Jul 31, 2012

නිලූක දිණුම්!


Niluka Karunaratne hits a return in men's singles Badminton match
නිලූක















Kenichi Tago - Olympics Day 3 - Badminton
ටාගෝ
ර්ෂය 2000,නොවැම්බර් මාසේ අග සතියෙ දවසක මම අමාරුවෙන් හොයා ගත්තු ලිපිනයක් පසුපස හඹා ගොස් කොල්ලුපිටියේ තට්ටු නිවාස දොරකඩක නැවතුණා.දොරට තට්ටු කරා,කතා කරා, දොර නෑරුනත් ගෙදර නැති බව හගවන්න උත්සහ කළත් කවුරු හෝ පොඩි එකෙක් මගේ ආමන්ත්‍රණයට ප්‍රතිචාර දක්වන්න සූදානම්.අන්තීමේ දී ඒ පොඩි එකාව නවත්තන්න හැදුව සියළු උත්සාහයන් ව්‍යර්ථ වෙනවා.ගෙයි සාලෙ වසා තිබූ ජනේල අතරින් ඇගිල්ලක් කටේ ගහගෙන පොඩි එකා හිටන් ඉන්නවා.අනතුරුව බියට පත් සැකයට පත් දෑසක් ඇතිව පැමිණෙන ගැහැණිය සැලෙන ස්වරයෙන් මගෙන් අහනවා ඔයා කවුද ? කියලා.තොරතුරු කියල මදි මම මාධ්‍යවේදියෙක් කියල සනාථ කරන්න ලියවිලි එක එක ගෙන හැර පාන්නත් වෙනවා.
ඒ පොඩි එකා මේ සටහනට අදාළ කතා නායකයාගේ බාල සහෝදරයා,චාමික කරුණාරත්න.බියට පත් දෑස් ඇති කාන්තාව මිත්‍රා කරුණාරත්න හෙවත් නිලූක කරුණාරත්නගෙ මව.මම ඔවුන් සොයා ගියේ අවුරුදු 14 දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කරන්නට තරම් හැකියාවක් තිබූ නිලූක කරුණාරත්න සිය පළමු සංචාරයේදී නවක වධයට භාජනය වීම පිළිබදව සොයා බලන්නට යි.
‘අපේ මහත්තයත් රටනෙ,මම කොහොමද මේ ළමයින්ව ආරක්ෂා කරන්නෙ,බැඩ්මින්ටන් ගහන්න යන්න දෙන්නෙ නැහැ.’මිත්‍රා නම් මවගේ දෑසේ කදුළු ය.ඒවා නවතන්නට අපහසුය.
‘මේක නවත්තන්න ඕනි වැඩක්.මගේ මල්ලිලත් බැඩ්මින්ටන් ගහනව.ඒ අයට මේ දේ වෙන්න බෑ’ඒ නිලූක ය.
නමුත් බැඩ්මින්ටන් පරිපාලනය මේ කිසිවක් ගණන් ගත් බවක් පෙනෙන්නට නොතිබිණ.ඒ තත්ත්වය මත නිලූක සිය ආරක්ෂාව පතා බැඩ්මින්ටන් පිත්ත බිම තැබීමට සිත එකග කර ගෙන උන්නේය.
එවකට වෛද්‍ය විජේසේකර බැඩ්මින්ටන් පරිපාලනයේ මුල් පුටුවේ සිටිය ද නිලූක ‍ගේ සිදුවීමේ දී නිලූකව ආරක්ෂා කිරිමට ඔහුට පරිපාලනයෙන් එතරම් සහයක් නොලැබිණි.ඒ නිසාම විජේසේකරයන්ගේ ප්‍රකාශ ද බාලගිරි දෝෂය වෙමින් තිබිණ.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මිල්ටන් අමරසිංහ ට මෙම සිදුවීම පිළිබදව විශාල කම්පනයක් තිබිණ.ඔහු හරහා එවකට සිටිය ක්‍රීඩා අමාත්‍යවරයා (එස්බී දිසානායක හෝ ලක්ෂ්මන් කිරිඇල්ල) දැනුවත් කරමින් නිලූකට නැවත ක්‍රීඩා පිටියට ‍ඒමට මග  විවර කිරීමේ කාර්යයට මා මගේ පෑනෙන් නොනැවතී මැදිහත් වන්නට ගන්නේය.එය කිසිදු මාධ්‍යයක් අත නොගැසූ තනිව කරන ලද හුදෙකලා සටනක්ම පමණක් වූ අතර අවසානයේ නිලූකට නැවත ක්‍රීඩා පිටියට පැමිණීමේ විශ්වාසය සනාත කරමින් ඔහුව නවක වධයට භාජනය කළ සියල්ලෝම තහනමකට භාජනය වූහ.
