Oct 13, 2012

ශ්‍රී ලංකා යුගල කණ්ඩායම් වල තරග පහටම විනාඩි 100 යි

චීනයේ ගුවෑන්ඩොන්ග් හී පැවත්වෙන ආසියානු අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ බාලක බාලිකා යොවුන් තරගාවලියේ යුගල තරග නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකා යුගල පහම විනාඩි 101 ක කාලයක් ඇතුළත ප්‍රතිවාදින් ඉදිරියේ පරාජයට පත් විය.ඒ අතරින් අවුරුදු 15 න් පහළ බාලක බාලිකා තරග යුගලයත් අවුරුදු 17 න් පහළ බාලිකා යුගලයකුත් එම තරග වට වල වේගවත්ම පරාජයන් වාර්තා කළ කන්ඩායම් වීම ද කැපී පෙණින.
අවුරුදු 15 න් පහළ බාලක තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රසිත් හැළඹගේ සහ ටිහාන් හේවගේ දෙපළට හමු වූ ඉන්දියාවේ යාදෙව් රාහුල් සහ ෂෙන් විරාග් ඉදිරියේ විනාඩි 18 ක දී එම වයස් කාණ්ඩයේ එම දිනයේ වාර්තා වූ ඉක්මන්ම පරාජය වැළද ගන්නට සිදු වූයේ ලකුණු තත්ත්වය 21 10 සහ 21 -13 ක් ලෙස ලකුණු පූවරුව ප්‍රදර්ශනය කරමින්ය.එම වයස් ඛාන්ඩයේ බාලිකා තරග වලදී සචිති ඉලේපෙරුම සහ සදුනිකා මුල්ලේගම ද ඊයේ දිනයේ අඩුම කාලයකින් තරගය පරාජයට පත් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා බවට පත් වූ අතර ඔවුන් දෙදෙනා මැලේසියාවේ ටෙව් ජියා ජියා සහ කිශොනා සෙල්වදොරේ ඉදිරියේ විනාඩි 20 ක් ඇතුළත පරාජය වූයේ ලකුණු තත්ත්වය 21 9 සහ 21 11 ක් ලෙස පවතිද්දීය.
අවුරුදු 17 න් පහළ බාලිකා තරගයට යුගල කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වූ අතර එහිදී මධුශිකා දිල්රුක්ෂි සහ යස්මිතා දයාරත්න එම වයස් ඛාන්ඩයේ එම දිනය තුළ ලද වේගවත්ම පරාජය භුක්ති වින්දේ ලකුණු 21 - 9  සහ 21 - 9 ක් ලෙස මැලේසියාවේ යැප් රුයි චෙන් සහ හෝ යෙන් මෙයි ඉදිරියේ ය.අවුරුදු 17 න පහළ බාලක තරග අංහයේ දි බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් සිය තරගය විනාඩි 23 ක් තිස්සේ පවත්වා ගෙන යාමට සමත් වූයේ මේ වන විට තරගාවලියේ එම වයස් කාණ්ඩයේ අවසාන තරගයට පිවිස සිටින චිනයේ  ෂූ බොවෙල් සහ සන් සෙයි ෂියෑන්ග් ඉදිරියේ ය.එහි ලකුණු තත්ත්වය 21 - 10 සහ 21 - 7 ක් විය.
අවුරුදු 17 න් පහළ බාලිකා තරගයේදී ප්‍රථම වටයේදී නිතරග ජයකින් පෙරට එන්නට භාග්‍යය ලද ගයත්‍රී හේරත් සහ නිල්මිතරු හෙට්ටිආරච්චි දෙවන වටයේ තරගයේදී  පරාජය ලැබුවේ එම වටයේ අවසාන තරගය සදහා පිවිස සිටින චීනයේ චෙන් මින්ග් චුන් සහ ලී යුන් ඉදිරියේය.එහිදී විනාඩි 22 ක් පැවති එම එම තරගයේ ලකුණු සටහන කියවුණේ 21 - 13 සහ 21 9 ක් ලෙස ය.
www.supirikrida.com

