක්‍රියා කර ඇත.ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් විජයානන්ද අලුත්ගමගේ, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන අයද එක්ව සිටියහ.

srilankasports.com අවුරුදු 15 න් පහළ අත්පන්දු තරගාවලියට කණ්ඩායම් විසි අටක්


  
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලිය සම්බන්යෙන් පාසල් අත්පන්දු සම්මේලනය සහ srilankasports.com අතර ඇතිකර   ගත් ගිවිසුම හුවමාරු කර ගත් අයුරුයි.ඡායාරූපයේ වමේ සිට පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප්‍රදීප්,එම සංගමයේ සභාපති කොළඹ ඩීඑස් සේනානයක විද්‍යාලයේ විදුහල්පති ඩීඑම්ඩී දිසානායක සහ srilankasports.com හී සංස්කාරක හිෂාන් වැල්මිල්ල


ලාංකේය ක්‍රීඩා කේෂ්ත්‍රයට ක්‍රීඩාවේ ප්‍රගමනයට සහ ජනප්‍රියතවය වර්ධනයට අවශ්‍යය වන ආකාරයෙන් ක්‍රීඩා ඉසව් කිහිපයක් හදුන්වා දුන් srilankasports.com පාසල් අත්පන්දු සම්මේලනය සමග එක්ව එළැඹෙන 24 සහ 25 යන දෙදින තුළ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වනු ලබන අවුරුදු 15 න් පහළ අත්පන්දු තරගාවලියට බාලක කණ්ඩායම් 16 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සශභාගීවීමට නියමිතව ඇත.අවුරුදු 15 න් පහළ වයස් ඛාණ්ඩයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළමු ගෘහස්ථ අත්පන්දු තරගාවලිය වන මෙම තරගාවලියට  කණ්ඩායම් තෝරා ගැනීම සිදු කර ඇත්තේ පාසල් අත්පන්දු සම්මේලනයේ නිර්දේශයන්ට අනුව එම සංගමය විසින් පවත්වන්නට යෙදුණ ජාතික තරගාවලියේ දක්ෂතා පදනම් කර ගෙනය.
  තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන තරග කුසලාන සහ සහතික පත් ප්‍රදානයන්ට අමතරව තරගාවලියට සහබාගිවන සෑම ක්‍රීඩකයෙකුටම පාසල් අත්පන්දු සම්මේලනයේ නිර්දේශයන් සහිතව සහභාගිත්ව සහතිකයක් පිරිනැමීමට srilankasports.com වේබ් අඩවිය විසින් කටයුතු සම්පාදනය කර තිබීම විශේෂත්වයකි.


Mar 19, 2012

ශ්‍රී: ලංකාවට අවසාන තරගය ගැන තිබූ අවසන් බලාපොරොත්තුවත් කෝලි විසින් අහවර කරයි

සියානු කුසලානය පිළිබදව ශ්‍රී ලංකාවට තිබූ අවසාන බලාපොරොත්තුවත් අහිමි කළ විරාට් කෝලී පකිස්තානය ඉන්දීයාවට එරෙහිව ලබා ගත් ලකුණු 329 ක ලකුණු ප්‍රමාණය පහසුවෙන් අභිබවා යා හැකි තත්ත්වයක් උදා කරමින් අගනා ලකුණු 189 ක් රැස් කළේය. පන්දු 148 දී හතරේ පහර 22 ක් සහ හයේ පහර එකක් සමග ගලා ආ මෙම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට කෝලිට හැකි වූයේ ඉන්දියාව කිසිදු ලකුණක් නොලබා  එක් කඩුල්ලක් දැවී සිටියදී පිටියට පැමිණීමෙන් පසුව වීම වඩාත් කැපී පෙණින.
සචින් තෙන්දුල්කාර් (52) සමග ලකුණු 133 ක සබදතාවයක් දෙවන කඩුල්ල වෙනුවෙන් පැවත් වූ කෝලි තෙවන කඩුල්ලට රෝහිත් ෂර්මා (68) සමග ලකුණු 172 ක සබදතාවයක් පවත්වන්නට සමත් විය.ලකුණු 00 ක් ව තිබියදී ක්‍රීඩා පිටියට පිවිසි කෝලි ලකුණු 318 ක් ව තිබියදී ක්‍රීඩා පිටියෙන් ඉවත් වන විට තවත් පන්දු 18 ක් තුළ ඉන්දියාවේ ඉලක්කය ලකුණු 12 ක් දක්වා  කෙටි වී තිබිණ.තවත් පන්දු 4 දී සුරේෂ් රයිනා සහ නායක මහේන්ද්‍ර සිං දෝනි එම ඉලක්කයට ඉන්දියාව කැදවා ගෙන ගියේ තඩුලු 6 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සටහන් කරමින් ය.
කාසියේ වාසිය ලැබූ පකිස්තාන් නායක මිස්බා උල්හක් පළමුව පන්දුවට පහර දීට ගත් තීරණයට සාධාරණය ඉටු කළ පකිස්තාන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මොහොමඩ් හෆීස් (105) සහ නසීර් ජම්ෂේඩ් (112) ප්‍රථම කඩුල්ල සදහා ලකුණු 224 ක් එක් කළේ පන්දු ඕවර් 35.5 ක් තුළය.නමුත් පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව පකිස්තානයට හනි හනික කඩුලු අහිමි වී යාමට පටන් ලත් අතර ඒ හදිසි ඇද වැටීම හමුවේ නොසැලී සිටිමින් යුනිස් ඛාන් රැස් කළ ලකුණු 52 නිසා පකිස්තාන් ලකුණු පූවරුව 339 දක්වා ඉහළ ගිය අතර  උමාර් අක්මාල් 28 සමග යුනිස් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සබදතාවයක් පැවත්වීය.
හෙට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන තරගය ජය ගත්තද ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට අවස්ථාවක් නැති අතර නමුත් බංගලාදේශය ජය ගතහොත් ජයග්‍රහණයේ ස්වභාවය අනුව අවසාන තරගයේ ප්‍රතිවාදියා වීමට බංගලාදේශයට අවස්ථාවක් ඇත.දැනටමත් ශ්‍රී ලංකාව සමග පැවති තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගත් පකිස්තානය අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රී ලංකාව සමග තරගය බංගලාදේශය ජය ගතහොත් පකිස්තානයේ ප්‍රතිවාදියා තෝරා ගනු ලබන්නේ ඉන්දියාව සහ බංගලාදේශය රදවාගෙන ඇති ලකුණු වේගය මතය.යම් අකාරයකින් බංගලාදේශය ශ්‍රී ලංකාවට එරෙහි තරගය ප්‍රසාද ලකුණක් ද සමග ජය ගතහොත් බාධාවකින් තොරව පකිස්තානය සමග තරගයට පිවිසීමට බංගලාදේශයට අවස්ථාව උදා වනවා ඇත.
පහත දැක්වෙන්නේ දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වාර්තා වූ ඉන්දීය - පකිස්තාන තරගයේ ලකුණු පූවරුවට සම්බන්ධ වීමට ඇති සබදතාවය ය.



