Feb 13, 2013

ධර්මාශෝක ශත සංවත්සර මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක කිරුළු උදයට සහ එරන්දිට

    බැඩ්මින්ටන් සහ මේස පන්දු ක්‍රීඩාවේ දක්ෂයන් බිහි කරන ස්ථානයක් ලෙස අනාදිමත් කාලයක සිට ප්‍රකට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශත සංවත්සරය අළලා ක්‍රියාත්මක වූ ශ්‍රේණිගත කිරීමේ කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අති සූර ක්‍රීඩකයා වන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ සමක් වුණා.එහි දක්ෂතම ක්‍රීඩකාව වන්නට සමත් වුණේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එරන්දි වරුෂවිතාන යි.ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති දක්ෂ මේස පන්දු ක්‍රීඩිකාවක වන නාමල් ගුණසේකර ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම තරගාවලියට සදහා වයස් ඛාණ්ඩ හතරක තරග ඇතුළත් වුණා.
අවුරුදු 18 න් පහළ, 15 න් පහළ,12 න් පහළ සහ 10 න් පහළ වූ එම වයස් ඛාණ්ඩ හතර යටතේ පැවති තරග වලදී වත්මක් ජාතික අනු සූරයාද වන උදය රණසිංහ අවුරුදු 15 න් පහළ සූරතාවය මෙන්ම අවුරුදු 18 න් පහළ සූරතාවය ද පහසුවෙන් දිනා ගත්තා.එරන්දි වරුෂවිතාන දක්ෂතකම ක්‍රීඩිකාව බවට පත් වූයේ අවුරුදු 18 න් පහළ සූරිය වෙමින් පෑ දක්ෂතා පදනම් කර ගනිමින්.
www.supirikrida.com

හැකිලෙන සීවලි බොක්සිං පුබුදුවාලන රුචිර දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා බවට පත් වෙයි

ජාතික කාන්තා සහ පිරිමි යොවුන් බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට එම තරගාවලියට රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වූ එකම ක්‍රීඩකයා වූ  රුචිර ගුණසේන සමත් වූණා.රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය ජාතික තලයට බොක්සිං ක්‍රීඩකයන් විශාල පිරිසක් බිහිකළ  සහ වර්ථමානයේ එම ක්‍රීඩකයන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බෝ කරන පුහුණුකරුවන් බවට පත් වී තිබෙන බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පාසලකි.නමුත් වර්ථමානයේ එම සහභාගීත්වය ක්‍රමයෙන් හැකිලෙමින් තිබෙන අතර විශේෂයෙන් විද්‍යාලීය පරිපාලනය ඒ කෙරෙහි දක්වන උනන්දුවේ හීනභාවය මෙම තරගාවලියට ද සීවලිය නියෝජනය කරමින් එක ක්‍රීඩකයෙකු පමණක් ඉදිරිපත් වීම තුළින් පැහැදිළි කර ගැනීමට හැකිය.සහභාගි වූ එකම ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා වීම මෙන්ම විදේශිය තරගාවලියක තේරීම් තරගාවලියක් ලෙස පැවත් වූ මෙම තරගාවලියේ ප්‍රතිපල පිළිබදව පාසල සමග සාකච්ඡා කිරීමට බොක්සිං පරිපාලනය උත්සාහ දරද්දී පාසලේ කිසිදු වගකිවයුත්තෙකු ඔහු සමග නොසිටීමත් විද්‍යාලය වර්ථමානයේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.
එසේම සීවලි බොක්සිං වංශ කතාවේ එන පුහුණුකරුවන්ගේ පරිච්ඡේදයට තවත් කතාවක් එකතු කරමින් දක්ෂතම ක්‍රීඩිකාව වූ මාස් සදර්න් බොක්සිං සමාජයේ කාංචනා ලාලනී ගේ පුහුනුකරු වූයේ ද සීවලියේ නිර්මාණයක් වන චම්පික මාතරආරච්චිය.මේ සියළු සාධක සහිත සීවලියේ බොක්සිං හකුළුවා දමන්නට ක්‍රීඩාව කෙරෙහි ආශක්ත නොවන පුද්ගලයෙකුට හැකියාව ඇතත් සීවලියේ වර්ථමාන ක්‍රීඩා ගුරුවරුන් සියල්ලම පාහේ සීවලියේ නිර්මාණ වද්දී එය එසේ වීම ඛේදණිය තත්ත්වයකි.මේ ඛේදණිය තත්ත්වය විද්‍යාලයට පමණක් නොවෙයි තාක්ෂණයෙන් අග තැන් පත් බොක්සිං ක්‍රීඩකයන් නිර්මාණය කරන පාසලක් ලෙස සීවලියට ඇති සුන්දර ඉතිහාසය සළකද්දී රටටද ඉතාමත් අහිතකර තත්ත්වයක් වනවා.
www.supirikrida.com

