Apr 11, 2012

ප්‍රංශ තරගාවලියෙන් පසුව රේණු චන්ද්‍රිකා පියවර තුනක් ඉදිරියට


ප්‍රංශ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියෙන් පසුව ජගත බැඩ්මින්ටන් ක්‍රීඩිකා වර්ගීකරණයේ පියවර තුනක් ඉදිරියට ඒමට රේනු චන්ද්‍රිකා ද සිල්වා සමත් වී ඇත.ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව චන්ද්‍රිකාට හිමි වන්නේ 141 වන ස්ථානය ය.
ප්‍රංශ විවෘත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගි වූ අතර ඒ අතරින් එක් තරගයක් හෝ ජය ගැනීමට සමත් වූයේ චන්ද්‍රිකා පමණි.ඇය බෙල්ජියමේ මාරි ඩෙමී පරාජය කරමින් 21 / 16, 21/16 ලෙස එම තරගය ජය ගැනීමට සමත් වූවා ය.
තරගාවලියට සහභාගි වූ තිළිණි ජයසිංහ අනූ නයිමිනන් අතින් 21/17 සහ 21 / 16 ලෙස පරාජය වූ අතර මැලේසියාවේ ලි ලියැන් යන්ග් අචිනි රත්නසිරි ව පරාජයට පත් කළේ ලකුණු 21 /8 සහ 21 /14 ක් ලෙස ය.සිය දෙවන තරගය සදහා ඉදිරිපත් වූ රේනු චන්ද්‍රිකා වේල්සයේ කැරීසා ටර්නර් අතින් 21 /14 සහ 21 /17 ක් ලෙස පරාජය ලැබුවාය.
නවතම ශ්‍රේණිගත කිරිම් වලට අනුව අචිනි රත්නසිරි ද යම් ප්‍රගතියක් පෙන්වන අතර ඇය 155 දක්වා ඉදිරියට පැමිණ ඇත.හ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් තිළිනි ජයසිංහ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාව වන අතර ඇය 107 වන ස්ථානයේ පසුවන අතර ඇය ඉකුත් මාර්තු 15 වන දා වන විට 105 වන ස්ථානයේ රැදී සිටියා ය

Apr 10, 2012

ආසියානු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ අර්ධ අවසන් වටයට ශ්‍රී ලංකා කණ්ඩායම් තුනක්


තායිලන්තයේ ක්‍රියාත්මක  රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකා කන්ඩායම් 49 ක් සහභාගි වන කනොව් සම්රාන් ආසියානු ශ්‍රේණිගත කිරීමේ වෙරළ වොලිබෝල් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් දෙක සහ පිරිමි අංක 1 කණ්ඩායම සමත් වී තිබෙනවා.මේ අතරින් ආසියාවේ ප්‍රබලතම වෙරළ වොලිබෝල් කණ්ඩායම් ඇති රටක් ලෙස පිළිගැනෙන කසකස්ථානය ලකුණු 21 / 18 සහ 24 / 22 ලෙස පරාජය කරමින් ද හොංකොං දේශය ලකුණු 21 / 11 සහ 21 / 13 ලෙස පහසුවෙන්ම පරාජය කරමින් ද සී කොටසේ සූරයින් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් ගැන තරගාවලියේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බව වාර්තා වෙනවා.
සාගරිකා ගුණසිංහ සහ නිරෝෂා ගුණසිංහ අර්ධ අවසන් වටය සදහා පිවිසීම සදහා තමන් සහභාගි වූ සී කොටසෙන් 23 /21 සහ 21 /14 ක් ලෙස වියට්නාමය පරාජය කළ අතර ශ්‍රී ලංකා අංක එක කණ්ඩායම වන ගීතිකා ගුණවර්ධන සහ තක්ෂිලා නෙරංජලී 28 /26,14 /21,සහ 16/18 ලෙස ප්‍රබල තරගයක නියැලී ඉන්දුනීසියාව හමුවේ පරාජය වුව ද,ඔවුන් සහභාගි වූ ඩී කොටසේ අනු සූරියන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබෙනවා.
මීට දින කිහිපයකට ඉහත තායිලන්තයේ ට්‍රැට් හී පැවති වෙරළ වොලිබොල් තරගාවලියේදී ලෝකඩ පදක්කමට හිමි කම් කී අසංග ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා මෙම තරගාවලියේ දී ඕමානය සහ ඕස්ට්‍රේලියාව වෙතින් පරාජය ලැබීම නිසා අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව අතහැර දමන්නට සිදු වුණා.  

යළි සුක්කානම ඩිලානි මනෝදරා ට


ටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් ඩිලානි මනෝදරා ට හිමි වී තිබෙනවා.කණ්ඩායමේ කඩුලු රකින්නිය මෙන්ම මැද පෙළ ප්‍රහාරාත්මක පිතිකාරිණියක ද වන ඩිලානි ගේ නායකත්වය යටතේ නම් කරන ලද 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ උප නායකත්වය පළපුරුදු ක්‍රීඩිතාවක් වන සදමාලි දොලවත්තට හිමි ව ඇති අතර කණ්ඩායමට ප්‍රථම විදේශ සංචාරයට එක්වන මුහුණු කිහිපයක්ම ඇතුළත් කර තිබෙනවා.
ඩිලානි සහ සදමාලි මෙන්ම ශෂිකලා සිරිවර්ධන,චාමනි සෙනවිරත්න,ශ්‍රීපාලි වීරක්කොඩි සහ චමරි අතපත්තු වැනි පළපුරුදු ක්‍රීඩිකාවන් ද කණ්ඩායමට ඇතුළත් වන අතර තරගාවලියට නම් කරන ලද සමස්ථ කණ්ඩායම මෙසේ වනවා.ඩිලානි මනෝදරා,සදමාලි දොලවත්ත,චමරි අතපත්තු,ඉනෝකා ගලගෙදර,යසෝධා මෙණ්ඩිස්,ශෂිකලා ‍සිරිවර්ධන,දීපිකා රසාංගිකා, ප්‍රසාදිනි වීරක්කොඩි,චාමිනි සෙනවිරත්න,චන්දිමා ගුණරත්න,ශ්‍රීපාලි වීරක්කොඩි,ධශානි ධර්මසිරි,මධුරි සමුදිකා සහ ඉනෝකා රණවීර.
මීට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ද කණ්ඩායමට අවශ්‍යයතාවය මත ඇතුළත් කිරීමට සිදු වුවහොත් ඇතුළත් කිරීම සදහා පෙළ ගස්වා තිබෙන අතර ඒ අතර ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂ බොක්ෂිං ක්‍රීඩිකාවක වන නිලූකා කරුණාරත්න ද සිටීම කැපී පෙනෙනවා.නිලූකාට අමතරව එම සිව්දෙනාට ඕෂධි රණසිංහ,ලසන්ති මධුෂානි සහ උදේශිකා ප්‍රබෝධනී යන ක්‍රීඩිකාවන් ඇතුළත් වෙනවා.

Apr 9, 2012

ඔලිම්පික් සුදුසුකම් ලැබීමට ගිය සුරේෂ් සහ දමිත් ප්‍රථම වටයෙන්ම ඉවතට


සකස්තානයේ අස්තානා හී ක්‍රියාත්මක ආසියානු කළාපයෙන් ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලබන බොක්සිං ක්‍රීඩකයන් කවරේද යන්න තීරණය කරන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සුරේෂ් පට්ටියආරච්චි සහ දමිත් විජේරත්න තමන් මුහුණ දුන් ප්‍රථම තරගවලින්ම පරාජය වී ඇත.කිග්‍රෑම් 52 බර පංතියෙන් තරග වැදුණු සුරේෂ් ගේ ප්‍රතිවාදියා වූ ජපානයේ සුසා කට්සුආකි ලකුණු 22 / 10 ක් ලෙස සුරේෂ් ව පරාජය කළ අතර කිර්ගිස්තානය නියෝජනය කළ ඔමොර් මැලබෙකෙව් සමග පැවති තරගයේදී දමිත් විජේරත්නට තරගය ඇරඹි විනාඩි 3 ක් යන්නටත් මත්තෙන් මැලබෙකොව්ගේ දැවැන්ත ප්‍රහාරයකට ලක් වන්නට සිදු විය. 