ආසියානු කුසලානයට සහභාගි වන යොවුන් ක්‍රීඩිකාවෝ ප්‍රථම තරගයෙන් පරාජයට පත් වෙති

චීනයේ පැවත්වෙන ඔක්තෝමබර් 12 වන දා ඇරඹි නව වන ආසියානු යොවුන් කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සිය ප්‍රථම තරගයේදී චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබීය.මෙවර කණිෂ්ඨ තරගාවලියේදී අනු සූරියන් වූයේද චීන තායිපේ කණ්ඩායම වූ අතර මෙම තරගයේදී එම ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා බාලිකාවන්ව ලකුණු 15 - 2 ,15 - 6 සහ 25 - 14 ක් ලෙස පරාජයට පත් කළහ.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ඩී කාන්ඩයෙන් තරග වදින අතර එහිදී ජයග්‍රහණයක් ගැන සිතීම අසීරු වන්නේ එම කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වන්නේ ආසියාවේ ඉහළ කාන්තා වොලිබෝල් සංස්කෘතියක් ඇති රටවල් දෙකක් ලෙස පිළී ගැනෙන චීන තායිපේ සහ දකුණු කොරියා කණ්ඩායම් වීමය.නමුත් රටවල් 13 ක් සහභාගි වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීඹ් තරග වලදී අංක 9 - සිට 13  දක්වා වන ස්ථානයන් සදහා තරග වැදී ඒ අතරින් ඉහළ ස්ථානයකට පැමිණීමට අවස්ථාව ඇත.
මූලික තරග වලදී ශ්‍රී ලංකාව ලද පරාජය මේ දක්වා ලද ඉහළම ලකුණු පරතරයක් සහිත පරාජය ලෙස දැක්වෙන අතර එහි සමස්ත ප්‍රතිපලය ගත්විට ලකුණු 75 - 22 ක් ලෙස දැක්වේ.ඉන් අනතුරුව ඉන්දියාව සමස්ත ප්‍රතිපලය 23 - 75 ක් වන ලෙස ජපානයට පරාජය වූ අතර ශ්‍රී ලංකාව චීන තායිපේ තරගයේ තෙවන වටයේ දී ලකුණු 14 ක් ලබා ගත්තද ඉන්දියාවට තරග වට 3 න් එකකදී හෝ ලකුණු 10 (ලකුණු 7,9 සහ 7) ඉක්මවා ලබා ගැනීමට නොහැකි වීම ද කැපී පෙණින.
මෙම තරගාවලියට සහභාගිවන යොවුන් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇහැලියගොඩ දර්මපාල විද්‍යාලයේ පීකේඑල් පෙරේරා විසින් ය.එච්එච්එස් ප්‍රනාන්දු,එම්ටී මධුවන්ති,ඒටීඑන් ප්‍රියදර්ශණී,ටීසීඑද්කේ ද සිල්වා,එම්එස්එන් තෙන්නකෝන්,ඒඑල්ඒඒ සදමාලි,ඩීඑච්වී කෞශල්‍යා,වයිආර්එස් කුලරත්න,එම්ටිඑම් සෙනවිරත්න,එල්එච්ටී මධුෂානි සහ ආර්පීඑස්ඩී රාජපක්ෂ කණ්ඩායමට අයත් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.
කණ්ඩායමේ පුහුණුකාරත්වය අජන්ත දහනායකට හිමි වී ඇති අතර සහය පුහුණුකරු ලෙස ආර්පි කටයුතු කරයි.ආර්එම්එස් විමලවීර කණ්ඩායමෙ අභයාසක ලෙස සංචාරයට එක්වන අතර බීඩබ්පී රංජනී කාන්තා නිලධාරිණිය ලෙස සංචාරයට එක් වී සිටින අතර කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආර්එම්එන්ජීඕ පෙරේරා ය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට මත්තෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සමග ඡායාරුපයකට පෙනී සිටි අවස්තාව ඡායාරූපයේ දැක්වේ
www.supirikrida.com

Oct 12, 2012

පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අධ්‍යාපන ඇමතිට සහ ලේකම්ට කොකා පෙන්නයි

පාසල් බැඩ්මින්ටන් සංගමයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුනවර්ධන මෙන්ම අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්නයන් ද  ජනමාධය ඉදිරියේ කළ දැණුම් දීම් ඉදිරියේ ඒ වන විට පැවත්වෙමින් තිබූ කණ්ෂ්ඨ ජාතික තරගාවලියෙන් පසුව පාසල් සංගමයට තරග සංවිදානය කිරීමට ඇති බලය අත්හිටුවා එම සංගමය පිලිබදව පරික්ෂණයක් පවත්වන බව කීව ද,යළිත් එම තහනම ඉවත්කර ඉදිරි තරග සංවිධානයට පාසල් සංගමයට අවස්ථාව ලබා දීමට අධ්‍යක්ෂවරයා ක්‍රියා කර ඇත.
වරක් පාසල් සංගමයෙන් ඉල්ලි අස් වූ නැවත පැමිණිම පිළිබදව කිසිදු ප්‍රසිද්ධියක් නොකළ පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කිරීම එක්තරා අන්දමක විහිළුවකි.කුමන හෝ සංගමයකට අක්‍රමිකතා පිළිබදව චෝදනා එල්ල වන්නේනම් ඊට මූලිකවම වගකිවයුත්තා එම සංගමයේ ප්‍රධානියා වන අතර අධ්‍යක්ෂවරයා එම ප්‍රධානියාගේ ඉල්ලීමට තව දුරටත් අවස්ථාව ලබා දීම යනු පිළිගත නොහැකි තත්ත්වයකි.සභාපතිවරයා සියළු වැරදි සදහා වගකිවයුතු අතර ඔහු නොදන්නේනම් හෝ ඔහු අසම්බන්ධිතව ඒ දේවල් සිදු වී ඇත්නම් පැහැදිළි වන්නේ ඔහුගේ දුර්වලතාවය සහ අක්‍රමිකතා කළ පුද්ගලයන්ගේ ප්‍රබලත්වය ය.එසේනම් එවැනි දුර්වලතා ප්‍රකට කළ පුද්ගලයෙකු වෙත මෙසේ වගකීම් පැවරීමෙන් තව දුරටත් සිදු වන්නේ පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩාව අගතියට යාමය.
අධයාපන ඇමතිවරයා සහ ලේකම්වරයාගේ දැණුම්දීම් වලට අනුව මේ වන විට පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය ද අත් හිටුවා පරීක්ෂණ පැවත්විය යුතු අතර ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ද ප්‍රකාශ කර සිටියේ මෙම සංගමය තහනම් කරන්නට තරම් චෝදනා එල්ල වී තිබෙන බවය.නමුත් කතාව ඒ ආකාරයට සිදු වුව ද යළිත් පාසල් බැඩ්මින්ටන් සංගමයේ අගතිගාමී ක්‍රියා කළාපයන්ට දිරිය දීමට සිය දෑත දිගු කරන්නට පාසල් අධ්‍යක්ෂවරයා උත්සාහ ගැනීම ඔහුගේ භාවිතාවන් පිළිබදව සැක උපදවන්නක් නොවේද?
www.supirikrida.com

