Dec 30, 2011

තරුණ සේවා-රූපවාහිණී අභියෝග කුසලාන අවසාන තරග අද

ජාතික රූපවාහිණිය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන රූපවාහිණි අරුරුරුපරූපවාහිණි අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසාන තරග අද මාතර රුහුණු විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්වේ.27 වරටත් සංවිධානය වන මෙම තරගාවලිය අවුරුදු 25 න් පහළ තරගාවලියක් ලෙස ක්‍රියාවට නැගෙන අතර සුපර් ලීග් සහ අභියෝග කුසලාන යනුවෙන් තරග අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
මෙවර තරගාවලියේ සුපර්ලීග් අංශයේ පිරිමි අවසාන තරගයට යුධ හමුදා කණ්ඩායම සහ වරාය අධිකාරි කණ්ඩායම තේරී පත් වී සිටින අතර එම කාන්තා අවසාන තරගය සදහා තරග වදින්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායමයි.අභියෝග කුසලාන තරගාවලියේ පිරිමි අවසාන තරගයට ගම්පහ සියනෑ කණ්ඩායම සහ දොම්පෙ නේත්‍රා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියි.එම කාන්තා අංශයේ අවසාන තරගයට තරග වදින්නේ මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායමයි. 


ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

                      ජයග්‍රහණයෙන් උදම්වන ශ්‍රී ලංකා කණ්ඩායම

දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාව තුළ දී ලැබූ ප්‍රථම ටෙස්ට් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට ඊයේ හැකි විය.එම ජයග්‍රහණය ඉක්මන් කළ රංගන හේරත් ගේ සුවිශේෂී පන්දු යැවීම ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගය දින හතරකින් නිමා කළේ ශ්‍රී ලංකාවට ලකුනු 208 ක දැවැන්ත ජයක් හමි කර දෙමින්ය.ලකුණු 450 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුනු අප්‍රිකානු දෙවන ඉණිම ලකුණු 241 ට සීමා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් රංගන හේරත් පෙරමුණ ගත් අතර ඔහු විසින් ලකුණු 79 ට කඩුලු 5 ක් බිද හෙළිය.එඒඅනුව ප්‍රථම ඉණිමේ දී ලකුණු 49 ට කඩුලු 4ක ද් බිද හෙළු රංගන සමස්ත තරගයේ දී ලකුණු 128 ට කඩුලු 9 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ලද ඓතිහාසික ජයග්‍රහණයේ වීරයා වන්නට ද සමත් විය.
ශ්‍රී ලංකා දෙවන ඉණිම සංගක්කාරගේ ශතකය (108) සහ දිනේෂ් චන්දිමාල් ගේ අර්ධ ශතකය (54) පෙරටු කොට ලකුණු 241 දක්වා ගිය අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යැවීමෙන් කැපී පෙණුනු ඩේන් ස්ටෙයින් ලකුණු 73 ට කඩුලු 5 ක් බිද දැමීය.මෝනි මෝර්කල් සහ ඉම්රාන් තාහීර් කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වූයේ පිළිවෙළින් ලකුණු 46 ක් සහ 64 ක් ලබා දෙමින්ය.
පිළිතුරු ලෙස ලකුනු 450 ක ඉලක්කයක් වෙත යාම සදහා දකුණු අප්‍රිකාවට ආරම්භය ලබා දුන් ජැක් රැඩොල්ෆ් සහ ග්‍රෙහැම් ස්මිත් ලකුනු 37 ක ආරම්භයක් ලබා දුන් අතර අනතුරුව පිටියට පිවිසි හසීම් අම්ල තරමක් ආක්‍රමණශීලී පිතිහරඹයක නියැලෙමින් ලකුණු 51 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගෙන් සහයෝගයක් නොලැබ ලකුණු 133 වන විට දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් අහිමි කර ගත්තේය.හත් වන කඩුල්ල සදහා ඩේන් ස්ටෙයින් (43) සහ ඒබී ඩිවිලියර්ස් (69) අතර ලකුණු 89 ක සබදතාවයක් ඇති වුව ද රංගන හේරත් හමුවේ දකුනු අප්‍රිකානු පසුපෙළ සම්පූර්ණයෙන් බිද වැටුණේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක ලබා දෙමින්ය.
තිලකරත්න ඩිල්ෂාන් සිය නායකත්වය යටතේ දිගින් දිගටම පරාජයන් ලැබුව ද ප්‍රතිවාදී කණ්ඩායම් වල ලකුණු තත්ත්වය මුරලිදරන් වැනි සුවිශේෂී පන්දු යවන්නන් ගේ හිස් තැන සමග යම් ආකාරයකට සීමා කරනු දැකිය හැකි වුව ද ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ඊට අදාළ සහය නොලැබිණ.නමුත් මේ තරගයේ දී තිලාන් සමරවීර,කුමාර සංගක්කාර,දිනේස් චන්දිමාල් වැනි ක්‍රීඩකයන්ගේ සහයෙන් ලාංකේය පන්දු යවන්නන් ගේ සහයට නිසි ප්‍රතිපල නෙලා ගැනීමට ලැබුණෙන් ශ්‍රී ලංකාවට මෙම ඓතිහාසික ජය කරා යන්නට මාර්ගය සැකසිණ.
http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/match/514033.html තරගයේ සමස්ත ලකුණු විස්තරයට ඉහත සබදතාවය ඔස්සේ ලබා ගත හැකිය.

