Mar 23, 2012

උතුරු මැද සහ වයඹ පළාත් ක්‍රීඩා සමුළු 26 දා පැවත්වේ


ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩාව ජාතික තලයට ඔසවා තබමින් ජාත්‍යන්තරය ජයග්‍රහණ උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීමේ සත් අවුරුදු සැළස්මට අනුව යමින් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන පළාත් ක්‍රීඩා සමුළු යතේ ක්‍රියාත්මක වන උතුරු මැද සම වයඹ පළාත් ක්‍රීඩා සමුළු මෙම 26 දා පැවත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය අංශය මගින් වාර්තා කරනවා.ඒ අනුව මාර්තු 26 දා පෙරවරු 9.00 ට උතුරු පළාත් ක්‍රීඩා සමුළුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වෙන අතර පස්වරු 2.30 ට වයඹ පළාත් ක්‍රීඩා සමුළුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේදී පැවත්වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී ක්‍රීඩා දක්ෂතා හදුණාගැනීම සදහා වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවට සම්බන්ධ පිරිස් මෙන්ම මහජන සමබන්ධතා පවත්වාගෙන යන පිරිස් ද දායක කර ගන්නා අතර ඒ අනුව මෙම සමුළු වලදී පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ සිට ක්‍රීඩාවට සීජු දායකත්වයක් දක්වන පුහුණුකරුවන් මෙන්ම පාසල් ක්‍රීඩා කේෂ්තුයේ නිලධාරීන්ද ප්‍රාදේශිය ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ජාතික තරුණ සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

Mar 22, 2012

ශ්‍රී බංග්ලා පිටිය හිස් ගොඩක් වන ලකුණු


සියානු කුසලාන තරග ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහභාගි නොවන අවසාන තරගයක් ලෙස අද බංගලාදේශයේ මිර්පූර් හී ශ්‍රී බංගලා ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන පකිස්තානය සහ බංගලාදේශය අතර තරගයේ දී,ක්‍රීඩාංගණය එකම හිස් ගොඩක බවට පත්වනු ඇති බවට බංගලාදේශ ජනමාධ්‍යය විශ්වාසය පළකරයි.ඉතිහාසයේ ක්‍රිකට් තරගයක් නැරඹීම  සදහා සහභාගි වූ  වැඩිම ප්‍රේක්ෂක පිරිස මෙම තරගය නරරඹීමට සහභාගි වනු ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විටත් ලෝක සූරතා දෙකක් දිනූ ඉන්දියාව,සහ ලෝක සූරතාවයක් සහ අනු සූරතා දෙකක් දිනා ඇති ශ්‍රී ලංකාව පරාජය කර ඇති බංගල‍ාදේශය අද තරගයේදී පකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ ඒ ජයග්‍රහණයන්ගෙන් ඇති කර ගත් දැඩි විශ්වාසය සහිතවය.පළමු වටයේ දී පකිස්තානය ඉදිරියේ පරාජය වුව ද ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එරෙහිව දක්වා ඇති දක්ෂතා අනුව පකිස්තානය මේ තරගයට පිවිසෙන්නේ ද බංගලාදේශය පිළිබදව ඇති කර ගත් යම් තැති ගැන්මකින් විය යුතුය.
නායක මුෂ්ෆිකර් රහීම් බංගලාදේශ නායකත්වයට පත්වීම පිළිබදව විවිධ කතා පැතිරුණද ඔහු තරග පිටියේ නායකයෙකු ලෙස ඉක්මණින් පරිනත වී ඇති බව මෙම තරගාවලියේදී පැහැදිළි කර ඇති අතර හිටපු නායක සකීබ් අල් හසන් දැනට එක්දින පිටියේ ශ්‍රේණිගත කිරීම්වල හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සිටීමට තමාට ඇති සුදුසුකම මේවන විටත් පැහැදිළි කර ඇති අතර ලෝක සූරයන් සහ අනු සූරයන් පරාජය කළ තරග ද්විත්වයේම තරගයේ වීරයා වීමේ භාග්‍යය ලැබුවේ සකීබ්ය.
පුහුණුකරු වට්මෝර් ඊයේ පකිස්තාන් කණ්ඩායම සමග විශේෂ උනන්දුවකින් පුහුණු කටයුතු වල යෙදෙන අන්දම විදෙස් ජනමාධ්‍යයට විශේෂ ප්‍රවෘත්තියක් වී තිබූ අතර නිහඩ සහ දැඩි බවෙන් යුත් නිවැරදි සහ සෘජු තීරණ ගැනීමෙහිලා සමත් නායකයෙකු බව මේ වන විට පසක් කර ඇති පකිස්තාන් නායක මිස්බා උල් හක් ගේ නායකත්වය අද තරගයේදී බංගලාදේශ හීනයට එරෙහිව දැවැන්ත අභියෝගයක් වනු නිසැකය.විශේෂයෙන් මේ වන විට හඹා යාමේ කුසලතාවයෙන් යුතු කණ්ඩායමක් ලෙස මේ තරගාවලිය තුළ කැපී පෙනෙන බංගලාදේශය මේ තරගයේදී හඹායාම තෝරා ගැනීමේදී දෙවරක් සිතිය යුතුව ඇත.පළමු වැන්න පකිස්තාන් පිතිකරුවන් පළමුව පන්දුවට පහර දී දිගු ඉණිමක් ගොඩ නැගීමට සමත් වුවහොත් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩ ඇත.එසේම ලකුණු හඹා යාමේදී එකිනෙකට වෙනස් පන්දු යැවීමක නිරත පකිස්තානු පන්දු බල ඇණිය උපක්‍රමශීලි ලෙස ප්‍රයෝජනයට ගන්නා නායක මිස්බා උල්හක් ගෙන් ලකුණු ලබා ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත.