‘සියනෑ තරු’ – ‘විජය’ සූරයෝ සහ සූරියෝ සමීර ට සහ දිනේෂා ට දක්ෂතම ක්‍රීඩක කිරුළු

සියනෑතරු

යලොග් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මුල් වට වල සිට පැවති තරගකාරීත්වය සගවා ගත් අවසාන තරග දෙකකින් පසු ගම්පහ සියනෑතරු පිරිමි සූරතාවයත් කොස්වාඩිය විජය කාන්තා සූරතාවවයත් දිනා ගනිමින් තරගාවලිය නිමාවට පත්විය.පිරිමි අවසාන තරගයේදී දෙබෑගම රන්තරු ක්‍රීඩා සමජයටත් කාන්තා අවසාන තරගයේදී රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයටත් සිය ප්‍රතිවාදීන්ට බලාපොරොත්තු වූ තර්ජනය එල්ල කිරීමට ඉඩ නොලැබුණු අතර අවසාන තරග දෙකම නිමාවට පත් වූයේ තරග වට 3- 0 ක් ලෙසය.
විජය
 
තරගාවලියේ ජාතික මට්ටමේ මූලික තරග පැවති රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී ලැබුණු උනුසුම් ප්‍රේක්ෂක සහභාගීත්වය අවසාන තරග පැවති නිට්ටඹුවේදී තව දුරටත් ඉහළ ගොස් තිබුණු බව ප්‍රකාශ කළ වොලිබෝල් සම්මේලන ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම තරගාවලිය ජනාධිපති රන් කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වය ලද තරගාවලිය ලෙස ඉතිහාසයට එක්වන බවය.දැවැන්ත ප්‍රේක්ෂක ආශිර්වාදයක් ලද අවසාන තරග යුගලයේ දී දක්වන ලද දක්ෂතා සැළකිල්ලට ගෙන දක්සථම ක්‍රීඩකයා ලෙස සමීර දිසානායකත් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වර්ථමාන ශ්‍රී ලංකා නායිකා දිනේෂා ප්‍රසාදිනීත් සම්මාන ලැබූහ.සමීර සියනෑතරු ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර දිනේෂා කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවකි.