විජේකොන් යළි කෙන්යාවට, සචිත් පින්ලන්තයට



ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම මැදි දුර ධාවකයා ලෙස සැළකෙන චමින්ද විජේකෝන් යළි පුහුණුවීම් කටයුතු සදහා අද කෙන්යාව බලා පිටත්ව යාමට නියමිතය.එසේම හෙල්ල වීසිකිරීමේ ජාතික වාර්තාලාභී සචිත් මධූරංග ද ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ අධී ශ්‍රේණීයේ පුහුණු කදවුරේ පුහුණුව සදහා ජනවාරි පළමු වැනිදා පින්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
ගෙවුණූ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 1500 ඉසව්ව විනාඩ් 3 තත්පර 40 සීමාවට පෙර අවසන් කළ පළමු ලාංකිකයා වීමේ භාභ්‍යය ලද චමින්ද,පාදයේ ආබාධයක් නිසා ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිකාර ලබා ගත් අතර මේ වන විට එම ප්‍රතිකාර සමග විශාල සුවයක් ලබා තිබෙන බව පවසයි.චමින්ද මෙවර කෙන්යානු පුහුණුවත් සමග ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය තමාගේ ප්‍රධානතම අපේක්ෂාව බව පවසයි.
සචිත් හිටපු ශ්‍රී ලංකා හෙල්ල වීසිකිරීමේ සූරයා වන වරුණ ලක්ෂාන් දයාරත්න අභිබවමින් ජාතික වාර්තාව තැබීමෙන් ඉනික්බිති මේ දක්වා රට තුළදී සිය අපරාජිතත්වය රැක ගැනීමට සමත්ව සිටින අතර තවමත් 22 හැවිරිදි වියේ පසුවන සචිත්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ලද විශාල භාග්‍යයක් කොට තැකිය හැකිය.