ලාංකේය යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමු දිනයේ පරාජය

චීනයේ ක්‍රියාත්මක අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ යොවුන් බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමු දිනයේ තමන් සහභාගි වූ කේවල තරග වලදී පරාජයට පත් වුණා.ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ප්‍රථම වටයේ නිතරග ජයක් හිමි වූ අතර නමුත් දෙවන වටයේ පිටියට පිවිසි පසු සිදු වූයේ පරාජය අත් විදින්නටයි.
අවුරුදු 15 න් පහළ තරග වලදී රසිත් හැළඹගේ,කසුන් අමරසේන සහ තිහාන් හේවාගම යන ක්‍රීඩකයන් තිදෙනාම ප්‍රථම වටයේදී නිතරග ජය ලැබුවද රසිත් කොරියාවේ පාක් කියුන්ග් හූන් අතින් ලකුණු 21 - 13 ,21 - 4 ක් ලෙස ද,කසුන් අමරසේන මැලේසියාවේ ලී සී ජියා අතින් ලකුණු 21 -12,21 - 7 ලෙස ද,තිහාන් හේවාගම පිලිපීනයේ මාක් ෂෙලි අතින් ලකුණු 21 -9 සහ 21 -8 ලෙස ද දෙවන වටයේ දී පරාජය ලැබූහ.අවුරුදු 15 න් පහළ බාලිකා තරග‍වලදී සදුනිකා මුල්ලේගම ලකුණු 21 - 8 සහ 21 - 6 ලෙස චීනයේ චීනයේ ටාන් යූ අතින් පරාජය ලැබුවාය.චීනයේ ජියෝ යූ අතින් සචිති ඉලේපෙරුම ලකුණු 21 - 7 සහ 21 - 10 ලෙස ද පරාජය ලැබුවාය.
අවුරුදු 17 න් පහළ බාලක තරග වලදී බුවනෙක ගුණතිලක ප්‍රථම වටයේ  නිතරග ජයක් ලැබුව ද,චීනයේ ලී යුවාන් රැයි අතින් ලකුණු 21 -8  සහ ලකුණු 21 - 15 ක් ලෙස පරාජය ලැබූ අතර චීන ක්‍රීඩකයා ඉදිරියේ එසේ් දස්කම් පෑ බුවනෙක ඊයේ කැපී පෙණුනම ලාංකේය ක්‍රීඩකයා විය.සචින් ඩයස් ද චීනයේ ෂෙන්ග් සිවෙයි අතින් පරාජය ලැබූ අතර එහි ලකුණු තත්ත්වය 21 - 9 සහ 21 - 11 ක් විය.බාලිකා අංශයේදී යස්මිතා දයාරත්නට ප්‍රථම වටයේ නිතරග ජයක් ලැබූ අතර දෙවන වටයේදී ඇය ඉන්දුනීසියාවේ රුසේලි හර්තවන් අතින් ලකුණු 21 - 9 සහ 21 - 6 ක් ලෙස පරාජය ලැබුවාය.ප්‍රථම වටයේ නිතරග ජයක් සමග දෙවන වටයට පිවිසි මධුෂිකා දිල්රුක්ෂි මැලේසියාවේ යැප් රුල් චෙන් අතින් පරාජය වූයේ ලකුණු 21 - 2 සහ 21 - 10 ක් ලෙස ය.ඉන්දියාවේ රුත්විකා ෂෙවානි මුණ ගැසීමට ප්‍රථම වටයේ නිතරග ජයත් සමග පිවිසි ගයත්‍රි හේරත් ට ලකුණු 21 - 11 සහ 21 - 9 පරාජයක් ලැබුවාය.නිල්මි තරු හෙට්ටිආරච්චි ට ඉන්දියාවේ සංජානා සංතෝස්   ඉන්දියාවේ 21 - 8 සහ 21 - 10 ලෙස පරාජය ලැබුවාය.
මෙහිදී අවුරුදු 17 න් පහළ බාලිකා තරග වල දී,ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාවව සිටින තිළිනි හෙන්දහේවාට ද සහභාගි වීමේ හැකියාව තිබුණත් ඇය පෞද්ගලික හේතු මත සහභාගීත්වයෙන් වැළකී සිටිය අතර අංක දෙකට සිටින එම වයස් කාණ්ඩයේ ඉන් අනතුරුව දක්ෂතා අතර ඉදිරියෙන් සිටින්නී ඉල්මි වරංගනා බැඩ්මින්ටන් පරිපාලනයේ නොසැළකිල්ල නිසා මෙම තරගාවලියට සහභාගි කර නැත.
www.supirikrida.com

ලියාපදිංචිය නැතිව පුහුණු කිරීම් බැහැ

 ක්‍රීඩා පුහුණුකරුවන් ලියා පදංචි කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය අරඹන ලද වැඩ පිලිවෙල යටතේ ක්‍රීඩා පුහුණුකරුවන් 3500 ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඉදිරියේදී ඒ ලියාපදිංචි පුහුණුකරුවන්ට හැර වෙනත් අයට පුහුණුවීම් කටයුතු කර ගෙන යාමට අවසරයක් නැති බවත් ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.ලියාපදිංචි පුහුණුකරුවන් අතර පුහුණුකිරීම සදහා දේශිය වශයෙන් මෙන්ම විදේශිය පුහුණුවද ලැබූ පුහුණුකරුවන් සිටින බව පෙන්වා දෙන අමාත්‍යංශය,එසේම කිසිදු විධිමත් පුහුණුවක් නොලද අයද සිටින බව ද පවසයි.ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන දීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක්ද මේ අතර දක්නට ලැබෙන බව පෙන්වා දෙන ක්‍රිඩා අමාත්‍යංශය විවිධ වූ හැකියාවන් සහිත මෙම පිරිස සියල්ලටම සිය දැණුම වර්ධනය කර ගැනීමට සහ යාවත්කාලීන කර ගැනීමට අවශ්‍යය දැණුම විදේශ පුහුණුකරුවන් හරහා ලබා දීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බව ද අවධාරණය කරයි.
www.supirikrida.com

සුගතදාස පිහිණුම් තටාගය දැන් හැමෝටම OPEN

51 1iADwc4L SS400  Waterfi Shuffle Swim Kit Waterproof MP3 Player waterproof swimming mp3 player waterproof mp3 players for swimming waterproof mp3 players waterproof mp3 player reviews waterproof mp3 for swimming සුගතදාස ක්‍රීඩාංගණ පිහිණුම් තටාගය මෙන්ම එහි කායවර්ධන සුවතා මධ්‍යස්ථානය ද මහජනතාවට මුදල් ගෙවා සේවය ලබා ගත හැකි පරිදි විවෘත කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පිහිණුම් තටාගයේ සහ කායවර්ධනාගාරයේ පහසුකම් භුක්ති විදීමට මෙන්ම ඒ සදහා පැමිණෙන පිරිස් සදහා රථගාල පහසුකම් ලබා දීමට සහ ආපනශාලා පහසුකම් ලබා ගැනීමට ද කටයුතු සළසා ඇත.එසේ සුගතදාස ක්‍රීඩාංගණය පරිශීලනය කරන පිරිසගේ පවුල් සදහ විශේෂ අනුග්‍රාහක පදනමක් ක්‍රියාත්මක වන බව ද ක්‍රීඩා අමාත්‍යංශය දන්වා සිටියි.
එසේම නව පරිපාලනය යටතේ වෙනස් වීමකට භාජනය කළ සුගතදාස රථගාල සහ සුගතදාස හෝටලයේ ආදායම ද රුපියල් ලක්ෂ 5 සිට මිලියන 2 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ද එම නිවේදනයෙන් අනාවරණය කරයි.
www.supirikrida.com

Oct 11, 2012

ඇමතිලාට මට්ටු නැති බැඩ්මින්ටන් යොවුන් ක්‍රීඩකයන්ගේ අට දාහකට කොටයි

චීනයේ පැවත්වෙන ආසියානු යොවුන් (අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 15 න් පහළ ) බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එම සංචාරයට එක් වූ පුහුණුකරු අවසාන මොහොතේදී රුපියල් අටදාහක මුදලක් ඉල්ලීම නිසා දෙමව්පියන් මහත් අසරණභාවයට පත් ව ඇත.එසේම එවැනි මුදලක් අය කරන්නේනම් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරියෙකු ඊට මැදිහත්ව එම ගෙවීම් සම්බන්ධ රිසිට් පතක් ලබා දී එම මුදල් ලබා ගත යුතු වුව ද මෙහිදී එවැනි කිසිදු නිල ගණුදෙණුවක ස්වරූපයෙන් යමක් සිදු වී නැත.අවසාන මොහොතේදී එසේ මුදල් ඉල්ලීම නිසා වඩාත් අසරණභාවයට පත් දෙමව්පියන් කිහිප දෙනෙකුම එම මුදල් ගෙවා නැති අතර මෑත කාලීනව දැඩි කතා බහකට ලක් වූ තම සේවකයෙකු කණ්ඩායම් කළමණාකරු ලෙස විදේශ ගත කළ ජාතික සංගමයේ උප සභාපතිවරයාගේ පුතු ට තනි කාමරයක් වෙන කර තිබීම නිසා රුපියල් 13,000.00 මුදලක් ගෙවන්නට සිදු වී ඇත.
තරගාවලිය සදහා රුපියල් එක්ලක්ෂ දොළොස් දහස මගින් දරුවන් අට දෙනෙකුගෙන් අය කර ගෙන ඇති අතර එම අට දෙනාට එහි පහසුකම් සම්පාදනය වන අතර ඉතිරි තිදෙනාගෙන් අය කර ඇති මුදල අයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ විසිනව දාහකි.
එසේ මුදල් අය කර ඇතත් තව දිනක් වැඩි පුර එරට සිටින්නට වන බවත් එය මුලදී ගණනය කර නැති බවත් පවසමින් කණ්ඩායම් කළමණාකරු මෙසේ මුදල් එකතු කර තිබේ.එයින් පැහැදිළි වන්නේ ජාතික සංගමය සහ පාසල් සංගමය වගකීමකින් තොරව කටයුතු කර ඇති බවකි.තරගාවලිය පැවත්වෙන බව සහ එහි තොරතුරු දීර්ඝ කාලයක සිට වෙබ් අඩවියේ පළ වන අතර එසේ තිබිය දී සංචාරයේ දින ගණන සහ අවශ්‍යය මුදල් පිලිබදව නිවැරදිව එකවර දැණුම් දීමට අපොහොසත් වීම එම සංගම් දෙක වගකීම පැහැර හැරීමකි.
නමුත් වැරදි කරන්නට කරන්නට ඒවා දැණුම් දෙන පුද්ගලයන් ආශ්වාදයට ලක්වන ප්‍රකාශ කිරීමට එහා යමක් ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම සංගම් දෙකට එරෙහිව සිදු නොවන අතර එයින් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සුඛ විහරණය පමණක් සිදු වෙමින් බැඩ්මින්ටන් ක්‍රීඩාව අගාධයට යමින් පවතියි.විශේෂයෙන්ම ජාතික සංගමය ක්‍රීඩා අමාත්‍යවරයාද නොතකා වැඩ කරන තත්ත්වයට පත්ව ඇති නමුත් අමාත්‍යවරයාට ඒවා ඉවසා විද දරන්නට සිදු වී ඇති බලයක් බැඩ්මින්ටන් සංගමය තුළ තිබෙන බව එම අන පනත් නොතකා හැසිරෙන නිලධාරීන්ම කිහිප තැනකදී පවසා ඇත.
මෙම සටහනට පාදක වූ සංචාරයට අවුරුදු 17 න් පහළ ජාතික අනු සූරිය වන ඉල්මි වරංගා ඇතුළත් කර නැති අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකා පරස්පර ප්‍රකාශ කරමින් සහ අනෙකාට ඇගිල්ල දිගු කරමින් සිටිනු විනා යමක් නොකළ අතර ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට ද ක්‍රියා මාර්ගයක් ගෙන නැත.ඇය ජාතික සූරිය වන තිළිණි හෙන්ද‍හේවා ට පමණක් එම වයස් කාණ්ඩයේ පසු පසින් සිටින අතර මෙවර ජාතික කණිෂ්ඨ සූරතාවලියේදී ද ඒ බව සනාත කරමින් ඇය තිළිණිට පමණක් පරාජය වෙමින් එම වයස් කාණ්ඩයේ කේවල අනු සූරියද,තිළිණි සමග එක්ව යුගල සූරතාවය ද දිනා ගත්තාය.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයා බැඩ්මින්ටන් සංගමයේ සිටීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කළ පුද්ගලයෙකු දිගින් දිගටම එහි රදවා තබා ගැනීමට පරාක්‍රම බස්නායක ශක්තිමත් වී ඇති අතර එපමණක් නොව ඔහුට ප්‍රධාන විධායක තනතුර පිරිනමමින් රටේ බැඩ්මින්ටන් සංවර්ධනය සම්බන්ධ සාකච්ඡාවකට සහභාගිවීමට මැලේසියාවට යැවීමට ද තීරණය කර ඇත.
පසුගිය කාලයේ බොහෝ අයථා පාලන පැවති ක්‍රීඩා සංගම්වල පරිපාලනය වෙනස් කිරීමට අමාත්‍යවරයා මැදිහත් වුව ද,බැඩ්මින්ටන් සංගමයට චෝදනා එල්ල වද්දී ඒ මොහොතට බැනීම සහ විවේචනය හැරෙන්නට යමක් කිරීමට නොහැකි තත්ත්වය නිසා ක්‍රිඩා අමාත්‍යවරයාට බැඩ්මින්ටන් සංගමයේ සියළු වැරදි ඉවසා සිටින්නට සිදු වී ඇත.
පාසල් සංගමයේ තත්ත්වය ද මෙය වන අතර එහි ක්‍රියාකාරීත්වය මේ රටේ සාමාන්‍ය ජනතාවට ඇති අයිතිය පවා පිලි නොගනිමින් රැකීමට ඇතැම් අවස්ථාවල අධ්‍යක්ෂවරයා ක්‍රියා කරමින් සිටියි.ඔහු සෑම විටම ලිඛිත සාක්ෂි නැති බව කියා ලිස්සා ගිය ද අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය වාර්තා පදනම් කර ගෙන පරීක්ෂණ අරඹන්නට මාධ්‍යවේදීන් ඉදිරිපිටදීම නියෝග කළ ද අධ්‍යක්ෂවරයා ඉන් අනතුරුව ද මාධ්‍ය කිහිපයකටම පවසා ඇත්තේ ලිඛිත සාක්ෂි නොමැති බවය.එසේම එම සංගමයේ ක්‍රියාකාරීත්වය අභියෝග කරමින් අධ්‍යක්ෂවරයාට යොමු කළ ලිපි කිහිපයකම පිටපත් අප සතුව ඇති අතර අධ්‍යාපන අමාත්‍යවරයා සිය අත්සනින් පාසල් බැඩ්මින්ටන් සංගමයේ චෝදනා ගැන පරික්ෂා කරන්නට යැයි අධ්‍යක්ෂවරයාට දෙන ලද ලිපියක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා ලිපිය යොමු කළ පුද්ගලයාට දන්වා එවන්නේ ඔහු දෙමව්පියෙක් හෝ විදුහල්පතිවරයෙක් හෝ ගුරුවරයෙක් නොවන බැවින් ඔහුට එසේ චෝදනා කරන්නට අයිතියක් නැති බවය.
ඒ නිසා ජාතික බැඩ්මින්ටන් සංගමය මෙන්ම පාසල් බැඩ්මින්ටන් සංගමය ගැන වැරදි වාර්තා කිරීමේ එකම සුගතිය එම සංගම්වල ක්‍රියාකාරීන්ගේ තොරතුරු දැන ගැනීමෙන් සාමාන්‍ය ජනතාව ප්‍රවේශමෙන් කටයුතු කරන්නට ඉගෙනීම පමණක් වන තරමට තත්ත්වය ඛේදණීය වී ඇති අතර ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරයාට සිය බලය යොදවා මෙම සංගම් සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකි තත්ත්වයක් තිබෙන බව එක දිගටම සිදුවන සිදුවීම් වලදී එම අමාත්‍යවරුන්ට නිහඩව සිටින්නට සිදු වීමෙන් පැහැදිළි වේ.
www.supirikrida.com