Apr 8, 2012

විනිසුරු සහය ද ඇතිව එංගලන්තය තරගාවලිය සම කරයි


සාමානයයෙන් විනිසුරුවරයන්ගේ පක්ෂපාතීතත්වය ඇතිව තරගයක් ජය ගන්නා කණ්ඩායම 13 දෙනෙකු සමග තරග කරන බව කීව ද එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් තරගය විනිසුරුවරයාගෙන් විය හැකි අසාධාරණ තීරණ අවම කිරීමට පත් කළ රූපවාහිණි විනිසුරු තීරණ ද යම් ආකාරයකින් ශ්‍රී ලංකාවට අසාධාරණ බලපෑම් කරන ලද තත්ත්වය තුළ ශ්‍රී ලංකාව මෙම තරගය පරාජය වූයේ 14 දෙනෙකු සමග ක්‍රීඩා කර ද යන්න පිළිබදව සිතිය යුතුය.විශේෂයෙන් දෙවන ඉණිමේ දී තිලකරත්න ඩිල්ෂාන් වැනි පිතිකරුවෙකුට එරෙහිව දෙන ලද රූපවාහිණි විනිසුරු තීරණය ඒ අතරින් තරගයේ සමස්ත තීරණයට සෘජුවම බල පෑ බව පිළිගත යුතුය.ලකුණු අතරට පිවිස පන්දුව දකිමින් සිටින මොහොතක සැකයේ වාසිය පිතිකරුට යන න්‍යාය පිටු දකිමින් ටකර් විනිසුරුවරයා ලබා දුන් ඒ තීන්දුව ඇතුළු තීරණ ගණනක්ම පැහැදිළි කළේ සැකයේ වාසිය එංගලන්තයට යන ලෙස න්‍යාය වෙනස් වී ඇති බවක් ය.
නමුත් මහේල ජයවර්ධන හැරෙන්නට මෙම තරගාවලිය පුරාම දිගු ඉණිමක් ක්‍රීඩා කළ හැකි කිසිවෙක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නොදැකීම කණ්ගාටුවට කරුණකි.විශේෂයෙන්ම කුමාර සංගක්කාර මෙම තරගාවලියේ ක්‍රීඩා කළ ඉණිම හතර තුළ ඔහු විසින් ප්‍රකට කළ අස්ථාවර ස්වභාවය අදහාගත නොහැකි තරම් ය.ඒ නිසා තෙහෙට්ටුව නිසා හෝ වෙනයම් කුමන හෝ කරුණක් පදනම් කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකුරුවන් ලෙස මෙම තරගාවලියට හොදින් මුහුණ දුන් බවක් දැකිය නොහැකි විය.
පරාජිත දෙවන තරගයේ දී පිතිකරුවන් ලෙස වගකීම පැහැර හැරීම නිසා මෙන්ම පිතිකරුවන් ලෙස ආත්ම විශ්වාසයෙන් කටයුතු නොකිරීම නිසාම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉණිම් හැම විටම ආක්‍රමණය වෙනුවට ආරක්ෂාව පමණක් ක්‍රියාත්මක වූ ඉණිම් ලෙස ක්‍රියාවට නැගෙනු දැකිය හැකි විය.ඒ තත්ත්වය පිතිකරණයේ විශ්වාසය ගොඩ නැගීම වෙනුවට පන්දු යවන්නන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීම දක්වා වර්ධනය වූ ඒවා බවට පත් විය.ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් ද දැඩි පීඩනයක් ඇතිවන ආකාරයෙන පන්දු යවමින් සිටින මෙහොතක කෙවින් පීටර්සන් ක්‍රීඩා කළ ආකාරයට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකු  ශ්‍රී ලංකා කණ්ඩායමේ නොසිටීම විශාල අඩුවක්ව පෙනෙන්නට තිබිණ.
එංගලන්තයේ ග්‍රෙහැම් ස්වොන්ට සහ රංගන හේරත්ට තරගයේ තීරණය සම්බන්ධයෙන් කළ හැකිව තිබූ බලපෑම අතරින් ස්වෝන්ට රංගන ඉක්මවා යන්නට හැකි වූ අතර කළෙකට පසුව සරවනමුත්තු පිටියට පැමිණි ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට හිමි වෙමින් ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල එංගලන්තයේ පළමු තැනට එල්ල වී තිබූ බලපෑමෙන් නිදහස් වන්නට ද එංගලන්තයට හැකි විය.සරවන්මුත්තු පිටියේ පන්දු යවන්නන්ගේ ඒකාධිකාරය බිදිමින් උඩු ගං බලා ගිය කෙවින් පීටර්ස්න් ගේ ප්‍රහාරාත්මක ඉණිම ඔහු තරගයේ වීරයා බවට පත් කළ අතර,තරගාවලිය පුරාම ලකුණු ලබා ගැනීමට අසීරු තත්ත්වයන් තුළ ශතක දෙකක් සහ අර්ධ ශතකයක් රැස් කළ මහේල ජයවර්ධන තරගාවලියේ වීරයා විය.තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකිය.

Apr 6, 2012

ටකර් ගේ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කරතාවය තිව්ර වෙයි


ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගයේ රූපවාහිණි විනිසුරු ලෙස කටයුතු කරන රෝඩ් ටකර් විසින් ටීඑම් ඩිල්ෂාන් දැවී ගිය බවට දෙනු ලැබූ වැරදි තීරණයත් සමග පරාජයෙන් බේරීම සදහා විශාල අරගලයක නියැලී සිටින ශ්‍රී ලංකාවේ තත්ත්වය වඩාත් දුෂ්කර අතකට හැරිණි.නිවැරදිව පන්දුව දකිමින් සිටින මොහොතක ඩිල්ෂාන් ගේ පා ආවරණයේ වැදී ගිය පන්දුවක් පිත්තේ වැදුණු පන්දුවක් බවට තෙවන විනිසුරුවරයා විසින් නම් කිරීමත් සමග ගොඩ නැගෙමින් තිබුණු ශ්‍රී ලංකා ඉණිම බිද වැටිණ.
ලකුණු අතරට ඒමට උත්සාහ කරමින් සිටින සංගක්කාර ඉතා දුෂ්කර වෑයමක යෙදෙමින් ලකුණු 21 ක් ලැබීය.ඉන් අනතුරුව තිලාන් සමරවීර දැක් වූ දායකත්වය ලකුණු 47 කි.ගොම්මන් මුරකරු ලෙස පෙරදා ඉණිම ඇරඹූ ධම්මික ප්‍රසාද් හොද ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 34 ක් ලැබූ අතර ඒ විශ්වාසය සුරාජ් රන්දිව් කෙරෙහි තබමින් ඔහු ද ගොම්මන් පිතිකරු ලෙස ඇන්ජලෝ මැතිව්ස් ට පෙර පන්දුවට පහර දීමට එව්ව ද එය නිවැරදි තීරණයක් නොවී ය.සුරාජ් ගේ ඉණිම පන්දු දෙකකට සීමා කළ ග්‍රෙහැම ස්වෝන් ශ්‍රී ලංකා දෙවන ඉණිමේ හයවන කඩුල්ල ලෙස ඔහු ආපසු ක්‍රීඩා ගාරයට එරවා ඇරියේ ස්වෝන් විසින් දවා ගත් සිව්වන කඩුල්ල දවා ගනිමින් ය.නායක මහේල ජයවර්ධන යළිත් ලකුණු අතරට පිවිසෙමින් තරගයේ සිව්වන දිනය නිමා වන විට ලකුණු 55 ක් ලබා ගනිමින් නොදැවී සිටින අතර ශ්‍රී ලංකාව ලකුණු 33 ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 4 ක් අතැතිව ය.
තරගයේ අවසාන දිනයේ දී ශ්‍රී ලකාවට ජයග්‍රහණය ලබා ගැනීමට වඩා උත්සාහ කිරීමට ඇත්තේ අඩු ගණනේ තේ පානය ආසන්න වන තුරු හෝ ශ්‍රී ලංකා ඉණිම පවත්වා ගෙන යාමය.පමණට වඩා ආරක්ෂාවීමට ගොස් ලකුණු නොලබා කාලය මැරීමෙන් ද පලක් නොවන බව සංගක්කාරගේ දීර්ඝ කාලයක් වැය කළ ඉණිම පැහැදිළි කළ අතර ඒ නිසා දැවැන්ත පහර වලට ගොස් අවදානමක් ගැනීමට උත්සාහ නොකළ යුතු වුව ද,යම් ලකුණු ප්‍රමාණයක් ද මරා දමන කාලයට සාපේක්ෂව එක් විය යුතුය.
තරගයේ සමස්ත ලකුණු පූවරුව පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියාව ඇත. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/current/match/521226.html