Dec 29, 2011

ශ්‍රී ලංකාව,කළකට පසුව ජයග්‍රහණයේ මාවතට


                     කුමාර සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල්

මාස ගණනක් පරාජයේ අමිහිරි කටුක බව විදිමින් සිටින ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමග පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිම වන විට යළි පිබිදෙමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වී සිටියි.සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබියදී ලකුණු 426 ක් ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව සිය දෙවන ඉණිම සදහා ලකුණු 256 ක් ලබා සිටින්නේ කඩුලු 7 ක් පමණක් අහිමි කර ගනිමින් ය.ශ්‍රී ලංකාව ප්‍රථම ඉණිම සදහා ලකුණු 338 ක් ලැබූ අතර ඊට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 168 ට සීමා කරන්නට සමත් වූ ශ්‍රී ලංකාව දෙවන ඉණිම ලකුණු 177 ක් ඉදිරියෙන් සිටිමින් ආරම්භ කරන්නට ආශිර්වාදය ලද්දේය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තරගයේ සමස්ත ගෞරවය සියතට රැගෙන සිටින්නේ,තරගය පැවත්වෙන ඩර්බින් පිටියේ දිගින් දිගටම අසාර්ථක වීමේ දකුණු අප්‍රිකා ක්‍රිකට් ඉතිහාසය විසින් ශවුන් තුළ ඇති කර තිබෙන මානසික පීඩනය ද සමගය.
දෙවන ඉණිමේ ලකුණු 177 වාසිය රැක ගනිමින් සිව්වන ඉණිම ක්‍රීඩා කරන්නට පිවිසෙන දකුණු අප්‍රිකාවට පීඩනයක් ඇති කිරීම අරමුණු කරගෙන පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී සිය බලාපොරොත්තුවෙන් ඈතට තල්ලු වෙද්දී,යළි සුපිරි පිතිකරු සංගක්කාර සමග ක්‍රියාත්මක වූ ප්‍රථම ඉණිමේ වීරයා වූ තිලාන් සමරවීර සිව්වන කඩුල්ලට ලකුණු 94 ක සබදතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ලකුණු පරතරය ලකුණු 300 සීමාව කරා රැගෙන යන්නට සමත් විය. නමුත් ඇන්ජලෝ මැතිව්ස් ඒ වාසිදායක තත්ත්වයට තවත් ලකුණු 3 ක් පමණක් එක්වෙද්දී පිටියෙන් ඉවත්ව යාමත් සමග පිටියට පිවිසි ටෙස්ට් කෝඩුකාරයා දිනේෂ් චන්දිමාල්, සිය තේරිම ප්‍රමාද කිරිම පිළිබදව තේරීම් කමිටුවට යළි සිය පිත්තෙන් අවලාද නගන්නට ගත්තේ ශ්‍රී ලංකා ඉණිමේ හොදම ලකුණු සබදතාවය වන ලකුණු 104 ක් හයවන කුඩුල්ල්ට ඇති කරමින්ය.සංගක්කාර සමග ඇති කළ එම සබදතාවයෙන් ලකුණු 54 ක් චන්දිමාල් ට හිමි වූ අතර සංගක්කාර යළිත් වරක් ටෙස්ට් පිතිකරුවෙකු සතු විය යුතු සියළු ගුණාංග සහිතව අනගි ශතකයක්(108) එක් කළේය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩේන් ස්ටෙයින් ලකුණු 54 කඩුලු 3ක් දවා ගත් අතර ඉම්රාන් තාහීර් ට කඩුලු 2 ක් හිමි වූයේ ලකුණු 54 ට ය.ප්‍රථම ඉණිමේ ශ්‍රී ලංකා ඉණිමේ විනාශකාරයා වූ මර්චන්ට් ඩි ලැන්ගේ ට දවා ගැනීමට හැකිවූයේ ලකුණු 45 ට එක් කඩුල්ලක් පමණි.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීම‍ට හැකියාව ඇත. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514033.html

ක්‍රීඩා පනතට අභියෝග කිරීමට ක්‍රිකට් ව්‍යවස්ථාවට බලයක් ඇද්දැයි සැකයි - නීතී අංශ


ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයන් සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ක්‍රීඩා සමාජ කිහිපයක් මගින් නඩු පැවරීමට තීරණය කරතිබෙන බවට තොරතුරු වාර්තා වුණ ද, ක්‍රිකට් ආයතන පනත හා එහි ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති පනතක්  නොවන්නේ නම් ක්‍රීඩා පනතට අභියෝග කිරීමට හැකි ශක්තිමත් ප්‍රතිපාදන ක්‍රිකට් ව්‍යවස්ථාවේ තිබිය නොහැකි බව සුපිරික්‍රීඩා මගින් නීති අංශ හරහා කරන ලද කරුණු විමසීමකදී අනාවරන්‍ය කර ගැනීමට හැකිවිය.
මේ අතර කලින් කලට විවිධ වර්ණ ගැනීම සම්බන්ධයෙන් ප්‍රකට පුද්ගලයෙක් මෙම නිලවරණයේදී එක් පාර්ශවයකට ඡන්දය පාවිච්චි කරන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් ලෙස රට පුරා ප්‍රචාරණය කරමින් යෑම පිළිබදව ද ක්‍රිකට් කේෂ්ත්‍රයේ දැඩි නොසන්සුන්තාවයක් හට ගෙන ඇත.ඒ නිසාම ඇතැම් පාර්ශව මේ වන විට නිලවරණයෙන් ඉවත් වී බොහෝ නිලතල සදහා නිතරගයෙන් පත්වීම සදහා එක් පාර්ශවයකට ඉඩ දෙනු ඇතැයි රාවයක්ද පැතිර යමින් පවතී.
කෙසේ වුව ද ජනාධිපතිවරයාගේ නම යොදා ගනිමින් නිලවරණයේ ප්‍රචාරක කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ඇතැම් ක්‍රීඩා සමාජ කණස්සල්ලෙන් පසුවන බව ද වාර්තා වන අතර වසර ගණනකට පසුව ක්‍රීඩා සමාජ සදහා තමන්ගේ කැමති පරිපාලකයන් සොයා ගැනීමට ලද අවස්ථාවට දේශපාලන බලපෑම් එල්ලවීම පිළිබදව ඔවුන් සිය නොසතුට පළ කරයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හයක් ජාත්‍යන්තර වර්ගීකරණයට නිමාලි ඉකුත් වසරේදී ඉසව් තුනකින් ලකුණු 1000 ඉක්මවා ලබා ගනියි

