Dec 28, 2011

වෙළගෙදර’ ගෙදරට පැන දකුණු අප්‍රිකාව අසරණ කරයි


සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ හොදම පන්දු යැවීම (ලකුණු 52 ට කඩුලු 5) ප්‍රදර්ශනය කළ චානක වෙළගෙදර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හී පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 168 සීමා කරන්නට සමත් වුණා.තිලාන් සමරවීර ගේ ශතකයේ ආධාරයෙන් ලකුණු 338 දක්වා ගිය ශ්‍රී ලංකාවට වෙළගෙදර ගේ දක්ෂතාවය සහ ඔහුට අනගි සහයක් ලබා දෙමින් ලකුණු 49 ට කඩුලු 4 ක් දවා ගත් රංගන හේරත් ගේ පන්දු යැවීමත් නිසා ප්‍රථම ඉණිමේදී ලකුණු 170 ක වාසියක් ලබා ගන්නට හැකි වුණා.
ප්‍රථම දිනය නිමා වන විට ලකුණු 287 ක් කඩුලු 7 ක් දැවී ලබා සිටි ශ්‍රී ලංකාවට ඊයේ දිනය තුළ රැස් කර ගත හැකි වූයේ තවත් ලකුණු 51 ක් පමණයි.එහිදී ලකුණු 86 සිට ලකුණු 102 දක්වා පැමිණි තිලාන් සමරවීර සිය 13 වන ටෙස්ට් ශතකයට හිමිකම් කියන්නට සමත් වුණා.ප්‍රථම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව විනාශ කළ වර්නන් පිලැන්ඩර් වෙනුවට මෙම තරගයට කැදවා තිබූ මර්චන්ට් ඩි ලැන්ගේ ලකුණු 81 ක් තුළ ශ්‍රී ලංකා කඩුලු 7 ක් දවා ගනිමින් කැපී පෙණුනා.
දකුණු අප්‍රිකාවට ඒ ආකාරයට නවක වේග පන්දු යවන්නන් හදුන්වා දීමට හැකියාව තිබුණත් ශ්‍රී ලංකාව නවකයන් තුළ ඒ විශ්වාසය ගොඩ නගන්නට අසමත් වීම කැපී පෙනෙනවා.වේග පන්දු යවන්නන් පුහුණුකිරීමට වෙනම පුහුණුකරුවන් පවා යොදා ගන්නා ශ්‍රී ලංකාව දිල්හාර ප්‍රනාන්දු වැනි පන්දු යවන්නෙකු කෙදිනක හෝ සාර්ථක වන තෙක් එක දිගටම කණ්ඩායම තුළ රදවා ගනිමින් නවකයෙකු පිලිබද අත්හදා බැලීම පසෙක දමා තිබෙනවා.චමින්ද වාස් වැනි ශ්‍රේෂ්ඨ පන්දු යවන්නෙකු දක්ෂතා අතර සිටියදී ඔහු ගේ වියපත් බව පෙරට ගෙන කණ්ඩායමෙන්  එළියට දමන්නට  කටයුතු කළ ශ්‍රී ලාංකේය ක්‍රීඩා බලධාරීත්වය දිල්හාර ප්‍රනාන්දු වැනි ඉදහිට සාර්ථක විය හැකි  පන්දු යවන්නෙකු ජ්‍යෙෂ්ඨත්වය මතම කණ්ඩායමේ රදවා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවල තේරීම් හී ප්‍රතිපත්තිය ප්‍රශ්න කිරීමකට ලක් කරනවා.
චානක වෙළගෙදර සහ තිසර පෙරේරා පන්දු යැවීම ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව සිය ඉණිමේ මුල් භාගයේදීම අසරණ කරමින් ලකුණු 27 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වෙනවා.නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වන හසීම් අම්ලා සහ ඒබී ඩිවිලියර්ස් ලකුණු 76 ක් සබදතාවයක් පවත්වා ගෙන යාමට සමත් වන අතර යළි ක්‍රියාත්මක වන වෙළගෙදර ඒ අවස්ථාවේදී ඩිවිලියර්ස් ක්‍රීඩා පිටියෙන් ඉවත් කරනවා.ඒ සමගම යළි එක පිට එක කඩුලු වැටෙන්නට වන දකුණු අප්‍රිකාවේ කඩුලු 8 ක් ලකුනු 118 ක් තුළ දැවී ගොස් පිට පිටම දෙවන වතාවටත් පන්දුවට පහර දීමට සිදුවිය හැකි අවධානමකට මුහුණ දෙනවා.නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වන ඩේන් ස්ටෙයින්,මෝනි මෝර්කල් සමග නවවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සබදතාවයක් ද අවසාන කඩුල්ලට ඉම්රාන් තහීර් සමග ලකුණු 23 ක සබදතාවයක් ද පවත්වමින් නෙදැවී ලකුණු 29 ක් රැස් කරමින් දකුණු අප්‍රිකාව පිට පිටම දෙවන වතාවට පන්දුවට පහර දීමේ අවධානමෙන් ගලවා ගන්නට සමත් වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද මෙම තරගයේදී කළකට පසුව ප්‍රදර්ශනාත්මක මට්ටමක පැවති අතර ටෙස්ට් කෝඩුකාර චන්දිමාල් ගේ කඩුලු රැකීම මෙන්ම,මහේල ජයවර්ධන,තිලකරත්න ඩිල්ෂාන් සහ චානක වෙළගෙදර අති විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක නියැලෙමින් දකුණු අප්‍රිකාව අසරණ කර දැමීමේ කාර්යයේ විශාල වැඩ කොටසක් ඉටු කළා.
ලකුණු 170 ක වාසියක් සහිතව දෙවන ඉණිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 7 ක් ලබා සිටිනවා.තරගයේ තව දින තුනක් සම්පූර්ණයෙන් ඉතිරිව ඇති නිසා ශ්‍රී ලංකාව කලකට පසු ලබා ගත් මේ වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ජයග්‍රහණය කරා යන්නට නම් දෙවන ඉණිමේ දී වඩාත් ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනැගිය යුතුව තිබෙනවා. 
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවය හරහා පිවිසීමට හැකියාව තිබෙනවා. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514033.html 

Dec 27, 2011

සමරවීරගෙන් ‘වීර’ ඉණිමක්


තිලාන් සමරවීරගේ ඉවසිලවන්ත ඉණිම නිසා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියේය.ලඩුලු 3 ක් ලකුණු 84 ට අහිමිව සිටිය දී පිටියට පිවිසි සමරවීර ඊයේ දිනය නිමාවන විට පන්දු 218 ක ට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සමග ලකුණු 86 ක් ලබා නොදැවී සිටියි.
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 47 ක් ලබා අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය අතර,සිය ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වන දිනේෂ් චන්දිමාල් හය වන කඩුල්ල වෙනුවෙන් තිලාන් සමරවී සමග ලකුණු 111 ක සබදතාවයක් පවත්වමින් සිය ප්‍රථම ටෙස්ට් ඉණිම අර්ධ ශතකයකින් හැඩ කරමින් ලකුණු 58 ක් ලබා ගත්තේය.මහේල ජයවර්ධන සිය ටෙස්ට් දිවියේ 10,000 වන ටෙස්ට් ලකුණ ඊයේ වාරතා කළ අතර එම කඩඉමට පැමිණි පළමු ලාංකේය ක්‍රීඩකයා වන්නේ ද මහේලයි.එසේම මහේල මෙම කඩඉමට පිවිසි ලොව නව වන පිතිකරුවා ලෙස ද ක්‍රිකට් ඉතිහාස පොතට එකතු වන්නේය.
ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් තරගයේදී පරාජය කිරීමට පෙරමුණ ගත් වර්නන් පිලැන්ඩර් සිය දණහිසේ ආබාධය මත ඊයේ ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට ඊයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට භාග්‍යය ලද මර්චන්ට් ඩි ලැන්ගේ, පිලැන්ඩර් ගේ අඩුව පිරිමසමින් ලකුණු 60 ට කඩුලු 4 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු පිළේ දක්ෂතම පන්දු යවන්නා විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514033.html

‘අන්නමලේ’ මලට සවියක් -නිලූක කරුණාරත්න


වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනය මැලේසියානු පුහුණුකරු අන්නමලේ නැවත කැදවීමට ගත් තීරණය අගය කළ යුතු බව ජාතික බැඩ්මින්ටන් සූරයා මෙන්ම වර්ථමානයේ ලොව 78 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින නිලූක කරුණාරත්න පවසයි.ඔහු මීට පෙර ලංකාවේ සිටිය අවධියේදී ද විශාල සේවයක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවට සිදු වූ බව පෙන්වා දෙන නිලූක,ඔහුව නැවත හරවා යැවීමට ගත් තීරණය ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පසුබැස්මට යම් ආකාරයක හේතුවක් වූ බව ද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් දක්ෂතා ඇති අය වුව ද ලෝකයේ දක්ෂ ක්‍රීඩකයින් විශාල පිරිසක් සිටින මැලේසියාව වැනි බැඩ්මින්ටන් සංස්කෘතියක් ඇති  රටක පුහුණුකරුවෙකුට තරග මානසිකත්වය පිළිබදව විශාල අවබෝධයක් ඇති බව පෙන්වා දෙන නිලූක,එය අපේ පුහුණුකරුවන්ට ද විශාල අවබෝධයක් සහ දැණුමක් ලබා ගැනීමට මාර්ගයක් වනු ඇති බව පෙන්වා දෙයි.මැලේසියාව වැනි රටක් ලෝකයේ ප්‍රබල බැඩ්මින්ටන් ක්‍රීඩකයන් නිර්මාණය කළ රටක් බව අප විවාදයකින් තොරව පිළිගත යුතු බව පෙන්වා දෙන නිලූක,එවැනි ක්‍රීඩකයන් නිර්මාණය වන බිමක පුහුණුකරුවෙකුගෙන් අපේ රටේ ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ට ද ගත හැකි සේවය අති විශාල බව පැහැදිළි කරයි.
බොහෝ විට ආසියානු සංවර්ධන පදනමේ පුහුණුව සදහා සුදුසුකම් ලද විට ද අපේ ක්‍රීඩකයන්ට වැඩිපුරම පුහුණුව ලබන්නට වන්නේ මැලේසියානු ජාතිකයන්ගෙන් බව පැහැදිළි කරන ඔහු එවැනි පුහුනුකරුවන් පිළිබදව කීර්තියක් ඇති රටකින් පුහුණුකරුවෙකු ලැබීම ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යහපතට ඉවහල් වනු ඇති බව තමාගේ විශ්වාසය බව ද පෙන්වා දෙයි.සියල්ල තුළ එකම දැණුමක් තිබුණත් එය අත්දැකීම් ආදී බොහෝ කාරණා මත එක එක අය භාවිතයට ගන්නා ක්‍රමවේදය වෙනස් බව පෙන්වා දෙන නිලූක, අන්නමලේ යනු විශාල ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණයක් ඇති පුහුණකරුවෙකු බැවින් ඔහුගෙන් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට ඇති දේ විශාල බව ද නිලූක ගේ අදහසයි.

අසංග සහ කිරාන් රග්බි පුටු වලට නිතරගයෙන්


 
රග්බි නිලවරණය සදහා නාම යෝජනා භාර දීමේ දී එහි සභාපති ධුරයට අසංග සෙනවිරත්න සහ භාණ්ඩාගාරික ධූරයට වත්මන් භාණ්ඩාගාරික කිරාන් අතපත්තු ද නිතරගයෙන් පත් වී ඇත.එම තනතුරු දෙකට කිසිවෙකු නාම යෝජනා භාර දී නැති අතර සෙසු නිලයන් සදහා නිලවරණයක් පැවත්වෙනු ඇත.
වතමන් ලේකම් ෂේන් දූල්ලෑව මෙවර ද ලේකම් ධූරය සදහා තරග වදින අතර මෙවර ඔහු හා තරගයට ඉදිරිපත් වී සිටින්නේ,රිස්වි ඉල්ලියාස් ය.උප සභාපති තනතුර සදහා වර්ථමාන උප සභාපති ලසිත ගුණරත්නට එරෙහිව මොහාන් සමරකෝන් ද තරග වදින අතර නිල වරණය ජනවාරි 7 දා බත්තරමුල්ල වොටර්ස් එජ් හී දී පැවත්වීමට කටයුතු යොදා තිබේ.

Dec 26, 2011

ක්‍රිකට් නිලවරණය උසාවි යන ලකුණු


වසර හතකට පසුව පැවත්වෙන ක්‍රිකට් නිලවරණය ද උසාවියෙන් නැවතෙන ලකුණු පහළ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙයි.මීට පෙර ද පැවත් වූ නිලවරණ නීතිමය තත්ත්වයන් පාදක කරගෙන අධිකරණය වෙත යාමෙන් ක්‍රිකට් අතුරු කමිටු පත්වීම සිදු වූ අයුරු දකින්නට ලැබුණු අතර මෙවරද ඇති වී තිබෙන තත්ත්වය අනුව ක්‍රිකට් ව්‍යවස්තාව සහ ක්‍රීඩා පනත අතර ගැටළුකාරී තත්ත්වයක් පවතින බව එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
ක්‍රිකට් පරිපාලනය වෙනත් ක්‍රීඩා පරිපාලන වලට අදාළ නැති නීතිමය රාමුවකින් සහ වානිජමය රාමුවකින් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන එක් පාර්ශවයක් කියන්නේ ක්‍රීඩා පනත පාදක කරගෙන එම ව්‍යවස්ථාවට අභියෝග කළ නොහැකි බවයි.ඒ අනුව ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුකුල නොවන ආකාරයට ක්‍රිකට් නිලවරණයට අපේක්ෂකයන් ඇතුළත් කළ නොහැකි බව පෙන්වා දෙන එම පාර්ශවය එසේ ව්‍යවස්ථාවට අනුගත නොහැකි ආකාරයෙන් නිලවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කළ නොහැකි බවය.එසේ ඉදිරිපත් වී ඇති පිරිසට එරෙහිව ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් තමන් අධිකරණයට යන බව එම පාර්ශවය පෙන්වා දෙයි.
නමුත් ඊට එරෙහිව කරුණු දක්වන පාර්ශවය පෙන්වා දෙන්නේ ක්‍රීඩා පනතට අනුව කටයුතු කරද්දී තම කණ්ඩායමේ අපේක්ෂකයන් කිසිවෙක් එම පනත උල්ලංඝනය කළ නොමැති බවයි.වඩා වැදගත් ක්‍රීඩා පනතට අනුව කටයුතු කිරීම බව පෙන්වා දෙන එම පාර්ශවය ක්‍රිකට් ව්‍යවස්ථාවේ ඇතැම් කරණු ක්‍රීඩා පනතට අනුකූල නොවීම ගැටළුකාරී බව පෙන්වා දෙයි.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිළිගන්නේ ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව බැවින් ඊට එකගව කටයුතු කිරීම වැදගත් බවත් එසේ නොවුණහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උදහසට ශ්‍රී ලංකා ක්‍රිකට් ලක්විය හැකි බවත් එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

කටාරයට ඔලිම්පික් දිනා ගැනීමේ මෙහෙයුම ඇරඹේ


කටාර් හී දෝහා නගරයට 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලි දිනා ගැනීම සදහා අවශ්‍යය කාරණා ඇතුළත් ආකර්ශණිය ලෙස සිය ඉල්ලුම් පත්‍රය සැකසීමේ සිට මෙහෙයවීම දක්වා වන කාරණා වෙනුවෙන් කටාර් රජය විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සමාගමක් වන එම්අයි සමූහය තෝරාගෙන ඇති බව වාර්ථා වේ.සිඩ්නි ඔලිම්පික් උළෙල වෙනුවෙන් සියළු වගකීම් දරා ඇති එම ආයතනය  ඉන් අනතුරුව පැවති සහ පවත්වන්ට නියමිත ඔලිම්පික් තරගාවලි සදහා ද සිය දැණුමෙන් දායකත්වය සැපයීමට ඉදිරිපත් වී ඇති සමාගමකි.
අදාළ ආයතනය පිළිබදව කටාර් බලධාරීන් දැඩි විශ්වාසයකින් කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති අතර මෙම සමාගමේ සහය 2006 පැවත් වූ ආසියානු තරගාවලිය වෙනුවෙන් ද ලබා ගැනීමට කටාරය ක්‍රියා කර ඇත.