Mar 18, 2012

අද ඉන්දියාවට එරෙහිව සටනට බසින පකිස්තානයට ලාංකේය සිහිනයේ බරත්



 ක්‍රියාත්මක ආසියානු කුසලාන තරගාවලියේ මේ දක්වා සිය අපරාජිත බව රැකගෙන සිටින පකිස්තානය අද     ඉන්දියාවට එරෙහිව තරගයේදීත සිය අපරාජිත බව රැක ගැනීම ශ්‍රී ලංකාවට තව දුරටත් තරගාවලිය පිළිබද බලාපොරොත්තු ඇති කර වන්නට හේතුවක් වනු ඇත.ඉන්දියාව බංගලාදේශයට පරාජය වීමත් මේ වන විට ජයග්‍රහණ අතින් ඉන්දියාව සහ බංගලාදේශය සම තත්ත්වයට පත් ව සිටින අතර තවමත් ජයග්‍රහණයක් නොලද එකම කණ්ඩායම ශ්‍රී ලංකාව බවට පත් වී ඇත.
මේ තත්ත්වය මත අද තරගයෙන් පසුව ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා බංගලාදේශ තරගය පමණක් වන අතර එම තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක් සමග ජය ගැනීම මෙන්ම අද ඉන්දියාව පරාජය වීම යන කාරණා පදනම් කර ගෙන බංගලාදේශය සහ ඉන්දියාව සමග තරගාවලියේ ජයග්‍රහණ  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ද සමතැන් ගැනීමට ලැබෙනු ඇත.එහිදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක් සමග ජය ගෙන තිබීම අවසාන තරගයේදී ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හේතු වන අතර එසේ වුවහොත් ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දී පකිස්තානයේ ප්‍රතිවාදියා වීමට ශ්‍රී  ලංකාවට අවස්ථාව ලැබෙනු ඇත. 

හෙට සටනට උපාලි සහ ගාමිණි සූදානම්


හෙට මීගමුවේදී දෙවන මීගමු ජාත්‍යන්තර රෝද පුටු විවෘත පාපැදි තරගාවලිය ඇරඹෙන අතර ඒ සදහා ඉදිරිපත් වන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල  75 වන ස්ථානයේ සිටින උපාලි රාජකරුණා මෙන්ම 95 වන ස්ථානයේ සිටින ගාමිණි වික්‍රමසිංහ ද හොද සූදානමින් සිටින බව ශ්‍රි ලංකා ටෙනිස් ආරංචි මාර්ග පැහැදිළි කරයි.මෙම තරගාවලියට ලොව 28 සහ 42 වන ස්ථාන වල සිටින චිලී ක්‍රීඩකයා සහ 42 වන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකා ක්‍රීඩකයා සහභාගි වුව ද ජගත් වැලිකල යටතේ මනා කැපවීමකින් පුහුණුවීම් කර සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක දෙපළ සිය මව්බිමේදී පහසුවෙන් පරාජය භාර නොගනු ඇතැයිද ශ්‍රී ලංකා ටෙනිස් ආරංචි මාර්ග පැහැදිළි කරයි.
ඇමෙරිකානු ඩොලර් 2000 ක මුදල් ත්‍යාගයක් වෙනුවෙන් ක්‍රියාත්මක තරගාවලිය හෙට ඇරඹි 21 වන දින අවසන් වීමට නියමිතය.

තෙවන .දිනයේ යුධ හමුදා ආක්‍රමණය ගුවන් හමුදාවට එරෙහි වීමට ප්‍රමාණවත් නොවේ.ජයග්‍රාහකයා ජීවන් ජයසිංහ


ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවන දිනයේ දඹුල්ලේ සිට කෙළෙඹ දක්වා වූ තෙවන අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුධ හමුදා පාපැදි කණ්ඩායමේ ලක්ෂ්මන් විජේරත්න හිමි කර ගත් අතර දෙවන ස්ථානය වර්ථමානය වන විට යුධ හමදා බී කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ අති විශිෂ්ඨ පාපැදි සූරයෙකු වන මීමනගේ පෙරේරාටත් තෙවන සථානය යුධ හමුදාවේම සමීර චතුරංගට ත් හිමි විය.
නමුත් තරගාවලියේ ප්‍රථම අදියර වූ කොළම සිට පුත්තලම දක්වා වූ කොටස සහ දෙවන අදියර වූ පුත්තලම සිට දඹුල්ල දක්වා වූ කොටස ජය ගත් ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ තරගාවලියේ සමස්ත ජයග්‍රාහකයා වීමට සමත් වූ අතර දෙවන ස්ථානය ගුවන් හමුදාවේම බුද්ධික වර්ණකුලසූරියට හිමි විය.තෙවන ස්ථානය යුධ හමුදාවේ ලක්ෂ්මන් විජේරත්නට හිමි වූ අතර තරගාවලියේ සමස්ත ස්ප්‍රින්ට් ජයග්‍රහණයේදී ජීවන් ජයසිංහ ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර තරගාවලියේ ජයග්‍රාහී පාපැදි කණ්ඩායම වන්නට ද ග්‍රවන් හමුදා පාපැදි කණ්ඩායමට හැකි විය.
තරගාවලියේ සමස්ත ජයග්‍රහණ සටහනේ ප්‍රථම 10 දෙනා අතරට ඒමට ශ්‍රි ලංකාවේ සිටිය ප්‍රබලතම පාපැදි ක්‍රීඩකයෙකු වූ ඒ එම් සුමනවීරගේ පුත්‍රයා වූ ජානක සුමනවීර සමත් වූ අතර ජානක ජාතික මට්ටමේ මෙවැනි තරගාවලියක දී එවන් ස්ථානයකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය හැටියට දැක්විය හැකිය.