ලාංකේය ක්‍රිඩාවට රුසියානු හොද හිත


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය පිණිස රුසියානු රජයේ සහය පළවන අවබෝදාත්මක ගිවිසුමකට අත්සන් තැබීමට රුසියානු තානාපති ව්ලැඩ්මිර් පී මිකායොලොව් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමග එකගතාවය පළ කර ඇත.තානාපතිවරයා පසුගියද ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කර ඇති අතර ලාංකේය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දැණුම වැඩි දියුණු කර නවීන ලෝකය සමග යාවත්කාලීන කිරීමට අවශ්‍යය අධයාපනික අවස්ථා රුසියානු රජයේ සහය ඇතිව ලබා දීමට ද එකග වී තිබේ.
රාජ්‍යතාන්ත්‍රිකව ශ්‍රී ලංකා රජයට හැකි සෑම විටෙකම සිය සහය පළ කරන බව එහිදි තානාපති වරයා ක්‍රීඩා අමාත්‍යවරයාට දැණුම් දී ඇති අතර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සහ ඉදිරි ජාත්‍යන්තර ඉසව් ඉලක්ක කර ක්‍රීඩා සදහා ඉහළ ජාත්‍යන්තර පුහුණු දැණුම ආයෝජනය කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගෙන ඇති තීරණයට අනුව ටෙනිස් සහ ස්කොච් ක්‍රීඩා සදහා රුසියානු පුහුණුකරුවන් ලබා දීමට සහ බීච් වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය සදහා රුසියානු රජයේ උපකාරය ඇතිව ස්වෙච්චා පුහුණුකරුවන් ලබා දීමටද එහිදී තානාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා හා එකග වී ඇත.

බස්නාහිර පළාත් කාල්ටන් මරතන් ජය තෙන්නකොන්ට සහ මංජුලා ට


මෙවර ජාතික ක්‍රීඩා උළෙල ආහ්‍රිතව පවත්වනු ලබන අන්තර් පළාත් මැරතන් තරගාවලියේ බස්නාහිර පළාත් මැරතන් තරගය ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් කාල්ටන් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ අතර එහි පිරිමි අංශයේ ජය ටී ගුණසේකර විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ ජය ඉකුත් වසරේ ජාතික ක්‍රීඩා තරගාවලියේ දී ජාතික ක්‍රීඩා උළෙලක හොදම මැරතන් නිමා කිරීමේ කාලය වාර්තා කරමින් ජය ගත් මංජුලා කුමාරසිංහ විසින් දිනා ගත්තාය.
කාන්තා අංශයේ දෙවන ස්ථානය එම්එස්පීඑම් පෙරේරා විසින් ද තෙවන ස්ථානය ඩීපීඑම්එච් මධුශිකා විසින් ද දිනා ගත්තාය.පිරිමි අංහයේ දෙවන ස්ථානය මහේෂ් ගුණතිලකට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ඒඑල්පීකේ පිගේරාට ය.මෙම පළාත් තරග වල විශේෂත්වය වන්නේ,කාල්ටන් අනුග්‍රහය සමග ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමි වීමය.දෙවන ස්ථානයට රුපියල් 50,000 ක් ද තෙවන ස්ථානය සදහා රුපියල් 25,000 ක් ද පිරිනමන අතර දහවන ස්ථානය දක්වාම මුදල් ත්‍යාග පිරිනැමේ.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත් මංජුලා කුමාරසිංහ ට තරගයේ ජය සංඛේත ප්‍රදානයට එක් වූ පන්ඩු බණ්ඩාරනායක අමාත්‍යවරයා ජය සංඛේත ප්‍රදානය කළ අයුරුයි.