Feb 11, 2013

අතේ තිබූ දේ කටේ ඔබා ගැනීමේ අවස්ථාව බදුරලිය අහිමි කර ගනියි

 දිමුත් කරුනාරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ගහන එස්එස්සී ක්‍රීඩා සමාජයට එරෙහිව ප්‍රථම ඉණිමේ ජයග්‍රහණයක් ලබා ප්‍රබල තත්ත්වයක සිටි බදුරලිය ක්‍රීඩා සමාජය සිය අත්දැකීම් මදකම හේතුවෙන් දෙවන ඉණිමේදී එම තත්ත්වය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වූ අතර එහි ප්‍රතිපලය වූයේ දෙවන ඊනිමේදී ලකුණු 115 ට දැවී යාමය.ප්‍රථම ඉණිමේදී එස්එස්සී ඉණිම ලකුණු 102 ක ට සීමා කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නියැලෙමින් කඩුලු ත්‍රිත්වයක්ද සහිතව ලකුණු 53 ට කඩුලු 8 ක් දවා ගැනීමට සාලිය සමන් සමත් වූ අතර ඔහු බදුරලිය කණ්ඩායම වෙනුවෙන් සමස්ත තරගයේ බිද හෙළු කඩුලු සංඛයාව ලකුණු 99 ට කඩුලු 10 කි.
දෙවන ඉණිමේ බදුරලිය පිතිකරුවන්ගේ බලාපොරොත්තු කඩ කළ පන්දු යවන්නා බවට පත් වූ එස්එස්සී කණ්ඩායමේ ධම්මික ප්‍රසාද් ලකුණු 20 ට කඩුලු 4 ක් දවා ගත් අතර එස්එස්සී කණ්ඩායමේ ලකුණු 241 ක ඉලක්කය පහසු කළ දිමුත් කරුනාරත්න අගනා ශතකයක් (නොදැවී 109) ලබා ගන්නට සමත් විය.තිලාන් සමරවීර ලකුණු 57 ක් ලබා ගත් අතර කඩුලු හතරක් පමණක් දැවී  අදාළ ඉලක්කයට පිවිසි එස්එස්සී කණ්ඩායම කඩුලු හයක ජයක් ලබමින් බදුරලිය කණ්ඩායමට හිමි ව තිබු තරගයේ ගෞරවය සිය ගිණුමට දමා ගැනීමට සමත් විය.
මෙවර තරගාවලියේ කණ්ඩායම් අතර විශාල අසමානතාවයක් දකින්නට ලැබෙන අතර බොහෝ තරග විසදුමක් සහිතව අවසන් වීම ඒ නිසා දැකිය හැකිය.බීආර්සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගයත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගයත් හැරෙන්නට අන් සියළුම තරග සති අන්තයේ නිමාවට පත් වූයේ විසදුමක් සහිතව වීමත් එම ජය - පරාජයන් ප්‍රථම ඉණිමේ ජය හෝ පරාජයන්ට සීමා නොවී පූර්ණ විසදුම් වීමත් හරහා පැහැදිළි කරන්නේ කණ්ඩායම් අතර ඇති දැඩි අසමානතාවය ය.ඒපිළිබදව පහත සබදතාවයෙන් තරගයන්හී ලකුණු විස්තර සදහා පිවිස වඩාත් පැහැදිළි කර ගැනීමට අවස්ථාව ඔබට ඇත.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/series/590748.html
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව තරගයෙන් ඉවතට?

Erin Osbourne finished with outstanding figures of 10-6-9-3
 එරින් ඒස්බ්‍රෝන්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුපිරි හය වටයේදී දෙවන වරටත් අතිශයින් අසාර්ථක වීම හේතු කොට ගෙන අවසාන පූර්ව තරගයට පිවිසීමේ බලාපොරොත්තු ඈත් කර ගන්නට සිදු විය.දැනට තරගයක් පරාජය වී සිටින එංගලන්තය නවසීලන්තය ඉදිරියේ පරාජය වීම   හෝ නවසීලන්තය හෝ ඉටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඔවුන්ගේ ඉදිරි තරග දෙකම පරාජය වීම යක කරුණු මත ශ්‍රී ලංතාව දකුණු අප්‍රිකාව පරාජය කළහොත් තරග එක බැගින් ජයගත් කණ්ඩායම් තුනක් ඉතිරි වීමටඉඩ ඇති අතර එහිදී මතුවන ගැටළුව ශ්‍රී ලංකාව දැනට පරාජය වූ තරග දෙකේදීම ඉතා අඩු ලකුණු ගණනකට දැවී යාමය.ඒ නිසා ශ්‍රී ලංකාවට ලකුණු වේගය මත අවසාන කණ්ඩායම් හතරට ඇතුළත් වීමට ඇති ඉඩ ඇහිරී යාමට විශාල ඉඩක් ඇත.
ඊයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේදී අසාර්ථක වූ අතර ඊයේ ද පිතිකරණ නාමාවලිය පවත්වා ගෙන යාමේදී දැක් වූ දුර්වලතා පැහැදිළි විය.පරාජිත නවසීලන්ත තරගයේදී අංක තුන සහ හතර පිතිකාරිනියන් ලෙස පිටියට පිවිස එම තරගයේ ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකාරිණියන් බවට පත් වූ දීපිකා රසාංගිකා සහ ඩිලානි මනෝදරා ඊයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් සාර්ථක වූ පිතිකාරියෝ වූහ.නමුත් නවසීලන්ත තරගයේදී සාර්ථක වූ මනෝදරාට ඒ වෙනුවෙන් ඊයේ සිය පිතිකරු අංකය හතරේ සිට හය දක්වා පහළ බසින්නට සිදු වී තිබුණු අතර මෙම තරගාවලියේ දස්කම් අතර නැති සදමාලි දොලවත්තට ඊයේ අංක පහ දක්වා උසස් වීමක් ලබා දී තිබිණ.මනෝදරා සහ දීපිකා පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගි ලකුණු 49 සබදතාවය තෙවන විකට්ටුවට වාර්තා විණි නම් ශ්‍රී ලංකාවට මීට වඩා ලකුණු සංඛ්‍යාවකට යාමට ඉඩ ලැබෙන්නට තිබුණු අතර චාමිණි සෙනවිරත්න මේ තරගාවලියේ යම් මට්ටමකට සාර්ථකව සිටින නමුදු ඊයෙත් ඇයට පන්දුවට පහර දෙන්නට ලැබුණේ අංක නවය පිතිකාරිනිය ලෙස ය.


Deepika Rasangika top scored with 43
දීපිකා රසාංගිකා
කෙසේ වුව ද ශ්‍රී ලංකාව තරගාවලියේ මේ දක්වා එකම අපරාජිත කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව ඉදිරියේ අවසානයේ එකතු කර ගත් ලකුණු 131 කිසිසේත්ම ප්‍රමාණාත්මක ලකුණු සංඛ්‍යාවක් නොවූ අතර එහි ප්‍රතිපලය වූයේ පන්දු ඕවර් 22.2 දී අවශ්‍යය ලකුණු ප්‍රමාණය එක් කඩුල්ලක් පමණක් දැවී ලබා ගැනීමය.එහිදී දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලි රැචෙල් හෙයින්ස් නොදැවී ලකුණු 71 ක් රැස් කළේ පන්දු 61 කින් ය.නමුත් තරගයේ වීරවරිය වන්නට හැකි වුයේ ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට වඩාත්ම හිසරදයක් වන ආකාරයෙන් පන්දු යැවූ එරින් ඒස්බ්‍රෝන් ය.ඇය පන්දු ඕවර් 10 තුළ ලකුණු 9 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තාය.තරගයෙ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/current/match/594907.html
www.supirikrida.com

Feb 9, 2013

ලංකාවට අපල දවසක්

Chamari Atapattu was bowled for a duckකාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව නවසීලන්තය ඉදිරියේ පරාජයට පත් වුණා.ඒ එංගලන්ත තරගය ජය ගෙන අනතුරුව අදහාගත නොහැකි අන්දමින් බටහිර ඉන්දීය කොදෙව් තරගයට පරාජය වූ අයුරින්මයි.ඉන්දියාවට එරෙහිව සුපිරි ජයක් ලබමින්  සුපිරි හය වටයට පිවිසි ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණයකින් පසුව අනවශ්‍යය ආකාරයට සැහැල්ලු වන්නේ දැයි සැක සිතෙන තරමට නවසීලන්තයට එරෙහිව ලකුණු 103 ට දැවී යාම ද අදහාගත නොහැක්කක්.
ඉන්දීය තරගයේදී පිතිකරු පෙළ ගැස්ම ඉතා හොද මට්ටමකින් ක්‍රියාත්මක වූ අතර ඒ නිසාම පිතිකාරිණියන් සිව් දෙනෙකුම අර්ධ ශතක ලබා ගත්තා.නමුත් එම පිතිකරු අනු පිළිවෙළ ඊයේ යළත් වෙනස් කම් වළට භාජනය වී තිබෙනු දකින්නට ලැබුණු අතර මෙසේ ස්ථාවර පිතිකරණ අනු පිලිවෙළක් දකින්නට නොලැබීම තරගාවලිය පුරාම ක්‍රියාත්මක වනවා.මේ තත්ත්වය දක්ෂතා අතින් ඉහළින් සිටියද පරිනත වෘත්තීය තත්ත්වය හා සම වීමට ශ්‍රී ලංකාවට තව දුර යා යුතු බව පෙන්වා දීමක්.
එය ක්‍රීඩාවේ පරිපාලනය හා සෘජුවම සම්බන්ධ වෙනවා.ස්ථාවර වෘත්තීය මට්ටමක් වෙනුවට තරගයෙන් තරගයට මුදල් උපයන දෛනික කූලි රැකියාවක් බදු ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ජීවිත වල අස්ථාවර ස්වභාවයද පරිනත තත්ත්වයට ප්‍රවේශ වීමට ඇති මාර්ගය ඉදිරියේ තබා ඇති මාර්ග බාධක බදුයි.
මේ තත්ත්වය නිසා විශාල ජයග්‍රහණයකින් පසු ඊ ළග තරගයට අතිශයින් සරල විදිහට සෙසු කණ්ඩායම නොසළකා හැර සහභාගි වන්නේද යන සැකය පසු ගිය කාලය තුළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හැසිරීම් නිරීක්ෂණය කිරීමේදී සාධාරණ සැකයක් ඇති වෙනවා.
මේ සදහා වෘත්තීය තත්ත්වය ස්ථාවර වීම සහ ජයග්‍රහණය ආඩම්බර වීමට ආභරණයක් නොවන සාමාන්‍ය ජීවිතයේ කොටසක් වන තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ භෞතික සහ අධ්‍යාත්මික පරිසරය සකස් වීම වැදගත් වෙනවා.ඒ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අද දෑස් වලට ඇගිල්ලෙන් අනින තරමේ දස්කම් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙන්වා තිබෙනවා.දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිය පමා වූ වගකීම ඉටු කිරීමට කාලය එලැඹ තිබෙන බව මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ සිදු වූ පරාජයන් සහ ජයග්‍රහණ හරහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පැහැදිළි කරමින් සිටිනවා.
එසේම නවසීල්නතයට කඩුලු අටකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජයට පත් වෙමින් සුවිශාල දක්ෂතා මගින් තහවුරු කරන ලද ජයග්‍රහණ වල දීප්තිය අඩු කර ගනිද්දී එංගලන්ත ක්‍රීඩිකාවන්ට ලකුණු දෙකක තියුණු පරාජයක් ඕස්ට්‍රේලියාවෙන් හිමි වීමටත් ශ්‍රී ලාංකිකයෙකු බල පෑවා.ඒ තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ රුචිර පල්ලියගුරු ලබා දුන් දුර්වල විනිසුරු තීරණ දෙකත් ඒ සියුම් පරාජයට විශාල වශයෙන් හේතු වූ නිසයි.විස්තර විචාරකයන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක් වූ පල්ලියගුරුගේ විසින් එංගලන්තයේ ප්‍රබලතම පිතිකාරිණිය වන නායිකා චාලට් එඩ්වර්ඩ්ස් ට එරෙහි කඩුල්ල ආවරණය කිරීමේ තීරණයත්,එයින් බිද වැටෙමින් තිබූ එංගලන්ත ඉණිම ගොඩ ගනිමින් ලකුණු 57 ක සබදතාවයක් ගොඩ නැගී තිබියදී සාරා ටේලර්ට ලබා දෙන කඩුල්ල ආවරණය  කිරීමේ  තීරණයත් යන දෙකම නොදැවීම් හැටියට හදුනා ගැනීමට හැකි වුණා.
මේ නිසා ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාවට ප්‍රතිවාදියෙකු ලෙස හමුවන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවට ද  යම් අවාසියක් මේ ජයග්‍රහණයෙන් අත් විය හැකි නිසා පල්ලියගුරුගේ ගේ දුර්වල තීරණයන් ශ්‍රී ලංකාවට ද බලපාන තීරණ ලෙස හැදින්විය හැකියි.
www.supirikrida.com

