Apr 25, 2012

සුසී සහ සුගත් උප සභාපති සටනට


මේ වන විට කැදවා ඇති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයට මෑත කාලයේ ශ්‍රි ලංකාවට මලල ක්‍රීඩාවෙන් විශාල කීර්තියක් ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකා යුගලයක් වන සුසන්තිකා ජයසිංහ සහ සුගත් තිලකරත්න ඉදිරිපත් වී සිටියි.නමුත් මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව සිටි අත්දැකීම් සහිත පරිපාලකයන් ලෙස පිළිගැනෙන සුනිල් ජයවීර,ෂෙමාල් ප්‍රනාන්දු,සුදත් මඩුගල්ල,එන්ඒටී ජයසිංහ,උපාලි කුමාරසිරි වැනි තවත් 12 දෙනෙක් සමග තරග වැදීමට සිදුවීම ධාවන පථයේ ජය ගැනීම තරම් පහසු කාර්යයක් නොවන බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
දැනටමත් ආසියාතික යොවුන් තරගාවලියේ සංවිධාන කමිටුවලට ඇතුළත්ව සිටින ෂෙමාල් ප්‍රනාන්දු,සුදත් මඩුගල්ල මෙන්ම මේ වන විට එම උළෙලේ සංවිධායක කටයුතුවල ප්‍රධානතම භූමිකාව බවට පත් වී සිටින සුනිල් ජයවීර ද උප සභාපති තනතුරට තරග වදිමින් සිටීම සුගත් සහ සුසන්තිකා ගේ ජයග්‍රාහී බලාපොරොත්තු අපහසුවට ලක් කරන්නකි.කෙසේ හෝ කේෂ්ත්‍රයේ කිහිප දෙනෙකුගෙන්ම කරන ලද විමසිමක දි දැන ගන්න ලැබුණේ ජ්‍යෙෂ්ඨයන් නොතකා හැරීමකින් තොරව ඔවුන් ‍ගේ අත්දැකීම් සමග එකතු වෙමින් ඔවුන්ගේ සහයෝගයෙන් නිලවරණයේ ඡන්ද ලබා ගැනීමට උත්සාහ කළහොත් ඔවුන් දෙදෙනාට ජය ලැබීමට යම් ඉඩක් ඇති බව ය.
දිවීම සහ පරිපාලනය යන කාරණා පටලවාගෙන අධි තක්සේරුවෙන් කටයුතු නොකොට පරිපාලනයට පිවිසීම සදහා උපක්‍රමශීලී වුවහොත් මෙවර සුසන්තිකා සහ සුගත් යන දෙදෙනාටම හෝ එක් අයෙකුට හෝ මලල ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට අවස්ථාව ඇති බව එම අදහස් දැක් වූවන් තව දුරටත් සනාථ කළ අතර මුලින් සභාපති තනතුරට තරග කරන බව කී රොහාන් ප්‍රදීප් කුමාර කිසිදු නිලයකට තරග නොවදියි. 

No comments: