Nov 17, 2012

මගේ සිහිනය විද්‍යානූකූල බොක්සිං පුහුණුකරුවෙකු වීමයි - අනූෂා කොඩිතුවක්කු

සිය අවසන් විදේශිය බොක්සිං තරගාවලිය ලෙස ටියුනීසියා ජාත්‍යන්තර බොක්සිං සූරතාවලියට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවට වටිනාම ජයග්‍රහණ ලබා දුන් බොක්සිං ක්‍රීඩිකාව ලෙස පිළිගැනෙන අනූෂා කොඩිතුවක්කු,සිය බොක්සිං ජීවිතයේ අවසන් විදෙස් සංචාරයද රන් පදක්කමක් හිමි කර ගනිමින් නිමා කරන්නට සමත් වුණා.ජයග්‍රහණයෙන් අනතුරුව සුපිරික්‍රීඩා වෙත අදහස් ප්‍රකාශ කළ අනූෂා පැවසුවේ තමන්ගේ ඊළග බලාපොරොත්තුව තවත් ශ්‍රී ලංකාවට බොක්සිං ජයග්‍රහණ ගෙන ඒමට සමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සදහා විද්‍යානුකූල බොක්සිං පුහුණුකරුවෙකු වීම බවයි.

තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමකින් පුහුණු කටයුතු කළ බව කී අනූෂා,තමා ඔලිම්පික් නියෝජනය බලාපොරොත්තුවෙන් වැඩි බර පංතියකට පිවිස ක්‍රීඩා කළ ද,යළි එම තත්ත්වයෙන්  මිදී ස්වභාවික බර තත්ත්වයට පිවිස ක්‍රීඩා කිරීමට ලැබීම ද මෙහිදී වාසියක් වූ බව පැවසුවාය.තමා සමග මෙම තරගාවලියට සහභාගි වූ  ශිරෝමාලා සහ සිතාරා දෙදෙනා ද විශාල කැපවීමකින් ක්‍රියා කළහොත් මේ ජයග්‍රහණ ඉදිරියට ආරක්ෂා කළ හැකි බවපැවසූ අනූෂා ශිරෝමාලා හොදින් අභියෝග ජය ගත්තද,ඇයට තරග සටහන සැකසීමේදී ම යම් වාසිදායක තත්ත්වයක් උදා වු බව පැවසුවේ ඇය ඉහළ බර පංතියක තරග වැදීමේ වාසිය ද හිමි කර ගත් බව පවසමින්ය.

සිතාරා ට ඒ පදක්කම වෙනුවෙන් හොද තරගයක් දෙන්න වුණා යැයි පවසන අනූෂා මෙම ජයග්‍රහණ වලට වඩා ජාත්‍යන්තර මට්ටමේදී විශාල අභියෝග හමුවන බව පෙන්වා දුන් අතර ඒ සදහා මෙම ක්‍රීඩිකාවන් බොහෝ කැපවිම් කරමින් පුහුණුවීම් කර ගෙන යා යුතු බව පෙන්වා දුන්නාය.තම අවසාන විදේශ තරගාවලියේ දී බොක්සිං ජීවතයේ සියළු ශක්තීන් සම්පාදනය කළ පුද්ගලයා ලෙස ඩයන් ගෝමස් අසළින් රැදී සිටීම තමාට විශාල ශක්තියක් වූ බව පෙන්වා දුන් අනූෂා,ඒ ශක්තියේ වටිනාකම සිය වචන වලට හරවමින් පැවසුවේ 'මේ ජයග්‍රහණයේ ගෞරවයෙන් වැඩි ප්‍රමාණයක් ඩයන් ස්ර්ට හිමි විය යුතුයි' යනුවෙනි.

ආධුනික මට්ටමේ ක්‍රීඩිකාවක ලෙස වසර 10 ක පමණ කාලයක් බොක්සිං කවයේ රැදී සිටිමින් කළ දේ පිළිබදව තෘප්තියට පත්වන බව කි අනූෂා සිය සමුගැන්මෙන් පසු තරග කිහිපයක් හෝ වෘත්තීය බොක්සිං ක්‍රීඩිකාවක ලෙස තරග කිරීමේ සිහිනයක් තිබෙන බව පෙන්වා දුන්නාය.එහිදි ආරක්ෂක හිස් වැසුම් ආදියෙන් තොරව නිරාවරණව තරග වැදීමට අනූෂාට සිදු වන අතර ඇය ඒ සදහා සූදානම් වීමට ඉදිරි කාලය කැප කිරීමට බලාපොරොත්තු වන්නීය.
www.supirikrida.com

ගුරු මව්නි නිවන්සුව ලැබේවා!