බැඩ්මින්ටන් දන්දෙණියට දන් දෙන වෑයමක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ උදහසට ලක් වී තිබෙන වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනයේ අක්‍රමවත් සහ විනිවිද භාවයකින් තොර පාලනය නිසා මෙවර ඔවුන්ට අමාත්‍යවරයාගේ ආශිර්වාදය නොලැබෙන තත්ත්වයක් තුළ සුරාජ් දන්දෙණිය සභාපති පුටුවට ගෙන ඒමට වත්මන් පරිපාලනය විසින් න්‍යාය පත්‍ර සකස් කරමින් සිටින බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.මෑත ඉතිහාසයේ පරිපාලනය කොයි පිට පෙරලුණ ද,බලය සහිත කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටීමට අවශ්‍යය පදනම සකස් කර ගන්නා පාලකයා යන අර්ථය සිය නමේම ඇති පුද්ගලයෙකු මේ කොන්ත්‍රාත්තුව මෙහෙයවන බව ද එම තොරතොරු ඔස්සේ වාර්තා වෙයි.
ක්‍රීඩා අමාත්‍යවරයා ද බැඩ්මින්ටන් පරිපාලනයට ද මේ පුද්ගලයා ඉවත් කළ යුතු බව වරක් දැන් වුව ද,අවසානයේ සිදු වූයේ අමාත්‍යවරයාගේ ඉල්ලීම ක්‍රියාත්මක වීම වෙනුවට ඔහුට පරිපාලනය තුළ වඩාත් බලසම්පන්න වීමට අවස්තාව ලැබීමය.නාඩි වැටෙන අයුරෙන් ලෙඩේ නිගමනය කළ හැකි වෙදනෙකු වැනි යැයි කේෂ්ත්‍රයේ කතා බහට ලක් වන මේ පුද්ගලයා අමාත්‍යවරයාගේ කැමැත්ත ‍ගත හැකි පුද්ගලයෙකු නිලවරණයට කැදවමින්,එම කණ්ඩායමේ ප්‍රබල භූමිකාවට අර ඇදීමට සූදානමින් සිටින බව ද එම ප්‍රවෘත්ති වාර්තා පෙනවා දෙයි.මේ හැකියාව භාවිතා කරමින් තමන් ගැන ඉහළින් ඇති විරෝධය මැඩ ගත හැකි පුද්ගලයන් යොදා ගැනීමට ඔහුට ඇති හැකියාව නිසාම අතැමුන් ඔහු 'නාඩි වෙදා' ලෙස හදුන්වන බව ද එම ආරංචි මාර්ග පැහැදි"ළි කරයි.
ඉකුත්2011  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ප්‍රවේශපත් වංචාවන් සහ ක්‍රීඩා පිටි ඉදිකිරීමේ කොන්ත්‍රාත් පිළිබදව නිතරම මාධ්‍ය හරහා නම කියැවුණු පුද්ගලයෙකු වූ දන්දෙණියට මේ සදහා රජයේ ඉහළ ආශිර්වාදය හිමි වනු ඇතැයි යන විශ්වාසයෙන් බැඩ්මින්ටන් මුල් පුටුවට ගෙන ඒමේ සටන ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර,එම පරිපාලනයේද බොහෝ වගකීම් අමාත්‍යවරයාගේ සිටම විවේචනයට ලක් වූ පවතින පරිපාලනයේ පුද්ගලයන් අතටම සුළු සුළු වෙනස්කම් සහිතව පත් වීමට නියමිත බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.සුරාජ් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වූ ආන්දෝලනාත්මක කතා බහ තුළ ක්‍රීඩා අමාත්‍යවරයාට සුරාජ්ට මේ සදහා ආශිර්වාද කිරීමට තරම් දේශපාලනික වශයෙන් යටත් පහත් වන්නට සිදු වුවහොත් අමාත්‍යවරයාම දැඩිව විවේචනය කළ බැඩ්මින්ටන් පරිපාලන දේහය ඒ ආකාරයෙන්ම පවතිද්දී වෙනත් පාට ඇදුමකින් එය සැරසීමක් පමණක් සිදු වනු ඇති බව සුපිරික්‍රීඩා අවධාරණය කරන්නෙමු!
www.supirikrida.com

දැල්පන්දු තේරීම් කමිටුවේ නාම ලේඛණය සැකසීමේදී ඉහළ නිලධාරිණියක් ඇමති SALE කරයි

දැල් පන්දු තේරීම් කමිටුවේ නාම ලේඛනය සැකසීමේදී අමාත්‍යවරයාගේ හිතවතියන් බව කියමින් සෙසු නිලධාරීණියන්ගේ අකමැත්ත සහ විරෝධය නොතකා එම නාම ලේඛනයට දෙදෙනෙකුගේ නම් ඇතුළත් කිරීමට දැල්පන්දු ඉහළ නිලධාරිණියක් කටයුතු කළ බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.අදාළ නිලධාරිණිය වරින්වර විවිධ පාර්ශව වල සාමාජිකාවක් වෙමින් වසර ගණනාවක් නිල වරණ වලදී ජයග්‍රහණය කරන කණ්ඩායමේ සාමාජිකාවක් වීම සදහා පිල් මාරු කිරීමට ප්‍රසිද්ධියක් උසුලන්නියක් වන අතර ඇය විසින් මෙසේ ඇමතිවරයාගේ නම විකුණා විරෝධයන් යටපත් කොට ඇතුළත් කර ඇති එක් නමක් වර්ථමාන දැල්පන්දු කඩා වැටීමට මුලීකත්වය ගනිමින් ජාතික පුහුණුකාරියව සිටි තිලකා ජිනදාස ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන්ම පිඹුරුපත් සැකසූ නිලධාරිණිය යි
හිටපු අති විශිෂ්ඨ ක්‍රීඩිකාවක් වූ තේරීම් කමිටුවට නම් කරන ලද තැනත්තිය සිය පරිපාලන සමයේදී පුද්ගල හැකියාවන් සහ දක්ෂතාවයන් වෙනුවට සිය රුචිකත්වයන් මත ලාංකේය දැල් පන්දුවේ හැඩතල වෙනස් කිරීමට දැරූ උත්සාහයන් නිසා අද වන විට දැල් පන්දුව ජාත්‍යන්තර වශයෙන් කඩා වැටී ඇති ස්ථානය දක්වා පහළ වැටී ඇත.මේ නිසා පෞද්ගලික කැමැත්තන් මත කටයුතු කිරීමේ ඇය සතු ලක්ෂණය මෙන්ම වෙනත් විනය කාරණාද සැළකිල්ලට ගනිමින් ඇයගේ නම ඉදිරිපත් කිරීමට සෙසු නිලධාරිණියන් විරෝධය දක්වද්දී ඇය ක්‍රීඩා අමාත්‍යවරයාගේ සමීපතම හිතවතියක් බව පවසමින් ඇය නම් නොකිරීමෙන් දැල්පන්දු සංගමය ඇමති උදහසට ලක්වන තැනක් වනු ඇතැයි පෙන්වීමට ඇයගේ නම ඉදිරිපත් කළ නිලධාරිණිය කටයුතු කර ඇත.
බලයට පත්වන පාර්ශවයට හේත්තු වී ඉහළ නිලයකට ප්‍රවේශ වීම මෙන්ම සිය පෞද්ගලික සබදතා සදහා සංගමයේ යම් යම් කාර්යයන් පවරා ආර්ථික වාසි ලබා ගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වි ඇති තේරීම් කමිටු නාම ලේඛණය සැකසීමට බලපෑම් කළ නිලධාරිණිය පළමු වරට අමාත්‍යවරයාට ඉදිරිපත් කළ නම් අට, අමාත්‍යවරයා 10 දෙනෙකු දක්වා දීර්ඝ කර එවන මෙන් කළ ඉල්ලීමට,අනුව ඉතිරි නම් දෙක සැකසීමේදී ද,පළමුව නම් කළ නම ඇති තැනත්තිය සේවය කරන ආයතනයට සම්බන්ධ තවත් හිටපු ක්‍රීඩිකාවකගේ නම ද,අමාත්‍යවරයාගේ හිතවතියක් බව කියමින් සෙසු නිලධාරිණියන්ගේ විරෝධය යටපත් කොට ඇතුළත් කිරීමට මෙම නිලධාරිණිය කටයුතු කර ඇත.