ලාංකේය පන්දු යවන්නන්ගේ වෙහෙස පීටර්සන් අතින් දියවෙයි.

කෙවින් පීටර්සන් 
කුණු වලට වඩා ආරක්ෂාව මූලික කරගත් එංගලන්ත පිතිකරුවන් ගෙන් සිය ලකුණු 275 රැක ගැනීම පිණිස පීඩනයක් දියත් කිරීමට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ උත්සාහය දියකර හැරිය කෙවින් පීටර්සන් ලකුණු ලබා ගැනීමට අපහසු සරවනමුත්තු තණතීරුවෙන් උකහා ගත් අගනා ශතකයට (151) වාරු වූ එංගලන්තය සිය ප්‍රථම ඉණිම ලකුණු 460 දක්වා ගෙන යාමට සමත් විය.මුල් පෙළේ එංගලන්ත පිතිකරුවන් සිව් දෙනාම සිය වගකීම මැනවින් ඉටු කළ අතර ඇන්ඩෘ ස්ට්‍රෝස් (61),ඇලිස්ටෙයාර් කුක් (94) සහ ජොනතන් ට්‍රොට් (64) කෙවින් පීටර්සන් ගේ උත්සාහයට මැනවින් දිය පොහොර එක් කරමින් එංගලන්ත ඉණිම පෘෂ්ටිමත් ඉණිමක් බවට පත් කළහ.
යළිත් සාර්ථක වූ රංගන හේරත් මුරලි ගේ අඩුව පුරවමින් ලකුණු 133 ට කඩුලු 6 ක් දවා ගත් අතර ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සමතෙකු ලෙස ප්‍රකට තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 73 ට කඩුලු 2 ක් ලබා ගනිමින් තමාව ඕනෑම විටෙක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩකයෙකු බව පැහැදිළි කළේය.
ශ්‍රී ලංකා දෙවන ඉණිම අරඹමින් ධම්මික ප්‍රසාද් ට නුහුරු වගකීමක් පැවරීමට මහේල ජයවර්ධන තීරණය කර තිබුණු අතර ඒ අනුව ලහිරු තිරිමාන්න සමග ඉණිම ඇරඹීමේ කාර්යය ධම්මිකට පැවරී තිබුණා.තරගයේ තෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු නොදැවී ලකුණු 4 ක් ලබා ගෙන සිටින අතර පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය යි