විශ්‍රාමික ගුරු මාතාවක වූ සහ ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයෙකු වූ සුජීව විජයනායක ගේ අදරණිය මැණියන් වන ඩබ්ලිව්ඩීඑම් චිත්‍රලතා මහත්මිය වසර හැටක් ආයු වළදා අප අතරින් වෙන්ව ගියේය.කලක සිට දැඩි රෝගාතූර තත්ත්වයකින් පසු වූ එම මහත්මිය ඉකුත් 15 වන දින සදහටම අප අතරින් වෙන්ව ගිය අතර දේහය පිළිබද අවසාන කටයුතු මෙම නොවැම්බර් 18 දා සිදු කිරීමට නියමිතය.දැනට දේහය දෙවලපොල,බලබෝව,65/ඩී/1 නිවසේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබදව වැඩි තොරතුරු අංක 033 - 2289190 දුරකථන අංකයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.

දස දහස් දූ-දරු කැළකගේ නැණස් පෑදූ එම ආදරණිය ගුරුමාතාවට සුපිරිකීඩා ගෞරවය සහ ආචාරය හදවතින්ම පුද කරමු.
ඔබට නිවන් සුව!
www.supirikrida.com

Nov 16, 2012

ලෝකය එක්ක ගැටෙන්නට ගිය ලංකාවේ 'එක' ඉවතට වීසි වෙයි.

 ‍ලෝක කාන්තා චෙස් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ ප්‍රථම කාන්තාව ලෙස රැසියාවේ පැවති ලෝක කාන්තා සූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා චෙස් සූරිය සචිනි රණසිංහට ප්‍රථම තරගයෙන්ම වට 2 - 0 ක පරාජයක් අත් විය.ඒ ඉකුත් කාන්තා ලෝක සූරතාවලියේ ලෝක සූරි චීනයේ හුව් යිෆොන් ඉදිරියේය.ආසියානු කලාපීය තරග ජයග්‍රහණ හරහා මෙම තරගාවලියට සුදුසුකම් ලබන සචිනි ශ්‍රී ලංකාවේ ඉන්ටර්නැෂන්ල් මාස්ටර් තත්ත්වයට පත් වූ පළමු ක්‍රීඩිකාවද වන බැවින් මේ වන විට මෙරට බිහි කළ ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම සිටින්නිය ලෙස විවාදයකින් තොරව හැදින්විය හැකිය.
 කොළඹ මියුසියස් විදයාලීය සිසුවියක වන සචිනි,මේ වන විට ලබා ගෙන ඇති ජයග්‍රහණ සළකද්දී දිගු ගමණක් යා හැකි රටට ආඩම්බරයක් විය හැකි ක්‍රීඩිකාවක් බව ඔප්පු කර හමාරය.නමුත් මේ තරගාවලියේ අවසාන මොහොත දක්වාත් ප්‍රමාණාත්මක අනුග්‍රහයක් නොලබමින් ලත වෙමින් සිටි ඇයට තරගාවලියේ අභියෝගය තරමටම සහභාගීත්වය සදහා අවශ්‍යය පරිදි අනුග්‍රාහකයන් සොයා වෙහෙසෙන්නට ද සචිනිට සිදු වූවාය.
මනස පැහැදිළිව සහ සැළසුම් ගත වීමට අවශ්‍යය විවේකයෙන් මෙවැනි තරගාවලියක අභ්‍යාස සමය ගෙවා දැමිය යුතු වුව ද,ලංකාවේ බොහෝ ක්‍රීඩාවන්ට සිදුවන ආකාරයෙන්ම අවසාන මොහොත දක්වා අනුග්‍රාහකයන් සොයා අවිනිශ්චිත භාවයෙන් සහ ඇපැහැදිළි තත්ත්වයෙන් කටයුතු කරන්නට වීම කණගාටුදායකය.ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් වී අදාළ ගුවන් ටිකට් පත ලබා දීමට කටයුතු කළ අතර සෙසු අවශ්‍යතා වෙනුවෙන් ඇයට විශාල වෙහෙසක් දරන්නට සිදුවිය.

 

අනූෂාගෙන් රත්තරන් සමුගැනීමක්! ඔලිම්පික් ක්‍රීඩිකාව ප්‍රථම වටයේදීම බිම

අනූෂා
ටියුනීසියා අන්තර් ජාතික කාන්තා බොක්සිං සූරතාවලියේ කිලෝග්‍රෑම් 48 බර පංතියේ රන් පදක්කම සදහා වූ අවසාන තරගයේ දී ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩිකා පින්ලනත්යේ ලොයිකනන් ලොටා ප්‍රථම වටයේදීම බිම හෙලූ අනූෂා කොඩිතුවක්කු සිය බොක්සිං ජීවිතයේ අවසානය රත්තරන් සමුගැනීමක් බවට පත් කර ගත්තාය.තරගාවලියට පෙරම සිය සමුගැනීමේ තරගාවලිය ලෙස හදුන්වමින් මේ තරගාවලිය නියෝජනය කළ අනූෂා ටියුනීසීයානු රන් පදක්කම මෙන්ම ආසියානු කාන්තා බොක්සිං තරගාවලියකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් එකම ක්‍රීඩිකාවද වන්නීය.2006 දී වියට්නාමයේදී එම දස්කම ප්‍රදර්ශනය කළ අනූෂා 2010 වසරේදි බාබඩෝස් හී පැවති ලෝක සූරතා බොක්දි තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගත්තාය.ලොව ශ්‍රේණිගත කිරීම් වලට අනුව සිය බර පංතියේ ලොව ප්‍රථම දසදෙනා අතරට පැමිණිමට සමත් වූ ක්‍රීඩිකාවක වන අනූෂා ගේ ඔලිම්පික් සිහිනය ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විසින් ඔලිම්පික් සදහා බර පංති දෙකක් පමණක් නම් කිරිම හේතුවෙන් අතහැර දමන්නට සිදු විය.

අවසාන පූර්ව තරගයේදී සත්කාරක ටියුනීසියාව නියෝජනය කළ මාලෙක් වර්ටිනී ලකුණු 14 /4 ක් ලෙස පරදා පහසුවෙන් අවසාන තරගය සදහා පිවිසි අනූෂා රන් පදක්කම සදහා වන තරගයේදී  ලොටා ව ඊටත් වඩා පහසුවෙන් පරාජය කරන්නට සමත් වූවාය.ස්ලිම්ලයින් බොක්සිං සමාජය නියෝජනය කරන ඈ, අනුරුද්ධ රත්නායක,වසන්ත කුමාර මෙන්ම මෙම තරගාවලියට සහභාගි වන හර්ෂ කුමාර වැනි පුහුණුකරුවන් ගණනාවක් යටතේ මෙන්ම ජාතික පුහුණුකරුවන් ලෙස සේවය කළ  කියුබානු පුහුණුකරුවන් යටතේද පුහුණුව ලබා ඇත. මෙම තරගාවලියට සහභාගි වූයේ හර්ෂ කුමාර යටතේ පුහුණුව ලබමින් වන අතර මෙම ජයග්‍රහණය පිටුපස අනූෂා ගේ විශාලතම ශක්තිය වූ ඩයන් ගෝමස් කණ්ඩායම් කළමණාකරු ලෙස ඇය අතර රැදීමද ඇයගේ මානසිකත්වයට විශාල ශක්තියක් සහ සහනයක් වූවාට සැක නැත.

ශිරෝමාලා
එසේම මෙම තරගාවලිය නියෝජනය කළ කිලෝග්‍රෑම් 75 බර පංතියෙන් තරග වදින ශිරෝමාලා වීරරත්න මෙම තරගාවලියේදී සිය ජාත්‍යන්තර තරග දිවියේ දෙවන ලෝකඩ පදක්කම දිනා ගත්තාය.පළමු සංචාරය ලෙස මොංගෝලියාවේ පැවති ආසියානු කාන්තා බොක්සිං තරගාවලියට සහභාගි වූ ශිරෝමාලා  එහිදී ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.සිය දෙවන තරගාවලිය වූ මෙම තරගාවලියද ලෝකඩ පදක්කමකින් නිමා කළ ශිරෝමාලා අනාගතයේ ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කේෂත්‍රයේ බලාපොරොත්තුවක් බව පැහැදිළි කරමින් සිටින්නිය.ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ශිරෝමාලා පොලීසිය වෙනුවෙන් ජාත්‍යන්තර පදක්කමක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක් වන්නීය.බන්දුල ගමගේ මෙන්ම වර්ථමානයේ මෙම සංචාරය සදහා සහය පුහුණුකරු ලෙස එක් වී සිටින,ඩබ්පී මෙණ්ඩිස් ද ඇයගේ බොක්සිං ජිවිතය ආලෝකමත් කළ පුහුණුකරුවන් වන්නේය.

සිතාරා
සිතාරා සදරේඛා මාස් සදර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් බොක්සිං කවයට පිවිස සිටින අතර ඇයගේ පුහුණුකරු වන්නේ චම්පක මාතරආරච්චිය.තෙවන ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වන ඇය ද කිලෝ ග්‍රෑම්

57 බර පංතියේ ලෝකඩ පදක්කමේ හිමි කාරිය වන්නට සමත් වූවාය.විද්‍යාණුකූල බොක්සි ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලංකාවේ වැඩෙමින් පවතින බොක්සි ක්‍රීඩිකාවන් අතර වැඩි අවධානයක් දිනා ඇති සිතාරා,ජාතික මට්ටමෙන් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලද ක්‍රීඩිකාවක්ය.ඒ නිසා මෙම තරගාවලියෙන් පසුව ඇති වන අනූසා ගේ හිස්තැන සදහා ජාත්‍යන්තර කාන්තා බොක්සිං පිටියට ලංකාවේ නම රැදවිය හැකි ක්‍රීඩිකාවක් ලෙස ප්‍රවේශ කළ හැකි ක්‍රීඩිකාවන් අතර සිතාරා ද පෙරමුණේම රැදෙන ක්‍රීඩිකාවක්ලෙස හැදින්විය හැකිය.

තරගාවලියේ විශේෂත්වය වන්නේ තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් එක් වූ ක්‍රීඩිකාවන් තිදෙනාම  පදක්කම් අතර සිටීමය.ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසයට අලුත් වාර්තාවක් වන මේ සියල්ලෝම පදක්කම් රැගෙන එන තරගාවලිය ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අලුත් පිටුවක් පෙරළිමට අවස්ථාවක් කර ගන්නේ නම් අපූරුය.දැනට කාන්තා බොක්සි ප්‍රමාණාත්මකව ව්‍යාප්ත වී නොමැති වීම  මෙන්ම ප්‍රමාණවත් තරග ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවිම ගැටළුකාරී තත්ත්වයක් වන අතර ඒ අඩුව පිරවිය යුතු බවට දුන් සංඥාවක් ලෙස බොක්සිං පරිපාලනය මෙන්ම රටේ ක්‍රීඩාවේ පාසල් හා ජාතික පරිපාලනද අනූෂා,සිතාරා සහ ශිරෝමාලාගේ මෙම දක්ෂතාවය භාර ගත යුතු බව අපි විශ්වාස කරමු.
www.supirikrida.com





අමාත්‍යංශය ආයෙත් දැලේ පැටලෙයි

ක්‍රීඩා අමාත්‍යංශයෙන් සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන දැල් පන්දු සංචාරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන දැල් පන්දු පුහුණුකාරියන්ගේ වැඩ මුළුව හැදෑරීම සම්බන්ධයෙන් සහභාගි වීමට අමාත්‍යංශයේ අවසරය ලබා දෙමින් නිකුත් කළ ලිපිය මේ වන විට දැල් පන්දු පරිපාලනය සම්බන්ධයෙන් කිසිදු බලයක් නොමැති නිලධාරිනියකගේ නමට නිකුත් කිරීම නිසා එම පුහුණුකාරියන් දැඩි අපහසුවකට පත් වී ඇතැයි සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.ක්‍රීඩා සංවර්ධනය පැවරුණු නිලධාරියෙකු අමාත්‍යවරයා වෙනුවට අත්සන් තබා මෙම ලිපිය නිකුත් කරන විට එහි ඇති වරද පෙන්වා දීමට පුහුණුකාරියන් ඉදිරිපත් වී ඇති බව සනාත කරන ක්‍රීඩා අමාත්‍යංශයේම ආරංචි මාර්ග අදාළ නිලධාරියා එයට සවන් දෙනු වෙනුවට අපට කළ හැකි දේ ඔපමණ යැයි පවසා එම ලිපිය නිකත් කර ඇත.

ඇහුං කං දීම පුරුද්දක් වශයෙන්ද,විමසා බැලීම චාරිත්‍රයක් වශයෙන්ද පැහැර හරින නිලධාරින් පිරිසක් ක්‍රීඩා අමාත්‍යවරයාට කිසිදු අවබෝධයකින් තොරව ක්‍රීඩාව සම්බන්ධයෙන් යෝජනා ගෙන ඒම,නිර්දේශ ඉදිරිපත් කිරීම සහ තමන්ගේ පහසුව සහ අවශ්‍යයතාවය පදනම් වුණු න්‍යාය පත්‍ර මත කටයුතු කිරිමේ  අවධානමක් පවතින බව මීට පෙර ක්‍රීඩා ඇමති නොදුටු පෙරහැර නම් වු ලිපියෙන් අප පහදා දුන් අතර එම තත්ත්වය තව දුරටත් පැහැදිළි කරමින් දැන් අමාත්‍යවරයා වෙනුවට අමාත්‍යංශ නිලධාරියෙකු ආසියානු දැල් පන්දු තරගාවලියටත් ප්‍රථම ලේකම් ධූරයෙන් ඉවත් වූ කුමුදනි ගෝමස් ට ලේකම් වරිය ලෙස සළකා ලිපි යොමු කිරිමෙන් පැහැදිළි වන්නේය.
www.supirikrida.com

අයියල මල්ලිල‍ තේරීම් කමිටුවට ඒම සාධාරණ නෑ - යෝගානන්ද විජේසුන්දර

මන් කුමාර යළිත් තේරීම් කමිටුවට? යනුවෙන් අප වෙබ් අඩවියේ සදහන් වූ ප්‍රවෘත්තියෙන් ලාල් චන්ද්‍රකුමාර නම් සමන් ගේ සොහොයුරාත් සමනුත් එකම තේරීම් කමිටුවට පත්කිරීමට පොළඹ වන සුළු ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ ‍යෝගානන්ද විජේසුන්දර සිය අප්‍රසාදය පළ කළේය.
'එහෙම වුණාම සාධාරණයක් නෑ.හැම වෙලේම ඒ දෙන්න එක මතයක ඉදියි.ඒ වගෙම වාර්තාකරු තේරීම් කමිටු සාමාජිකයෙක් කිරීමට විරුද්ධව පළමුවෙන්ම කරුණු පෙන්වා දීම කළෙත් මමයි,එයාට ඒකේ සාමාජිකයෙක් හැටියට ඉන්න බෑ,නමුත් තොරතුරු සම්පාදනය කිරීම සදහා තීරණ සදහා ඡන්ද බලයක් නැති අයෙකු ලෙස ඔහුව තෝරා ගැනීම අසාධාරණ නැහැ'
එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක් වූ යෝගානන්දයන් ක්‍රීඩාව පිළිබදව ඇල්මකින් සහ දැණුමකින් යුතුව මාධ්‍ය හසුරවන මාධයයක් ලෙස සුපිරි ක්‍රීඩා වෙත කේෂ්ත්‍රයේ ඇති ගෞරවයට මෙවැනි ප්‍රවාත්ති හානිකර විය හැකි බව ද පෙන්වා දුන්නේය.පුද්ගල කේන්ද්‍රීය මාධ්‍ය වෙනුවට ක්‍රීඩාව ප්‍රමුඛත්වයේ සළකන අතලොස්සක් වූ මාධ්‍ය අතර අගය කරන මාධ්‍යයක් වන සුපිරි ක්‍රීඩා මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම පිළිබදව තමන් කණගාටුවන බව ද යෝගානන්දයන් තව දුරටත් අනාවරණය කළේය.
අපේ සටහන
මෙම ප්‍රවෘත්තිය මීට පෙර මාධ්‍ය ගණනාවක පළ වූ අතර ඒ කිසිම මාධ්‍යයක සමන් කුමාර සහ ලාල් චන්ද්‍රකුමාර සහෝදරයන් බව දැන හෝ නොදැන සටහන් කර නැත.ඇතැම් විට ඒ නිසාම මෙවැනි විරෝධයක් මතු වන්නට එය හේතුවක් නොවන්නට ඇත.අප දන්නා තරමින් තවම මෙම පත්වීම සිදු වී නැත.ක්‍රීඩා අමාත්‍යවරයාද අප වෙබ් අඩවියේ පාඨකයෙකු නිසා අප පළමුව පළ කළ ලිපිය මෙන්ම යෝගානන්ද විජේසුන්දරයන්ගේ අදහස ඇතුළත් මෙම සටහන ද එම පත්වීම් බලධාරියා වන ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඇස ගැටෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.අප එම සංයුතියේ සහෝදරයන් දෙදෙනෙකුගේ නම යෝජනා වී ඇති බව හෙළිදරව් කරනු හැර ඔවුන් දෙදෙනාම පත් කළ යුතුය යන මතයේ එල්ඹ නැති බව කිව යුතුය.එයින් අප මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් සැකයක් පහළ වූයේ නම් අප අතින් සිදු වූ ඒ විශ්වසනීයත්වය බිද ගැනීම සම්බන්ධයෙන් අපි මහත් කණගාටුවට පත් වන්නෙමු.නමුත් යෝගානන්දයන්ද පිළි ගන්නා පරිදි තේරීම් කමිටුව සමන් කුමාරගෙන් දත්ත ලබා ගැනීමේ සේවය ලබා ගැනිම වැදගත් බව අප ප්‍රකාශ කරනු කැමැත්තෙමු.
www.supirikrida.com

මේනකා ට රන් පදක්කම් දෙකක් සමග ශ්‍රී ලංකාවට එක වෙන්න අවස්ථාවක්

න්දියාවේ පින්කි ප්‍රමානික් පිරිමියෙකු බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරමින් නැවත එයට අභියාචනා කිරීමේ හැකියාව පවා වළකමින් දුන් නියෝජනයත් සමග 2006 වසරේ ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇය දිනූ රන් පදක්කම් ත්‍රිත්වයෙන් දෙකකම අයිතිය ශ්‍රී ලංකාවේ මේනකා වික්‍රමසිංහට හිමි කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.පින්කි මීටර් 400,800 සහ 4 x 400 සදහා රන් පදක්කම් දිනා ගත් අතර එහිදී මීටර් 400 රිදී පදක්කම මේනකා වික්‍රමසිංහ සතු විය.මීටර් 4 x 400 ඉසව්වේ රිදී පදක්කම මේනකා ඇතුළුව චන්ද්‍රිකා සුභාෂිණී,ලසන්ති ජයවර්ධන සහ ලලනා ශාන්ති යන කණ්ඩායමට හිමි වු අතර පින්කි පිරිමියෙකු බව හෙළිවීමත් සමග මෙම රන් පදක්කම් ශ්‍රී ලංකාවට හිමි විය යුතුය.

ඒ අතර එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා පිරිමි ඉසව් වලදී රන් පදක්කම් 8 ක් දිනා පෙරමුණේ සිටි අතර ඉන්දියාවට හිමි වූයේ රන් පදක්කම් 6 ක් පමණි.කාන්තා අංශයේ මලල ක්‍රීඩා තරග වලදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් හයක් හිමි වු අතර ඉන්දීය ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 9 ක් දිනා ගත්හ.එයින් පින්කි ගේ රන් පදක්කම් තුනෙන් දෙකක් ශ්‍රී ලංකාවට හිමිවන තත්ත්වයක ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ රන් පදක්කම් ප්‍රමාණය 7 දක්වා පහළ බසිද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දිනූ රන් පදක්කම් ප්‍රමාණය 8 දක්වා ඉහළ යන්නේය.ඒ අනුව සමස්ත මලල ක්‍රීඩා සූරතාවය සදහා ඉන්දියාව දිනූ මලල ක්‍රීඩා පදක්කම් 15 ක ප්‍රමාණය 13 ක් වන අතර ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ප්‍රමාණය 14 සිට 16 දක්වා ඉහළ යන්නේ 2006 ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ සමස්ත මලල ක්‍රීඩා සූරතාවයේ උරුමයද ශ්‍රී ලංකාවට හිමි වෙමින්ය.

මේ සම්බන්ධයෙන් සුපිරි ක්‍රීඩා වෙත අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළේ,ඉන්දීය ඔලිම්පික් කමිටුවෙන් මේ පිලිබදව වන නිල දැණුම්දීම සමග අදාළ රන් පදක්කම් ශ්‍රී ලංකාවට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන  බවය.එය නිල වශයෙන් සිදුවිය යුතු  යුතු අතර වාර්තාවන තොරතොරු සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිපලයක් සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමක් කිරීමට අවස්ථාව ඇත.
www.supirikrida.com