මලල ක්‍රීඩාවේ ජෙනරාල් යුගයට තිත?


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී නැවතත් සභාපති ධූරය සදහා තරග වැදීමට අවසර ඉල්ලා ඇති ජාපරාල් පාලිත ප්‍රනාන්දුට ඒ සදහා අවසර නොලැබෙනු ඇතැයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.ජෙනරාල් පාලිත ප්‍රනාන්දු,ලේකම් මෙන්ම සභාපති ලෙස ද එක දිගට මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව ගෙවෙන හත්වන වසර මෙය වන අතර නැවත පරිපාලනයට ඉදිරිපත් වීම සදහා ඔහු අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ අවසරය ලබා ගත යුතු වුව ද,එම කමිටුව ජෙනරාල්වරයාගේ සේවය පිළිබදව තෘප්තියට පත් වී නැති බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
මේ පිළිබදව අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමක දී කිසිදු පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුගෙන් තමාට බලපෑමක් එල්ල වී නැති බවත් යමෙක් විසින් යහපත් දෙයක් සහ නැවත පත් වීමට තරම් සුදුසු සේවයක් කර ඇත්නම් එම කමිටුව ඔහුව අනිවාර්යයෙන් නිර්දේශ කරනු ඇති බවත් ප්‍රකාශ කළේය.එහෙත් යමෙක් සෑහීමකට පත් විය නොහැකි අන්දමෙන් ක්‍රියා කර ඇත්නම් තමා ඔහුව නිර්දේශ කිරීමට කමිටුවට බලපෑම් නොකරන අයුරෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමාටද කිසිවෙකු බලපෑම් නොකරන බවත් අවධාරණය කළේය.
කෙසේ වුව ද ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පිළිබද තීරණය පත් කර ඇති කමිටුව විසින් ඔහු කර ඇති සේවය පිළිබදව සළකා බලා ගනු ඇති බවත් පුද්ගලයාගේ තරාතිරම අනුව නොව,ඔහු කර ඇති සේවයේ ප්‍රමාණය සළකා බලා එම කමිටුව තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.ජෙනරාල්වරයා පත් වීම හෝ පත් නොවීම නොව මලල ක්‍රීඩා සම්මේලනයට සම්බන්ධ සංගම් සහ ක්‍රීඩා සමාජ වෙත අතුරු කමිටුවකින් තොරව සිය කැමැත්ත පරිදි නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට ඉඩ ලබාදීම තම අපේක්ෂාව බවත් පැවසූ අමාත්‍යවරයා ඒ නිසා නිලවරණය සදහා නාමයෝජනා බාර ගන්නා දිනය කල් දැමීමට තීරණය කර ඇති බවත් පැවසීය.  

Mar 21, 2012

ලෝක සූරයන් සහ අනු සූරයන් පැරද වූ බංගලාදේශය අවසාන තරගයට


ලෝක කුසලාන අනු සූරයන් මෙන්ම කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අනු සූරතාවය ද දිනූ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජය කළ බංගලාදේශය හෙට පැවත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේදී පකිස්තානයට එරෙහිව තරග වැදීමේ සුදුස්සන් වීමට සමත් විය.මීට ප්‍රථම තරගයේදී ලෝක ක්‍රිකට් සූරයන් වන ඉන්දියාව පරාජය කරමින් පෙරට පැමිණි බංගලාදේශය අවසාන තරගයට පිවිසීම සහතික කර ගනිමින් අනු සූරයන් වූ ශ්‍රී ලංකාව පරාජය කිරීම කැපී පෙණින.ආසියානු කුසලාන තරග ඉතිහාසයේ අවසාන තරගයකට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව වෙනුවෙන් මග සකස් කළ හිටපු බංගලාදේශ නායකයා මෙන්ම මේ වන විට ජගත් එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයා ද වන සකීබ් අල් හසන් මෙම තරගාවලියේ දෙවන වරටත් තරගයේ වීරය සම්මානයට හිමිකම් කියමින් ශ්‍රී ලංකාවට එරෙහිව තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය.
කාසියේ වාසිය ලැබූ බංගලාදේශ නායක මුස්ෆිකර් රහීම් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර එහි ප්‍රතිපලයේ නිවැරදි බව සහතික කළ නස්මුල් හොසේන් ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම පිතිකරුවන් තිදෙනා වන ටීඑම් ඩිල්ෂාන්,කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යන තිදෙනාම ලකුණු පූවරුව 32 ක් වෙද්දී කඩුල්ලෙන් ඉවත් කිරීමට සමත් විය.නමුත් එතැන පටන් වාසනාවට මෙන් කණ්ඩායමට පැමිණි චාමර කපුගෙදර (62) සහ ලහිරු තිරිමාන්න (48) සිව්වන කඩුල්ලට ලකුණු 88 ක් එක් කළ අතර අනතුරුව කපුගෙදර උපුල් තරංග (48) සමග එක්ව ලකුණු 49 ක් පස්වන කඩුල්ලට එක් කළේය. තරගයේ අවසාන භාගයේ යළි කඩා වැටෙන්නට වූ ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් ලද අවස්ථාවෙන් ඉහළම දස්කම් දැක් වුව ද තවමත් කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් පිරි නොනමන සචිත්‍ර සේනානායක නොදැවී ලකුණු 19 ක් එක් කළේය.
ලකුණු 232 ට සීමා වූ ශ්‍රී ලංකා ඉණිම අවසානයේ වට වර්ෂාව හේතුවෙන් බංගලාදේශයට පන්දු ඕවර් 50 දී ලබා ගත යුතු ලකුණු 233 පන්දු ඕවර් 40 දී 212 ක් වන තරමට පහසු වූ අතර ආසියානු තණතිල්ලේ දග පන්දුවට ඇති වාසිය නොසළකා මෙම තරගයේදීත් වේග පන්දුව පිළිබදව වැඩි විශ්වාසය තබා කටයුතු කිරීමට යාමේ ප්‍රතිපලයක් ලෙස ලකුණු 212 ට එරෙහි ආක්‍රමණය පහසු එකක් නොවුණේය.යළිත් වරක් සාර්ථක වූ තවමත් ක්‍රිකට් තේරීමේ විශ්වාසයට නතු නොවූ සචිත්‍ර පන්දුවෙන්ද දස්කම් දක්වමින් සිය පන්දු ඕවර් 8 ලකුණු 38 ට නිමා කළේ බංගලාදේශ ඉණිමේ ශක්තිය බවට පත් වූ තමීම් ඉක්බාල් (59) සහ සකිබ්අල් හසන් (56) යන දෙදෙනාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට දායක වෙමින් ය.
තරගයේ ආරම්භය හොදින් පාලනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 40 ට කඩුලු 3 ක් ලෙස බංගලාදේශ ලකුණු පූවරුව ගෙන ආව ද සකීබ් අල් හසන් ගේ සහ තමීම් ඉක්බාල් ගේ ප්‍රහාරය නවතා දමන්නට තරම් හැකියාවක් ප්‍රදර්ශනය නොකළේය.විශේෂයෙන්ම සුරංග ලක්මාල් සහ ෆර්විස් මහරූෆ් ලකුණු 212 ක් රැක ගැනීමට සුදුසු අයුරෙන් පන්දු නොයවන තත්ත්වය තුළ වුව මහේල, කොමන්වෙල්ත් තරගාවලියේද අවසාන මොහොත තෙක්ම යොදා නොගෙන සිටි ටීඑම් ඩිල්ෂාන් අතට පන්දුව දීමට තරම් උනන්දුවක් නොදැක්වීම කැපී පෙණින.විටෙක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඩිල්ෂාන් ට ඇති ඉඩ හසර වසා දමමින් ඔහුට කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඇති ස්ථාවරය බිද දැමීමේ උවමනාවක් ක්‍රියාත්මක වන්නේ දැයි සැක සිතෙන තරමට ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව සගවා තැබීමේ ප්‍රතිවිපාකය කණ්ඩායමට විදින්නට වීම කණගාටුදායක තත්ත්වයකි.
පහත දැක්වෙන්නේ තරගයෙ සමස්ථ ලකුණු සටහනට පිවිසීමට ඇති සබදතාවය ය. http://www.espncricinfo.com/asia-cup-2012/engine/current/match/535799.html

Mar 20, 2012

බංගලාදේශය අවසාන තරගයට පිවීසීමටත් ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමටත් අද සටනට බසිති



සියානු කුසලාන තරගාවලියේ අවසාන තරගයේ දී පකිස්තානයට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීමට නම් අද ශ්‍රී ලංකාවට එරෙහිව පැවත්වෙන තරගයේ දී ප්‍රසාද ලකුණක් සමග ජයග්‍රහණය කිරීමේ උවමනාව සහිතව පිටියට එන බංගලාදේශය සමග මෙම තරගාවලියේ මේ දක්වා කිසිදු ජයක් වාර්තා නොකළ ශ්‍රී ලංකාව සිය ආත්ම ගෞරවය රැක ගැනීමේ උවමනාවෙන් තරග පිටියට පිවිසෙති.ඉන්දියාවට එරෙහිව දැවැන්ත ලකුණු ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීම මෙන්ම පකිස්තානයට එරෙහිව තියුණු තරගයක් ලබා දීම යන කාරණා ගත් විට අද ශ්‍රී ලංකාවට හමුවන බංගලාදේශ කණ්ඩායම වෙනදා හමුවන අන්දමේ නොමේරු කණ්ඩායමක් නොවන බව පැහැදිළිය.
ශ්‍රී ලංකාව පකිස්තානය සමග පැවති තරගයේදී පිතිකරුවන් ලෙස  අසාර්ථක වන අයුරු දක්නට ලැබුණ ද පසුගිය කාල වකවානුව පුරාම අසාර්ථක වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ පන්දු යවන්නන් අසාර්ථක වීමය.විදේශ ජනමාධ්‍යවේදීන් සහ ක්‍රිකට් විචාරකයන්ගේ නොමද අවධානය සහ ආශිර්වාදය දිනූ ලසිත් මාලිංග සිය පන්දු යැවීමේ ඉරියව්ව සහ කායික ස්වරූපය මත ආකර්ශණීය චරිතයක් බවට පත් වුව ද මේ වන විට ඊට සාපේක්ෂව සිය දක්ෂතා නඩත්තු කිරීමේ අපහසුතාවයකින් සහ නව්‍යතාවයකින් කටයුතු කිරීමේ අපහසුතාවයකින් පෙළෙන බව පැහැදිළි කරමින් සිටීම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් විට ප්‍රබල පසුබැස්මක් වී තිබෙන බව පැහැදිළිය.
එසේම වරින් වර හැකියාව තිබුණ ද අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන් පිළිබද වන කතා ගොන්නට එකතුවන අලුත්ම චරිතය බවට සචිත්‍ර සේනානායක පත්ව ඇත.අවස්ථාව ලද හැම විටම එම තරගය වෙනුවෙන් යමක් කර තිබෙන සචිත්‍ර,තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට අවශ්‍යය ක්‍රීඩකයෙකු ලෙස පැහැදිළි කර ඇතත් තවමත් ඔහු පිළිබදව සිතා බලන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීත්වයෙ අවධානය යොමු වී නැත.
බංගලාදේශ 20/20 ක්‍රිකට් තරගාවලිය නිමා වූ සැනින් එම තණතීරු වලම ක්‍රියාත්මක වන ආසියානු කුසලාන තරගාවලියේදී 20/20 තරගවලදී පිතිකරුවක් ලෙස ප්‍රහාරාත්මකව කටයුතු කළ බංගලාදේශ පිතිකරුවන් මෙම තරගාවලිය තුළදී ද එම හැකියාව නඩත්තු කරමින් සිටීම දැක ගැනීමට හැකිය.වේගවත් පිතිකරණ රටාවට මෙන්ම උපක්‍රමශීලී පන්දු යැවීමේ ගුණාංගද එම තරගාවලිය තුළ දී වර්ධනය කරගෙන සිටින බංගලාදේශය සීඝ්‍ර වර්ධනයක් සහිතව මෙම තරගාවලියට මුහුණ දෙන අතර ඕස්ට්‍රේලියානු වේග තණතීරුවල ලොවේම අවධානය දිනා ගනිමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සිටින්නේ අනපේක්ෂිත කඩා වැටීමකට ලකුව යන කාරණා සැළකිල්ලට ගනිද්දී අද තරගය විවෘත තරගයක් වනු නිසැකය.පන්දුව සහ පිත්ත අතර දැඩි සටනක් අපේක්ෂා කළ හැකි තරගයක් බවට පත් විය හැකි මෙම තරගයේදී වැඩිම දෙපිළටම ජයග්‍රහණය යන්න අත්‍යවශ්‍යය කාරණයක් වී තිබීම එම තරගකාරීත්වය තව දුරටත් ඉහළ නංවන්නට හේතු වන බව සිතිය හැකිය.