                                                           ක්‍රිස්ටීන් සොනාලි මෙරිල්
  
චමින්ද විජේකෝන්

 
මංජුල කුමාර       
චන්ද්‍රිකා සුභාෂණී
සචිත් මදුරංග
 වරුණ ලක්ෂාන් දයාරත්න
 ඩබ්කේඑල්ඒ නිමාලි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හය දෙනෙකු ඉකුත් වසරේදී දක්වන ලද දක්ෂතා අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩක වර්ගීකරණයට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.චමින්ද විජේකෝන් - මීටර් 1500 (විනාඩි 3:39.61),සචිත් මධුරංග - හෙල්ල (මීටර් 77.29), ලක්ෂාන් දයාරත්න - හෙල්ල (මීටර් 75.41),මංජුල කුමාර - උස (මීටර් 2.24),චන්ද්‍රිකා සුභාෂණී -මීටර් 400 (තත්.52.52) සහ ක්‍රිස්ටීන් මෙරිල් - මීටර් 400 කඩුලු (තත්.56.83) එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනා වෙති.මෙම හයදෙනා අතරින් චන්ද්‍රිකා හැරෙන්නට සෙසු පස් දෙනාම එම ඉසව්වල ජාතික වාර්තාපිහිටුවීමට සමත් වූ අය වෙති.ඒ අතරින්ද මෙම ශ්‍රේණිගත කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීම සදහා චන්ද්‍රිකා සහ මංජුල හැරෙන්නට සෙසු සිව් දෙනාම ජාතික වාර්තා සිය නමට ලියා ගනිමින් සුදුසුකම් ලබා ගැනීමද විශේෂත්වයකි.ඒ අතරින් වරුණ ලක්ෂාන් පිහිට වූ වාර්තාව පසුව සචිත් මධුරංග විසින් බිද හෙළන්නට සමත් වූ අතර එම දක්ෂතා දෙකම ජාත්‍යන්තර වර්ගීකරණයට ඇතුළත්ව තිබීම ශ්‍රී ලංකාවේ හෙල්ල වීසිකිරීමේ ඉසව්වට හිමි  වූ විශේෂ අවස්ථාවකි.
මෙම හයදෙනාට අමතරව මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිණිය වන ඩබ්කේඑල්ඒ නිමාලි ඉකුත් වසරේ දී එම ඉසව්වද සමග මීටර් 400 සහ මීටර් 1500 ඉසව් වලදී ද ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනට අනුව ලකුණු 1000 ට වඩා ප්‍රසාද ලකුණු ලබා ගැනීම කැපී පෙණින.
ඇය මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේදී පෑ දක්ෂතා මෙන්ම යොවුන් ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 ඉසව්වට පෑ දක්ෂතාත් හේතු කර ගෙන ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙල කිහිපයකදී ම දක්ෂතම ක්‍රීඩිකාව වීමද කැපී පෙණුන අතර ඉතා අඩු අවස්ථාවන් ගණනනාවක් ලැබෙන මීටර් 3000 වැනි බාධක දිවීම වැනි ඉසව්වකින් වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් මෙම ක්‍රීඩිකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි කීර්තිය ගැන මින් ඉදිරියට කල්පනා කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ජීඑල්එස් පෙරේරා සුපිරික්‍රීඩා වෙත පැවසීය.ඇයට ඉකුත් වසරේදී ලබා දුන් මැලේසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 1500 වාර්තාවට තත්පර දශම 20 ක් පමණ පිටු පසින් සිට තරගය අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමද සුපිරික්‍රීඩා ‍මගින් ලේකම්වරයාගේ අවධානයට ලක් කර අතර ඇය පසුගිය වසරේ පෑ දක්ෂතා පිළිබදව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලකුණු සටහන්කරු ජීජීයූ සමන්කුමාර සමග විශේෂයෙන් සාකච්ඡා කරන බවත් ලේකම්වරයා පැවසීය.
 ආසියානු මෙවර මලල ක්‍රීඩා සූරතාවලියේදී ජාත්‍යන්තර වර්ගීකරණයට ඇතුළත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවය ලැබෙනු ඇති බව පෙන්වා දුන් ජීඑල්එස් පෙරේරා නිමාලි සම්බන්ධයෙන් ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බව පිළිගත්තේය.




Dec 28, 2011

බෙනාසීර් භූතෝ තරගාවලියේ දී ‘අමිල නුවන්’ ට ලෝකඩ පදක්කමක්


පකිස්තානු බොක්සිං සම්මේලනය විසින් දෙවන වරට සංවිධානය කරන්නට යෙදුණු රටවල් 16 ක් සහභාගි වන බෙනාසීර් භූතෝ අනුස්මරණ බොක්සිං තරගාවලියේ දී කිග්‍රෑ.49 බර පංතිය ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමිල නුවන් සමත් වී සිටිනවා.ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අමිල,2005 දී ස්ලිම් ලයින් ආයතනයේ ඩයන් ගෝමස් ගේ අදහසකට අනුව ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ සහ පන්නල මධ්‍ය විද්‍යාලයේ බොක්සිං ක්‍රීඩාව ආරම්භ කිරීමේ දී පන්නල මධ්‍ය විද්‍යාලය හරහා බොක්සිං ක්‍රීඩාවට පැමිණි ක්‍රීඩකයෙක් වන අතර එදා සිට මේ දක්වා ඔහු ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හර්ෂ කුමාර යි.
2010 වසරේ ජාතික කණ්ෂ්ඨ තරගාවලියේ දී හොදම ක්‍රීඩකයා වන අමිල,භූතෝ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී පකිස්තානයේ ජහාන් සහීබ් ලකුණු 15 – 8 ක් ලෙස පරදා අවසාන පූර්ව තරගයට පිවිසෙන අමිල අවසාන පූර්ව තරගයේදී ලකුණු 16 – 9 ක් ලෙස පරාජයට පත් වන්නේ මොංගෝලියානු ක්‍රීඩක අරියොන්බෝල්ඩ් ගන්සෙලාට් හමුවේයි.මේ  නිසා ඔහුට පකිස්තානයේ මොහොමඩ් නිසාර් සමග ලෝකඩ පදක්කම බෙදා ගැනීමට අමිලට සිදුවන අතර නිසාර්ව පරාජය කළ කෙන්යාවේ පීටර් මොන්ගායි සහ අමිලව පරාජය කළ ගන්සෙලාටි අද රන් පදක්කම සහ රිදි පදක්කම තීරණය වන එම බර පංතියේ අවසාන තරගයට මුහුණ දීමට නියමිතයි.
මෙම තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරග සදහා අමිලට අමතරව තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් දෙනෙකු අර්ධ අවසන් පූර්ව තරග සදහා පිවිසීම කැපී පෙණුනා.එහිදි කිග්‍රෑ. 52 බර පංතියෙන් තරග වැදුණු එම්වීඅයිආර් සෙනවිරත්න පකිස්තානයේ මොහොමඩ් වසීම් ඉදිරියේ ලකුණු 26 – 12 ක් ලෙස පරාජයට පත්වුණා.පිලිපීනයේ ජෝගින් ලැඩොන් හමුවේ කිග්‍රෑ. 60 බර පංතියේ තරගයේදී ආර්එම්එන් බණ්ඩාර පරාජයට පත් වූයේ ලකුණු 25 – 13 ක් ලෙස යි.කිග්‍රෑ 69 බර පංතියෙන් තරග වැදුණු එච්එන් මධුශංක ලකුණු 25 – 17 ක් ලෙස කෙන්යාවේ රේටෑන් ඔක්විරි හමුවේ පරාජය වුණා.ප්‍රතිවාදියාගේ ප්‍රහාරය හමුවේ කිග්‍රෑ 91 ට වැඩි අර්ධ අවසන් පුර්ව තරගයේදී තීරකයා විසින් තව දුරටත් තරග කළ නොහැකි බවට තීරණය කරමින් කෙන්යානු ක්‍රීඩක චාල්ස් ඔකොත් ට ජයග්‍රහණය ප්‍රදානය කිරීම නිසා දොන් රසිකට අවසාන පූර්ව වටය පිළිබදව තබා තිබූ බලාපොරොත්තු අතහැර දමන්නට සිදු වුණා.ඒ වන විටත් චාල්ස් ලකුණු 7 – 3 ක් ලෙස ඉදිරියෙන් සිටියා.
මූලික වටයෙන්ම පරාජයට පත් වුව ද ආර්ජී සිසිර කිග්‍රෑ 56 බර පංතියේදී පකිස්තානු ක්‍රීඩක අමීර් කාන් ට එරෙහිව ලැබූ පරාජය අභියෝගයට ලක්කිරීම‍ට ඇතැම් පකිස්තානු මාධ්‍යයද කටයුතු කර තිබුණා. එම තරගයේ අවසාන ප්‍රතිපලය 12 – 12 ක් වූයෙන් පැති විනිසුරුවන්ගේ තීරණ සළකා බලා තරගයේ ජයග්‍රහණය පකිස්තානුවාට පිරිනැමීම ඇතුළුව පළමු දිනයේ තරග සංවිධානය ද පකිස්තානු මාධ්‍ය මගින් විවේචනයට ලක්කර තිබුණා.