එම තැනත්තිය මීට පෙර අතුරු කමිටුවක් සදහා ගෙන ඒමට තැත් කර ඇති තැනත්තියක් වන අතර ඒ නිසා විශාල ගැටළු ගණනාවකට සිය පෞද්ගලික ජීවිතයේද මුහුණ දෙන්නට සිදු වූ තැනත්තියක් බව පරිපාලනයේ ඇතැම් අය පෙන්වා දීමට උත්සාහ කළ ද,ඉහළ නිලධාරිණිය ඒ සෑම අවස්ථාවකම අදාළ නම් දෙක ඉදිරිපත් නොකිරීම අමාත්‍යවරයාගේ උදහසට හේතු විය හැකි තත්ත්වයක් නිරිමාණය කිරීමට හේතු වනු අතැයි පෙන්වා දී ඇත.
වසර ගණනක සිට පැවති පරිපාලනයන්හි සාමාජිකයෙකු ලෙස ඇති වී තිබෙන සෑම ගැටළුවකටම වගකිව යුතු නිලධාරිණියක් වන මෙම ඉහළ නිලධාරිණිය අමාත්‍යවරයාගේ උවමනාවන් බව අගවමින් මේ ආකාරයට කටයුතු කළහොත්,දැල්පන්දුවේ දියුණුව අපේක්ෂාවෙන් පළමු වරට නිල වගකීම් ගැනීමට තීරණය කළ වර්ථමාන පරිපාලනයේ සිටින බොහෝ දෙනෙකු තමන් අපේක්ෂා කළ පරිදි කටයුතු කිරීමට නොහැකි වනු ඇතැයි සවේගයෙන් පසුවෙති.ඒ අතරම මෙම නිලධාරිණිය තේරීම් කමිටුවට අදාළ නම් යෝජනා කිරීම පිළිබද සැලවීමෙන් පසු තේරීම් කමිටුවට කැදවීම් කරන ලද කිහිප දෙනෙකුම පෞද්ගලික හේතු මවා පෙන්වමින් ඒ සදහා සහභාගි වීමට නොහැකි බව දන්වා ඇත.
එසේම මෙම තේරීම් කමිටු නාම ලේඛණයේ තේරීම් කමිටුවල සාමාජිකාවන් ලෙස කටයුතු කිරීමේදී පෞද්ගලිකත්වය නොතකා සෘජු තීරණ ගණිමින් සහ ඒ තීරණ වෙනුවෙන් සෘජුව පෙනී සිටි නිලධාරිණියන් ද  සිටින අතර එසේම තනතුරු වගකීම් ආභරණ කොට සළකා සිය සෞඛ්‍යය තත්ත්වය හෝ වයස පවා නොසළකා වගකීම් බදා ගැනීමට ගිජු කමක් දක්වන මෙන්ම අමාත්‍යංශයට සම්බන්ධ වී දැල්පන්දුව දියුණු කිරීමේ වගකීමට නිසි ලෙස සහ නිර්මාණාත්කව උර නොදුන්න ද,එම තනතුරේ ආලෝකයෙන් වරප්‍රසාද භුක්ති විදින චරිතද ඇතුළත්ව ඇත.කෙසේ වුව ද අමාත්‍යවරයා නිවැරදි තේරීමක් නොකළහොත් දැල් පන්දු පරිපාලනය වැඩ ආරම්භ කිරීමට උත්සාහ දරමින් පළමු වරට තේරීම් කමිටුව නම් කිරීමට දරණ උත්සාහයේදීම බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බව සුපිරි ක්‍රීඩා පෙන්වා දෙන්නේ මේ වන විටත් මෙසේ නම් කරන ලද ඇතැමුන් නිවැරදි පුද්ගලයන් එයට සම්බන්ධ නොකොට තම නම ඇතුළත් වුවහොත් තේරීම් කමිටු සාමාජිකත්වය නොදරණ බව ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළය.
www.supirikrida.com