මේ ඉතිහාසයේ සිට නිලූක පියවර මැන්නේම බාධක මධ්‍යයේය.නිලුක ගේ පියා බැඩ්මින්ටන් පරිපාලනයේ තීරණාත්මක චරිතයක් වීමෙන් නිලූකලා ට වාසිදායක තත්ත්වයක් ඇති විය යන මතය මත පිහිටා බොහෝ අය නිලූකලා ට එරෙහිව ක්‍රියාත්මක වුව ද,ක්‍රීඩා පිටියේ සිට ක්‍රීඩාව දකින්නට තරම් හැකියාවක් තිබුණා නම් නිලූක ට පරිපාලනයට පිවිසීමෙන් තාත්තා කළේ විශාල අසාධාරණයක් පමණි.නිලූක මීට පෙර ඔලිම්පික් තරගාවලි දෙක සදහාම සුදුසුකම් ලැබිය හැකි මට්ටමක වුව ද,ඒ සදහා අවශ්‍යය පසුබිම සැකසීමට නිලූක ගේ තාත්තා ද සිටි පරිපාලන අසමත් විය.2008 වන විට පත් වූ පරිපාලනය නිලූක ඝාතන කුමන්ත්‍රණකරුවෝ මෙන් වූහ.ඔවුන් නිලූකට බැඩ්මින්ටන් පිටිය එපා කරවන තැනට සිත වෙනස් කරන්නට තරම් දරුණු පීඩා ඇති කළහ.
එවැනි විටෙක මාධ්‍යකරුවාගේ භූමිකාවෙන් පිට සිට ඔහුගේ හිතවතෙකු මම ද නිලූකට පැවසුවේ මල්ලි ඔයාගෙ වටිනාකම තේරෙන රටකට යන්න යනුවෙනි.ඒ වන විටත් රටවල් කිහිපයක්ම නිලුකට විශාල සුඛෝපභෝගී සම්පත් සහිතව සිය රටේ දොරටු හැර තිබියදී මම කල යෝජනා සම්බන්ධයෙන් නිලූකට තිබුණේ වෙනත් හැගීමකි.
‘මම සෙල්ලම් කරන්න ඔනි මගේ රටටමයි අයියෙ’
නිලූක ට මේ ඔලිම්පික් ගමන ද වළක්වන්නට හිටපු පරිපාලනය පිඹුරුපත් සකස් කළේය.අදත් ඒ සදහා අවශ්‍යය සාක්ෂි සම්පාදනය කළෝ බැඩ්මින්ටන් පරිපාලනයේ සිටිති.ඉකුත් පොදු රාජ්‍ය මන්ඩල අවසාන පූර්ව තරගයේ දී නිලූක එංගලන්ත ක්‍රීඩකයාට පැරදුනේ නූලෙන් ය.ඒ අවස්ථාවේ එහි සිටි අපි බොහෝ දෙනෙකුගේ ඇස් ලාංකිකත්වය නිසා තෙතබරිත විය.එහෙත් ඒ සියල්ල විදි නිලධාරීන් පරිපාලනයේ ඉහළ පුටුවල අවශ්‍යයතාවය වෙනුවෙන් නිලූක රට වෙනුවෙන් ක්‍රීඩා නොකළ බවට වාර්තාවක් ඉදිරිපත් කළේය.අදත් ඔවුන් පරිපාලනයේ සිට නිලූක ගේ ඔලිම්පික් නායකත්වය පවා උදරා ගන්නට තැත් කළෝය.
ඒ ගමන මග තුළ නිලූක දරාගත් බොහෝ දුක්  තුළින් ගම්‍ය කළ ශක්තිය මම හොදින් දැන උන්නෙමි.
‘අපේ රටේ පුහුණුකරුවෝ දක්ෂයි.ඒත් පිටරට වල අයට තරම් පහසුකම් දැනුම එකතු කර ගන්න ක්‍රමවේදයක් නෑ.මට විදෙස් පුහුණුකරුවෙක් යටතේ පුහුණුවීම් කරන්න පුළුවන් නම් මීට වඩා දෙයක් කරන්න තිබුණා.’
ඒ නිලූක ගේ බලාපොරොත්තුව ඔහු ඔලිම්පික් සදහා පිටත් වීමට මාස කිහිපයක් තිබියදී යථාර්තයක් බවට පෙරලිණ.නිලූක කොරියානු පුහුණුකරුවෙක් යටතේ පෝලන්තයේ පුහුණුවට යොමු විය.ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඒ සදහා ඔහුට ලැබුණ අයුරින්ම ලොව මුල් ක්‍රීඩකයන් 50 දෙනා අතරට පිවිසීමේ අපහසුකම තේරුම් ගැනීමට තරම් ජාත්‍යන්තරය පිළිබද අවබෝධයක් ඇති ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු පුමුඛ පිරිස නිලූක කණ්ඩායම් නායකයා ලෙස තෝරා ගන්නේය.
දැන් නිලූක ඔහු සම්බන්ධයෙන් විශ්වාසය පළ කළ සියල්ල වෙනුවෙන් සාධාරණය ඉටු කර ඇත.ඔලිම්පික් තරගාවලිය සදහා කෙසේ හෝ තේරීපත් වී ගිහිං එන්නට ගිය අයෙකු නොවූ නිලූක ඔලිම්පික් තරගයක වටයක්වත් ජය ගැනිමට නොහැකි ව තිබූ ලාංකේය බැඩ්මින්ටන් ඉතිහාසය වෙනස් කළේ ලොව අට වැන්නා  වූ ජපානයේ ටාගෝ කෙනචි පිට පිටම වට දෙකකදී පරාජය කරමින් ය.21 – 18 සහ 21 – 16 ක් වූ එම ජයග්‍රහණයේ බර ද සමග නිලූක ට ඊළග තරගය සදහා විශාල ශක්තියක් එකතු වනවා නිසැකය.
ඊයේ නිලූක එසේ ජයග්‍රහණය කරද්දී තිලිණි ජයසිංහ පෘතුගාලයේ සන්තෝස් තෙල්මා ට පරාජය වූයේ 21 – 9 සහ 21 – 11 ලෙස ය.මේ අතර මංගල සමරකෝන් වායු රයිෆල් මීටර් 10 ඉසව්වේදී 47 දෙනෙකු අතරින් 45 වැනි ස්ථානයට පත් විය. 

No comments: